මං ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?
සාමාන්‍යයෙන් මිනිස්සු උපතින්ම ආත්මාර්ථකාමීද? නැත්නම් ඉපදුනාට පස්සේ විහින් ආත්මාර්ථකාමී වෙලාද?
ටිකක් නිවහල්ව හිතල බලන්න. මොකක්ද ඔබේ හිතට එන උත්තරේ ?
සාමාන්‍යයෙන් මිනිස්සු ස්වභාවයෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙනවා. නිදසුන් වශයෙන් අපි නයෙක් පොළගෙක් දැක්කොත් එක පාරම තිගැස්සිලා පස්සට පනිනවා. ඒ අපේ ආරක්ෂාවට.
වැරදිලා හරි උතුරන වතුර කේතලයකට අත වැදුනොත් එක පාරම අපි අත අහකට ගන්නවා.
මේවා අපි හිතල කරන දේවල් නෙමෙයි.
ඒක අපේ ආරක්ෂාවට ස්වභාවධර්මයෙන්ම උපතින්ම අපට ලැබෙන දෙයක්.
මේකට අපි ආත්මාර්ථකාමිකම කියලා කියන්නේ නැහැ.
මේ ගතිය මිනිස්සු තුළ විතරක් නෙමෙයි සතුන් තුළත් අපිට දකින්න පුළුවන් .
පුංචි පූස් පැටව් එක්ක ඉන්න බැලලියක් ළඟට ලොකු බල්ලෙක් කඩාගෙන ඇවිත් හිරිහැර කරන්න ගියොත් ඒ බැලලි පැටවු ආරක්ෂා කරන්න සටනක යෙදෙන හැටි ඔබ දැකල ඇති.
පැටව් ඉන්න කිකිළියක් ළඟට ළං වුනොත් කිකිළිය කොටන්න හදන හැටි ඔබ දැකල ඇති.
කැලෑවේ හරක් රංචුවක එක හරකෙක් කොටියෙකුගේ දිවියෙකුගේ වැනි සතෙකුගේ ග්‍රහණයට අහු උනොත් මුළු හරක් රංචුවම ඇවිත් ඒ හරකව කොටියගෙන් බේරගන්න සාමූහිකව පහර දෙනවා.
පෞද්ගලිකවත් සමූහයක් වශයෙනුත් මිනිස්සුත් ක්‍රියා කරන්නේ එහෙමයි.
අපේ පවුල, අපේ ගම, අපේ ඉස්කෝලේ, අපේ ජාතිය, අපේ රට යනාදි වශයෙන් සාමූහික හැඟීමක් ස්වභාවයෙන්ම මිනිස්සු තුළ තියෙන්න පුළුවන්. පෞද්ගලිකව හරි සාමූහිකව හරි යම්කිසි අභියෝගයකට හිරිහැරයකට මුහුණ දෙනකොට සමූහයක් වශයෙන් ඒකට එරෙහිව සටන් කරන්න මිනිස්සු එක්සත් වෙන හැටි ඔබ අහල දැකලා ඇති.
මේකට අපි “අපේ කම” “තම කම” කියනවා මිසක් ආත්මාර්ථකාමී කම කියල හඳුන්වන්නේ නැහැ..
තමන්ගෙම සුභ සිද්ධිය කියන එකයි ආත්මාර්ථකාමිකම කියන එකයි එකම නෙවෙයි වෙනස්. තමන්ගේ ජීවිතය ගැන වගකිවයුත්තේ තමන්මයි .තමන්ගේ ශරීර සෞඛ්‍යය, තමන්ගේ ඇඳුම් පැළඳුම්, රැකියාව, අනාගතය, යනාදි හැම දෙයක්ම තමන්ට කැමති විදියට සකස් කර ගැනීම ආත්මාර්ථකාමී කම නෙවෙයි.
මගේ දත් මම මැදගන්න ඕනා. මගේ බඩගින්නට මම කෑම කන්න ඕනේ. මගේ ආදායම් මාර්ගයකට මම රැකියාවක් කරන්න ඕනේ. මගේ ඇඳුම් මට කැමති විදිහට සකස් කරගන්න ඕනා…
මේවා තමන්ගෙ පැවැත්ම, ආරක්ෂාව සහ සුභසිද්ධිය වෙනුවෙන් කරගන්න දේවල් මිසක් ආත්මාර්ථකාමිකමක් නෙමෙයි.
ආත්මාර්ථකාමීකම කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අනිත් අය ගැන තැකීමක් නැතුව තමන්ට විතරක් ඕන විදිහට වැඩ කටයුතු කර ගැනීම .
සමහරු ඉන්නවා අනිත් අය ගැන කිසිම තැකීමක් නෑ.
‘අනෙක් මිනිස්සු මැරුනත් කමක් නෑ. හෙනගහල ගියත් කමක් නෑ. මගේ වැඩේ කරගත්තනම් මගේ ආසාව ඉටුවුණා නම් මට ඕනි එච්චරයි’කියන අදහසින් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා.
