මිනිසුන්ට සහ සතුනට දෙයුරකින් සැලකීමේ සම්ප්රදායක් මේ වන විට ලෝකය පුරාම තිබේ.නමුත් ගත වූ සියවස් කිහිපය තුළ ප්‍රවර්ධනය වූ මානව හිමිකම් වලට සාපේක්ෂව ගත වූ දශක කිහිපය තුළ ලොව පුරා සත්ව හිමිකම් ප්‍රවර්ධනය වීමක් ද දක්නට තිබේ.එහෙත්, විමතියට කරුණ වනුයේ නීතිය යුක්තිය පසිඳලීමේ දී මිනිසුන්ටත් සතුන්ටත් එක සමානව ක්‍රමයක් අනුගමනය කළ යුතුය යන ජන සම්මතයක් අතීතයේ තිබීම ය.නරියා සහ ගම දුව ආදී අප ගේ ඇතැම් ජන කතා මඟින් ද මිනිසුන්ගේත් සතුන් ගේත් සම අයිතියක් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර මහාවංශයේ විසි එක්වන පරිච්ජේදයේ 14-18 ගාථා පාඨවල සඳහන් වන මෙම පුවත ද ඊට කදිම ඓතිහාසික සාක්ෂියක් සාක්ෂියක් සපයයි.
“එළාර රජතුමන් තමන්ගෙන් විනිශ්චයක් බලාපොරොත්තු වන්නවුන් හට හැඬවීම පිණිස තම ඇඳ ඉහපතේ මිණි ගෙඩියක් සවි කරගෙන සිටියේ ය. රජුට එක් පුතෙක් සහ දුවක විය. ඉන් මහත් කම්පාවටත් සංවේගයට පත් එළදෙන රජ මාලිගයට පැමිණ ඉහත සඳහන් මිණිගෙඩිය ගැසුවා ය. රජතුමා ඒ පිළිබඳව විමසා එම රිය සකෙන්ම තම පුත් කුමරුගේ හිස ද සිඳවීය.”මහාවංශයේ සඳහන් පරිදි හතළිස් වසරක් අනුරාධපුර රජකළ එළාර රජතුමා අතිශයින් යුක්තිගරුක පාලකයෙකි. සතුරන්ටත් මිතුරන්ටත් එක සමානවම සැලකීමට තරම් සාධාරණත්වයක් ඔහුගේ පාලනයේ තිබී ඇත. ඉහත සඳහන් එළදෙන සහ මිණිගෙඩිය පිළිබඳ කතා ප්‍රවෘත්තිය වංශ කතාවට ඉදිරිපත් කොට ඇත්තේ ඒ පිළිබඳ එක් නිදසුනක් ලෙසිනි.
එළාර රජුගේ රාජ්‍ය පාලනයේ යුක්ති ධර්මතාව පසක් කරවන මහාවංශයේ එන මෙම පුවත අප රටේ සේම දකුණු ඉන්දියාවේ ද ප්‍රචලිත ය. එහෙත්, ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් විමසන විට පෙනී යන අතිශය වැදගත් කරුණක් ඇත. එනම් එය එළාර රජුගේ යුක්ති ධර්මතාව පසක් කරනු පිණිස වංශකතාවට එක් කරවන ලද චෝල රජ පරපුර පිළිබඳ පැරණි පුරාවෘත්තයක් මිස එළාර රජු සමයේ සිදුවූ සත්‍ය සිද්ධියක් නොවන බව ය.
ශ්‍රී ලංකාවේ අදහනු ලබන ප්‍රමුඛතම දේවතාවියක් වන පත්තිනි දේවතාවිය පිළිබඳ ප්‍රමුඛතම පුරාවෘත්තය සිලප්පදිකාරම් නම් ද්‍රවිඩ සාහිත්‍ය කෘතියයි. ‘සලඹේ කතාව‘ යනුවෙන් සිංහලයෙන් අරුත් ගැන්විය හැකි මෙම පුරාවෘත්තය ක්‍රි.ව. දෙවන සියවසේ දී අඩිගල් ඉලංකෝ නම් දකුණු ඉන්දීය ෙජෙන සාධුවරයකු විසින් රචනා කරන ලද්දකැයි කියැවේ. ඒ අනුව සිලප්පදිකාරම් රචනා වී ඇත්තේ ආසන්න වශයෙන් මහාවංශය බිහිවීමට වසර තුන්සියයකට පමණ පෙර බව පෙනේ.එහි සඳහන් අන්දමට මනු නීධි චෝල නම් රජු තම පුත් “වීදි විඩංග(න්)” නම් යුවරජුට මරණ දඬුවම හිමිකරවනුයේ ද ඉහත සඳහන් ආකාරයේම සිද්ධියක් පදනම් කර ගනිමිනි.මෙම කතා ප්‍රවෘත්තියේ සහ මහා වංශ කතා පුවතේ ඇති ප්‍රධාන වෙනස නම් වංශ කතාවට අනුව ඉහත සඳන් මිණිගෙඩිය රජුගේ සයනය අද්දර තිබීමත් ඉන්දියානු ප්රවාදයට අනුව එය රාජ සභා මණ්ඩපයේ තිබීමත් ය.මනු නීති චෝල යනු මහු නීතිය මිනිස් දහම හෙවත් යුක්ති ධර්ම රකින චෝලයා යන්න ය.වංශ කතා වලට අනුව එලාර රජු ද චෝල පරපුරට අයත් වූවෙකි.නමුදු දෙමල බසින් “සීමාව තුළ බලය හසුරුවන්නා” යන අදහස ගෙනන එල්ලාලන් යන නාමය එලාර ලෙස සඳහන් වනුයේ සිංහලයේ පමණි.
