මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක

පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති වූ ආතතිය හේතුවෙන් තමාට තවදුරටත් දිගු වෙහෙසකර සංචාරවලට සහභාගි විය නොහැකි බවත්, එය ලොව පුරා සිටින කතෝලික බැතිමතුන්ට සිදු කරන අසාධාරණයක් බවත් ය. මේ නිසාම තමන් පාප් තනතුරින් ඉල්ලා අස්වීමට සලකා බැලූ බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා තිබේ.

සතියක් පුරා පැවති වන්දනා ගමන තම සිරුරට යම් ආකාරයක පරීක්‍ෂණයක් වූ අතර එයින් පෙන්නුම් කළේ තමන් මන්දගාමී විය යුතු කාලය එළඹ ඇති හෙයින් විශ්‍රාම යා හැකි බව ද උන් වහන්සේ උතුරු නුනාවුට් සිට නිවස බලා යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතමින් පවසනු ලැබීය. මේ වනවිට 85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ තමා ඉල්ලා අස්වීම ගැන නොසිතූ නමුත් “ඒ සදහා දොර විවෘතව ඇති” බවත් පාප් වහන්සේ ධුරයෙන් ඉවත් වීමේ වරදක් නොමැති බවත්ය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යනු සිය ධූර කාලය තුළ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ඉතා විශල අවධානයක් සහ දායකත්වයක් දැක්වූ කෙනෙකි. ඔහු 2015 වසරේ පරිසරය පිළිබද විශ්වකෝෂය වෙත ලිපියක් සම්පාදනය කරමින් පවසා තිබුණේ “පාප් වහන්සේ මෙන්ම කතෝලික සභාව කිසියම් හේතුවක් නිසා සතුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක්, අපයෝජනයක් හෝ සූරාකෑමක් පැහැදිලිවම වැළැක්වීම සදහා පියවර ගත යුතු බවටත්, සතෙකුට කරන ඕනෑම කෲර ක්‍රියාවක් මානව ගෞරවයට හා අභිමානයට සම්පූර්ණයෙන්ම පටහැනි බවට තමන් මෙන්ම දෙවියන් වහන්සේ ද විශ්වාස කරන බවත් ය.

මෙකී විශ්වකෝෂයේ පාප් වහන්සේ විසින් ලූක් 12: 6 බයිබල් පාඨය මෙසේ මතක් කර දෙනු ලබයි, “අපි ශුභාරංචියේ කියවමු, ජේසුස් වහන්සේ අහසේ කුරුල්ලන් ගැන පවසන්නේ ‘දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගෙන් එකක්වත් අමතක නොවේ’ යනුවෙනි. එසේ නම් අපි ඔවුන්ට හිරිහැර කරන්නේ හෝ ඔවුන්ට හානියක් කරන්නේ කෙසේද? ලෙසිනි.

පාප් වහන්සේ විසින් ලියා පළ කරනු ලැබූ දෙවැනි විශ්ව කෝෂය නම් කර ඇත්තේ Laudato Si නමිනි. උන් වහන්සෙ මෙහි පරිච්ඡේද කීපයක්ම සත්ව හිංසනය පිටු දැකීම පිළිබදව සහ දෙවියන් වහන්සේට අනුව සත්ව ජීවිතවලට මිනිස් ජීවිතවලින් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පිළිබදව සවිස්තරාත්මක කාරණා රැසක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ අපෝස්තලික අනුශාසනාවට (The Joy of the Gospel Pope, Francis) අනුව කර්මාන්ත ශාලා සහ ගොවිපලවල ජීවත් වන සතුන්ගේ දුක්ඛිත තත්වයන්ගෙන් පිරි ජීවිත නිසැකවම පාහේ ඉල්ලා සිටින්නේ තම ජීවිත සූරාකෑමට ලක්වීමෙන් ගලවා දෙන ලෙස බවය. එවැනි ගොවිපළවල් තුළ වර්ග අඩියකට වැඩි ප්‍රෝටීන් ඒකක ලබා ගැනීම සදහා තාක්‍ෂණය භාවිතා කරන අතර එමඟින් අදාල සමාගමට වැඩි මුදලක් සහ පාරිභෝගිකයාට මිල අඩු ආහාර ලැබේ. නමුත් මෙය සත්ව ජීවිතවලට තවදුරටත් ජීවිතය පවත්වාගෙන යෑමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමක් බවත්, එය මිනිසා නම් වූ ජීවියාගෙන් දෙවියන් වහන්සේ කිසිසේත්ම බලාපොරොත්තු නොවන හැසිරීමක් බවත්, දෙවියන් වහන්සේ විසින් සත්වයින් නිර්මාණය කරනු ලැබූ කාරණය හුදෙක් එය නොවන බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය කෘතියේ වැඩිදුරටත් පැහැදිලි කර දී තිබේ.

“අපි මිනිසුන්ට වඩා ‘ඉහළින්’ සතුන්ට නොසැලකිය යුතු බව කොතැනකවත් කියන්නේ නැහැ. අපි සතුන්ට මිනිසුන්ට වඩා ‘අඩු’ ලෙස සැලකිය යුතු බව කොතැනකවත් කියන්නෙත් නැහැ. මම දැක ඇති ඉතා වැදගත් කරුණක් තිබෙනවා. සමහර මිනිසුන් සතුන්ට හොඳින් සලකන නමුත් මිනිසුන්ට හොඳින් සලකන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට හොදින් සළකන සමහර අය සතුන්ට ගහලා පන්නනවා. මොකක්ද මේ වෙනස්කම? අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදියට මිනිසුන්ට සහ මිනිසුන් නොවන අයටත්, ඒ වගේම දෙවියන් වහන්සේගේ සියලුම මැවීම්වලටත් හොඳින් සලකන්න ධෛර්යමත් විය යුතුමයි” යනුවෙන් පාප් වහන්සේගේ අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.

දුලංජලී මුතුවාඩිගේ

 

අරුමැසි පුවත්