ලංකාවේ සමහර දේශපාලුවෝ අන්න ඒ ගණයට අයත් වෙන අය. රටවැසියන්ට හෙන ගහල ගියත් ,කන්ඩ නැතුව බඩගින්නෙ මැරිල ගියත්, මුළු රට ජාතියම මකබා වෙලා ගියත් කිසිම ගානකට නොගෙන තනතුරුවලට නම්බුනාමලට තියන කෑදරකම හින්දා මුළු රටටම ජාතියටම සාපයක් වෙච්ච මිනිස්සු නිදර්ශන විදියට ගන්න පුළුවන්.
තවත් පිරිසක් ඉන්නවා.
ඉස්සෙල්ලා මම මගේ වැඩේ කරගත්තට පස්සේ මට හිතුනොත්, වෙලා තිබුනොත්, පුළුවන් වුනොත් මම අනිත් අය ගැන හිතලා බලන්නම් කියල හිතල වැඩ කරන පිරිසකුත් ඉන්නවා.
ආත්මාර්ථකාමී කියන හැමෝම ඔය අන්ත දෙක අතර දෝලනය වන අය. සමහරු අතිශයින් ආත්මාර්ථකාමීයිි. තමන් ගැන විතරමයි හිතන්නේ. තවත් සමහරු සමහර අවස්ථාවල ආත්මාර්ථකාමීයිි.
අවට ලෝකය දිහා බලපුවම අපිට මේ හැම ජාතියකම ආත්මාර්ථකාමී මිනිසුන්ව දැක ගන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි මහපාර. බලන්න මිනිස්සු මහ පාරේ යන එන හැටි.
අනෙක් මිනිස්සු, අනෙක් වාහන ගියත් නොගියත් කමක් නෑ, තමන් යන්න තමයි දඟලන්නේ.
වාහන ඉස්සර කරද්දී කිසිම විනයක් නැහැ. ඔහේ මාර්ග නීති කඩාගෙන තමුන්ගේ පාර වගේ හිතුමතේ වාහන පදවනවා. විශේෂයෙන් මෝටර් සයිකල් ,ලොරි, බස් ත්‍රීවීලර් පදවන සමහර අයට කිසිම අනක් ගුණක් විනයක් නැහැ.
හික්මීමක් නැති ඒ වගේ මිනිස්සු හින්දා කොච්චර හදිසි අනතුරු සිද්ධ වෙනවද? කොච්චර ජීවිත අහිමි වෙනවද? කී දෙනෙක් අබ්බගාත වෙනවද? ඒත් ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ. වැරදි කරලත් නීතියෙනුත් බේරෙන්න බොරු කිය කිය තමුන්ගේ සුබ සිද්ධිය විතරයි බලන්නේ. තමන්ගේ අතින් වරදක් වෙච්ච අයට සාධාරණයක් කරන්න හිතන්නෙත් නෑ.
අනතුරක් වුනොත් සමහරු වාහනේ නවත්තන්නෙත් නෑ. කඩාගෙන බිඳගෙන යනවා. අනතුරට ලක්වෙච්ච කෙනා පාඩුව විඳ දරාගන්න ඕනා.
නිකං හොඳින් හරි අවවාදයක් දුන්නොත් සමහරවිට කුණුහරුපෙන් ආපහු බනිනවා.
පාරේ විශේෂයෙන් වාහන තදබද වැඩිහරියක් සිද්ධ වෙන්නේ ආත්මාර්ථකාමීකම හින්දා. එහෙම නැතුව ශීලාචාර විදිහට අනිත් අයත් මේ ගමන යන්න ඕන කියලා හිතලා නීතිගරුකව විනයගරුකව වාහනේ පැදෙව්වනං සමහරවිට එච්චර වෙලාවක් තදබදය හිටින්නේ නැහැ. නමුත් සේරම ගිහින් එක තැනක හිර වුණාම එක්කෙනෙකුටවත් යන්න විදිහක් නෑ..
විශේෂයෙන් රේල් ගේට්ටුවක් වහල තියෙන වෙලාවට බලන්න! පාර දෙපැත්තෙම යුද්ධ සේනා දෙකක් වගේ මූණට මුහුණ මුළු පාරම වහගෙන ඉන්නේ. තමුංගෙ පැත්තෙ ශීලාචාරව යන්න ඉගෙනගෙන නැහැ .අනිත් එක පාරේ රේස් යන්නේ හරියට මහා ලොකු තරගයකට යනවා වගේ .
බස් එකක් නැවැත්තුවාම බලන්න! සේරම එක පොදියට පොරකනවා සීට් එකක් අල්ලගන්න. සීට් එකක් හම්බවෙච්ච කෙනා ජනේලයක් ළඟ සීට් එකක් හොයනවා . තමන්ට සැපට යන්න වාඩිවෙන්න ලැබුණ නං එච්චරයි. අනිත් අයට මොනව උනත් කමක් නෑ.
