මැතිවරණ කොමිසම දින නැති ලේඛනයක් ඉල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පළාත් පාලන ආයතනවලට අදාළව නව ඡන්ද විමසීම් දිනයක් සටහන් නොකළ ඡන්ද නිවේදනයක් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරුන් මගින් තමන් වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් සියළුම නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු වෙත දැනුම් දී ඇත.

අදාළ දැනුම්දීම මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඊයේ (01) දින සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමු කර තිබේ. දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්ගේ අත්සන ගත් එම ලේඛන අද (02) දින මැතිවරණ ප්‍රධාන කාර්යාලය වෙත ගෙනවිත් බාර දෙන ලෙස ද සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කර ඇත.

එම ලේඛනයට අදාළ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් රාජකාරි කරන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ලැයිස්තුව ද ඇතුළත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නියම කර තිබේ. හදිසි කටයුත්තක් සේ සලකා එම නිවේදනය ඊයේ දිනයේම සියළුම නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් යොමු කර ඇත.

දිනය සඳහන් නොකර එවන ලෙස මැතිවරණ කොමිසම යොමු කළ ආකෘති පත්‍රයේ කොටසක මෙසේද සදහන්වේ. “පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම 2023 මාර්තු මස 09 දා නොපවැත්වෙන බවද, ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීම් සම්බන්ධ සෙසු කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් අපේක්ෂා කළ පරිදි නොලැබීමේ අනපේක්ෂිත කරුණ හේතු කොට ගෙන එකී ඡන්ද විමසීමේ දිනය කල් දැමීමට සිදුව ඇති බැව් මැතිවරණ කොමිෂන් සභාව විමසීමෙන් අනතුරුව එකී කොමිෂන් සභාව විසින් මා හට උපදෙස් ඇති හෙයින්ද, එකී පළාත් පාලන ආයතනවලට අදාළ නව ඡන්ද විමසීමේ දිනය වශයෙන් …….(හිස් තැනක්) දිනය මවිසින් මෙයින් නියම කරන බවද” ලෙස සටහන්ව තිබේ.
එහි දිනය සදහන් කළ යුතු තැන හිස්ව තබන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී තිබේ. හෙට (03) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිත අතර මෙලස දිනය නොමැති තේරිම්භාර නිලධාරීන්ගේ අත්සන සහිත ලේඛන ගෙන්වා ගන්නේ ඊට පෙරය.

කාලීන පුවත්