ඉන්දීය උප මහාද්වීපයේ වින්ධ්‍යා කඳුවැටි වලින් දකුණු දෙසට වන්නට චෝල (සොලී) පාණ්ඩ්‍ය (පඬු) සහ චේර (කේරල) යනුවෙන් ප්‍රධාන රජ පෙළපත් තුනක් තිබිණ. මේ අතුරින් එමෙන්ම ඉන්දීය රාජ පරම්පරා අතරින් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස තෙක් විහිද යන ඉතිහාසයක් හිමි චෝල හෙවත් සොලී රජවරුන්ගේ යුක්ති ධර්මය මනු නීතිය මත පදනම් වූවක් බව නොයෙක් කෘතීන් හි සඳහන් වෙයි. එම මනු නීතිය අනුව රට පාලනය කරන රජතුමා රට වැසියන් සම්බන්ධයෙන් පමණක් නොව සතා සීපාවා ඇතුළු සමස්ත රාජ්‍යය සම්බන්ධයෙන්ම අතිශය අපක්ෂපාතී සහ සාධාරණ පදනමකින් ක්‍රියා කළ යුතු ය.
එහි දී රාජ්‍ය විචාරන රජතුමා මිනිස් තිරිසන් භේදය පවා නොතැකිය යුතු බව එහි සඳහන් වෙයි. ඉහත සඳහන් මනු නීධි චෝල රජු තම රාජ්‍යය තුළ වෙසෙන තිරිසන් මවකට සාධාරණය ඉටු කිරීම පිණිස තම එකම පුතුගේ ජීවිතය කැප කොට ඇත්තේ එම චෝල මනු නීතියට අනුව ය.
මනු නීධි චෝල රජතුමා එළදෙන සහ ඝන්ටාව පිළිබඳ මෙම කතා ප්‍රවෘත්තිය අප රටේ තිරුකෝනේෂ්වරම් කෝවිල සම්බන්ධ පුරාවෘත්තයක ද සඳහන් වෙයි. ඒ පිළිබඳ ප්‍රශස්ථ අධ්‍යයනයක් කළ ආචාර්ය ආර්. විග්නේෂ්වරන් සඳහන් කරන අන්දමට මෙම මනු නීධි චෝල රජතුමා ජීවත් වී ඇත්තේ ක්‍රි.පූ. දෙදහස් නවසියයේ දී පමණ ය. එනම් මහාවංශය රචනා වීමට වසර තුන් දහස් හාරසියයකට පමණ පෙර ය. ඒ අනුව මෙය එළාර රජු හෝ මනු නීධි චෝල නම් රජ කෙනකු සම්බන්ධ සත්‍ය සිදුවීමකට වඩා චෝල රජුන්ගේ රාජ්‍ය විචාරීමේ යුක්ති ධර්මීය පදනම පිළිබඳව විස්තර කෙරෙන උපමා කතාවක් විය හැකි බව අපගේ අනුමානයයි.එය බෞද්ධ සාහිත්‍යයේ එන සක්විති රජු ගේ භූමිකාවට සමාන්තර බව ද අපගේ වැටහීම ය.සක්විති රජතුමා ද තම රාජ්‍යයේ මිනිසුන් සේම ක්ෂීරපායින් සහ පක්ෂීන්(මිග පක්ඛේසූ)රැක ගැනීමටත් බැඳී සිටින බව දීඝ නිකායේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් වෙයි.