ඔය මිනිස්සු මොනතරම් ආත්මාර්ථකාමීද! ඇත්තෙන්ම ආත්මාර්ථකාමිකම කියන්නේ එක්තරා විදිහක මානසික රෝගයක්. තදබල මෝඩකමක්. ඒ වගේ මෝඩයෝ හින්දා දුක් විඳින්නේ නීති ගරුක අහිංසක මිනිස්සු.
ඉතින් මේ මහ පාරේ දර්ශන ගැන කිව්වේ එක උදාහරණයක් විදිහට විතරයි. මේ විදිහට අපිට කොහේ ගියත් මොනවා කරන්න ගියත් වැඩි හරියක්ම දකින්න හම්බවෙන්නේ අනිත් මිනිසුන්ව සම්පූර්ණම අමතක කරලා තමන්ගේ වැඩේ විතරක් කරගන්න ලෑස්ති වෙලා ඉන්න ආත්මාර්ථකාමී මිනිස්සු රොත්තක්. එකඟයි නේද?
හැබැයි ආත්මාර්ථකාමී නැති මිනිස්සුත් නැත්තෙම නෑ, ඉන්නවා. තමුන් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා අනුන් වෙනුවෙන්ම කැපවෙලා සේවය කරන අය ඉන්නවා.
හැබැයි ඒගොල්ලන්ගේ පරාර්ථකාමී බවෙන් අනෙක් මිනිස්සු ප්‍රයෝජන ගන්නවා මිසක් ඒ අයට ස්තුතිවන්ත වෙන්නෙවත් නෑ. පරාර්ථකාමී මිනිසුන්ගේ කාරුණික කම නිවට කමක් විදිහට හිතන ආත්මාර්ථකාමී මිනිස්සුත් අනන්තවත් ඉන්නවා.
ඉතිං අපේ මුල් ප්‍රශ්නෙ ගැන මොකක්ද ඔබේ අදහස?
මිනිස්සු උපතින්ම ආත්මාර්ථකාමී ද ? එහෙම නැත්නම් සමාජයෙන් හදාගත්තු දෙයක්ද?
මිචිගන් විශ්ව විද්‍යාලයේ අවුරුදු දාහතක් පමණ කරන ලද සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නෙ මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් පුංචි දරුවන් තුළ අනිත් අය ගැන තැකීමක් තිබෙන බව මිසක් ආත්මාර්ථකාමී බවක් කුඩා දරුවන් තුළ නැති බවයි.
මුළු ලෝකයේම මිනිස්සු ගැන එහෙම හිතන්න පුළුවන්ද කියන එක ගැටලුවක්.
බොහෝ විද්වතුන් මනෝවිද්‍යාඥයන් කළ පර්යේෂණ වලින් හෙළි වුනු පිළිගත හැකි සත්‍යයක් තමයි උපදිනකොට ඉපදෙන්නේ මනස හිස් කඩදාසියක් වගේ කියන කරුණ.
කඩදාසිය මත හොඳ හෝ නරක, යහපත් හෝ අයහපත්, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී දේවල් ලියවෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන්, ශාසනයෙන්, පන්සලෙන්. පල්ලියෙන්, පාසලෙන්, දෙමව්පියන්ගෙන් ,ගුරුවරුන්ගෙන් සහ තමන් ජීවත්වන සමාජ පරිසරයෙන් ලැබෙන ආභාෂයෙන් බව පිළිගැනීමට බොහෝ සාධක තියෙනවා.
මිනිසා වසලයෙකු වෙන්නේ උපතින් නොව ක්‍රියා පටිපාටිය අනුවයි කියලා බුදුන් වහන්සේත් කියලා තියෙනවනේ.
ඉතින් අපිට විද්‍යාත්මකවත් ධාර්මිකවත් හිතල බලපුවම පිළිගත හැකි වෙන්නේ ආත්මාර්ථකාමිකම බොහෝ දුරට මිනිසුන් විසින්ම තමන් තුළ හදාගත්තු දෙයක් බවයි.
තමන්ට අවශ්‍ය නම් ආත්මාර්ථකාමී කමින් තොරව පරාර්ථකාමී ලෙස ජීවත් වෙන්න පුළුවන් සමාජයක් බිහි කරගන්න බැරිකමක් නැති බවයි.
ඒත් සමාජයක් ලෝකයක් වෙනස් කරන්න පටන්ගත යුත්තේ තමුන්ගෙන්මයි. ඒ නිසා ඔබ ඔබේ හදවතින් තට්ටු කරල අහන්න ඔබ ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ද ?
උත්තරය “නැහැ”යන්න නම්, පරාර්ථකාමී ලස්සන සමාජයක් බිහි කරන්න ඔබ කෙතරම් විශාල දායකත්වයක් දෙනවද!
හැමෝම එහෙම වුනොත් මේ පොළොව කොච්චර සුන්දර තැනක් වේවිද, නේද?!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු