මිනී කාමර වල මළ සිරුරු නැඟිටින්න පුළුවන්ද?

ඒ දකුණු අප්‍රිකාවේ කාර්ලෙටන්විල් ආසන්නයේ ස්ථානයකි. දිනය 2018 ජූනි 24 වැනිදා ය. සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග එක් කාන්තාවක් මෝටර් රථයක ගමන් කරමින් සිටියා ය.

හදිසියේම මෙය තවත් වාහනයක් සමග මුහුණට මුහුණ ගැටුණි. අනෙක් මගීන් කිසිවෙකු හෝ බරපතල අනතුරු නොලබා දිවි ගලවා ගත්ත ද ඒ කාන්තාව මියගොස් සිටියා ය. වෛද්‍ය සහායක කණ්ඩායම් ද තහවුරු කළේ ඇය මියගොස් ඇති බවකි.

ඔවුහු ඇගේ නාඩි සහ හුස්ම වැටෙන්නේදැයි පරීක්ෂා කළහ. නමුත් ඒ කිසිවක් ඔවුන්ගේ පරීක්ෂණයන්ට හසුවූයේ නැත. ඔවුහු ඇයව ඔවුනට ආසන්නයෙන්ම පැවති කාර්ලෙටන්විල් මෘත ශරීරාගාරයට රැගෙන යනු ලැබිණි. එහි ශීතාගාරයකට ඇගේ සිරුර දැමූ ඔවුහු එයින් පිටත්ව ගියහ.

පසුව නැවත මළසිරුර පරීක්ෂා කරන්නට පැමිණ බැලූ විට දුටු දෙයින් ඔවුහු බියෙන් ත්‍රස්ත වූහ. එක් ශීතාගාරයක් තුළින් ඇසුණේ හුස්ම ගන්නා හඬකි. ඒ අනතුරින් මිය ගිය කාන්තාවගේ සිරුර තැන්පත් කොට තිබූ ශීතාගාරය විය. සේවකයෝ බියපත්ව නමුත් පරෙස්සමට ශීතාගාරය විවෘත කළහ. ඇය හොඳින් හුස්මගනිමින් ජීවමානව සිටියා ය.

“ශීතාගාරයක් ඇරියාට පස්සේ ඒක ඇතුළේ කවුරු හෝ පණපිටින් ඉඳීවි කියලා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ.” මෘත ශරීරාගාර සේවකයකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

“නිකමට හිතන්න මරණ පරික්ෂණය කරන්න ඇගේ සිරුර කැපුවා නම් මොකද වෙන්නේ. ඇය පණපිටින් ඉන්න බවට මොනවා හෝ සලකුණක් තිබුණා නම් අපි ඇයට ප්‍රතිකාර කරනවා. මේක අපට හරිම කම්පා සහගත සිද්ධියක්.”එසේ පැවසූ බලධාරීහු සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළහ.

මෙය ලෝකයේ සිදුවූ මෙවැනි එකම සිදුවීම නොවේ. එය ප්‍රථම සිදුවීම මෙන්ම අවසාන සිදුවීම ද නොවේ. ජීවත්ව සිටිනවුන් මළවුන් සේ තීරණය කිරීම ඉතා කලාතුරකින් හෝ සිදු වන්නකි.

ඒ වසරේදීම ස්පාඤ්ඤයේ එක් සිරකරුවෙක් මියගිය බවට එකිනෙකට වෙනස් වෛද්‍යවරු තිදෙනක්ම සිය පරීක්ෂණවලින් නිගමනය කළහ. නමුත් පසුව දැනගන්නට ලැබුණේ ඔහු නින්දෙන් ගොරවමින් මෘත ශරීරාගරයේ මරණ පරීක්ෂණ මේසය මත සිටි බවකි.ඒට හේතුව එක් අවස්ථාවක මරණයක ලක්ෂණ පළ කළ ඔහුගේ සිරුර යළි ජීවය ලබා ඇති බවකි.

1991 වසරේ පෝලන්තයේ 91 හැවිරිදි කාන්තාවක ද මෙසේ මියගිය බවට තීරණය කොට මළසිරුර බහාලන බෑගයක දමා පැය 11 කාලයක් තිබුණු අතර පසුව සොයා ගනු ලැබුයේ ඇය ජීවත්ව සිටින බව ය. තම ඥාතියා සිහිසුන් ව සිටියදී ඔහු හෝ ඇය මළ බවට වෛද්‍ය වරු තීරණය කොට ඇතැයි සමහරුන් සිතන,කතා කරන හෝ පැමිණිලි කරන අවස්ථා ලෝකයේ කොතෙකුත් තිබේ.

සාමාන්‍යයෙන් යමෙක් මරණයට පත්වූයේදැයි සායනිකව පරීක්ෂාකරන විධික්‍රමයක් තිබේ.යම්කු මිය ගිය බවක් බැලූ බැල්මට පෙනී යන විටෙක වෛද්‍ය වරයා මුලින්ම වෙදනලාව පපුවට තබා පරීක්ෂා කරනු ලබයි.

ඉන්පසුව නාඩි පරීක්ෂා කරනු ලබයි. එමෙන්ම රුධිර පීඩන පරීක්ෂාවක් ද කරනු ලබයි. මේ සෑම පරීක්ෂණයකම ප්‍රතිපල ශූන්‍ය අගයක පපතී නම් මිය ගියේ යැයි සලකනු ලබන පුද්ගලයාගේ ඇසක් විවර කොට ඇසේ කනීනිකාවට ප්‍රබල ආලෝක දහරක් එල්ල කරනු ලබයි.

මොලයේ සුළු ප්‍රමාණයක් හෝ ජිවය ඉතිරිව තිබේ නම් කනීනිකාව ප්‍රතිචාර දක්වනු දැකිය හැකිය. මොළය මියගොස් ඇත්නම් කනීනිකාව ප්‍රතිචාර දක්වන්නේ නැත.

එසේ කනීනිකාව ප්‍රතිචාර නොදැක්වුව ද එසැනින්ම අදාළ පුද්ගලයා මරණයට පත්වූයේ යැයි තීරණය කරන්නේ නැත. ඉන්පසුව තවත් පැය දෙකක පමණ කාලයක් සිරුර එසේම තිබෙන්නට හරියි.

මේ පැය දෙකක කාලයකින් පසුව සිරුර ‘මෘත කාඨින්‍යය’ (Rigor mortis) තත්ත්වයට පත් වේ. එනම් සිරුර දරදඬුවිමයි. පුද්ගලයකු මරණයට පත්වූයේ යැයි සැලකෙන්නේ එයින් පසුව ය.මේ අවස්ථාව වන විට එය මෘත ශරීරයක් බව සාමාන්‍ය කෙනෙකුට වුව බැලූ බැල්මට හඳුනා ගත හැක.

එහෙත් ඉහත සඳන් පරීක්ෂා වලින් පසුව ද ජීවත් වීමේ අවස්ථාව හිමි කර ගත් සුළුතරයක් දෙනා සිටිති.එම අවස්ථාව හඳුන්වනු ලබන්නේ ප්‍රාණය පිළිබඳ අවිනිශ්චිතතාව( Suspended animtion) නමිනි.තත්වය එසේ වුවද ‘මෘත කාඨින්‍යය’ නම් අවස්ථාවට පැමිණෙනුයේ හුදෙක් මළ සිරුරක්ම පමණි.

නමුදු එසේ මරණය තීරණය කරනු ලබන වෛද්‍ය සහ සෙසු කාර්‍ය මණ්ඩල වල නොසැලකිල්ල මත ජීවත්ව හිඳින්නවුන් මෘතශරීරාගරයට යන්නට ඇති ඉඩකඩ ද ශූන්‍ය නොවේ.ඉතාම කලාතුරකින් හෝ මියගියවුන් හදිසියේ “මරණින් නැගිටින්නේ” අද්භූත බලයක් නිසා නොව මේ හේතුව නිසාය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

ඉරා අදුරුපට