පිටියේ දෙවි යනු අදත් කන්ද උඩරට දුම්බර ප්‍රදේශයේ ගැමියන් විසින් අදහනු ලබන ප්‍රාදේශීය දෙවි කෙනෙකි. එම දෙවියන් සම්බන්ධ එක් පුරාවෘත්තයක ඉහත සඳහන් කතාන්තරය එලෙසින්ම ගැබ් වී ඇත. එහෙත්, එහි එම කුමරුවන් පිළිබඳව සඳහන් කොට ඇත්තේ සොලී රටේ රජ කෙනකුගේ පුත් කුමරුවකු ලෙසිනි. අප රටේ රජ කළ එළාර රජු පිළිබඳ සඳහනක් එහි නොමැත. පූජ්‍ය එච්.යූ. ප්‍රඥාලෝක හිමි විසින් සම්පාදිත පුරාණ සිව්පද සංග්‍රහය කෘතියෙහි මෙම කතා ප්‍රවෘත්තිය සඳහන් වෙයි.එමෙන්ම එහි අපූර්වත්වය වනුයේ දුම්බර ප්‍රදේශයේ ගැමියන් පිටියේ දෙවියන් අදහන්නාක් මෙන් අද දකුණු ඉන්දියාවේ ද වීදි විඩංගන් දේවත්වත්වයෙන් ඇදහීම ය.
මේ කෙසේ හෝ දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකින්ම මුවින් ඝන්ඨාරයක් නාද කරවන එළදෙනකුගේ පැරණි සිත්තම් ද හමු වී ඇත. ඒ අතර දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල යුක්තිය පසිඳලීමේ ලකුණක් ලෙස එළදෙන සහ ඝන්ඨාරය යන සංකේතය ද යොදා ගැනෙයි. එමෙන්ම මනු නීධි චෝල රජතුමා එළදෙන ඝන්ඨාරය සහ පුත් කුමරා සම්බන්ධ මෙම පැරණි පුරාවෘත්තය දකුණු ඉන්දියාවේ විවිධ කෝවිල්වල මූර්ති ආකාරයෙන් ප්‍රදර්ශනය කෙරෙයි. එසේම ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය හා සම්බන්ධ එළාර රජුගේ මනු නීති රැකීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදත් දකුණු ඉන්දියාවේ විශේෂ පැහැදීමක් සහ ගරුත්වයක් තිබේ. ඒ සඳහා ඔවුන් යොදා ගෙන ඇති ප්‍රධාන මූලාශ්‍රය අපගේ මහාවංශය වීම ද විශේෂත්වයකි. එසේම දකුණු ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි මදුරාසි මහාධිකරණ සංකීර්ණය ඉදිරියේ අද ද මනු නීධි චෝලන්; එල්ලාලන් රජුගේ පිළිරුවක් දැකිය හැකිය. ඉහත සඳහන් වෘත්තාන්තයේ එන වසු පැටවා රිය සකට යට වීම මව් එළදෙන ඝන්ඨාව හැඬවීම සහ රජුගේ පුත් කුමරා රියසකට යට කිරීම ආදිය ද එම පිළිරුව ඉදිරියෙන් සංකේතවත්ව මූර්‍තතිමත් කෙරේ.මනු චෝල මනු නීතිය උපරිමයෙන් රැකි නරපතියකු වශයෙන් එළාර රජුට දක්වන උපහාරයක් ලෙස එම ප්‍රතිමාව ඉදිකොට ඇති බව පෙනේ. එහි දෙමළ බසින් ‘එල්ලාලන්’ යනුවෙන් එතුමන් හඳුන්වා තිබේ. අප රටේ වංශ කතා වල සඳහන් නොවුණ ද ද්‍රවිඩ මූලාශ්‍ර වලට අනුව මෙම පුත් කුමරුවාගේ සහ වසු පැටවාගේ සිදු වීම මනු නීධි චෝල රජතුමා රාජ්‍ය විචාරීමේ දී දක්වන යුක්ති ගරුක භාවය විනිශ්චය කිරීම පිණිස ශිව දෙවියන් ක්‍රියාවට නංවන උපාය මාර්ගයකි.අවසානයේ මනු නීධිචෝල රජතුමා ප්‍රායෝගික වශයෙන්ම තම රාජ්‍යයේ මිනිසුන්ට සේම සතුන්ට ද එක සමාන සාධාරණත්වයක් සළසන බව ගත් ශිව දෙවියන් එම වසු පැටවාට සේම කුමරුවන්ට යළි පණ පිහිටුවයි. මෙය සත්ව හිමිකම් කුණු මුල්ලට දමා මානව හිමිකම් පිළිබඳව මහත් ඉහළින් කතා කරන නූතන සමාජයේ විශේශ අවධානයට යොමු විය යුතූ අනගි උපමා කතාවකි.
තිලක් සේනාසිංහ