මාස හයට වැඩි දරුවන් අතර පෝෂණ අර්බුදය වැඩි වීමේ අවදානමක්

දැනට වසර ගණනාවක් පුරාවට වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ත්‍රීපෝෂ ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය වශයෙන් කුඩා දරුවන් අතර පෝෂණ අර්බුද වැඩි වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඔහු පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිතීන්ට යටත්ව වයස අවුරුදු 3ට ඩු දරුවන්ට ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය පියවර ලබා ගැනීම කඩිනම් කළ යුතු බවයි.

අවුරුදු තුනට අඩු දරුවන් සඳහා නිෂ්පාදනය කරන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සීන් මට්ටම පවත්වාගෙන යාමේ පාරිසාදන මට්ටම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම අවුරුදු තුනට වැඩි දරුවන්ට හා ගර්භනී මව්වරුන්ට පමණක් ත්‍රිපෝෂ ලබාදෙන අතර, එම ලබා දීම සිදුකරන්නේද පෝෂණ ගැටළු පවතින දරුවන් සඳහා පමණක් බවත් පසුගිය වසර වන විට දරුවන් අතර පෝෂණ අර්බුධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එය සෞඛ්‍ය සේවා කාර්යාංශ දත්තයන්හීද පෙන්වන බවයි.

එබැවින් රජය හැකි ඉක්මනින් මාස හයට වැඩි සියළු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රීය කිරීමට අවධානය යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉල්ලා සිටියි.

කාලීන පුවත්