මිස්ට බීන් ගෙන් රනිල් වික්‍රමසිංහ වෙන් කර ගනිමු

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය 15 දා අති විශාල ජනතාවක් කොළඹට රැස් කිරීමට සමත් විය. ඒ “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” යන තේමාව යටතේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා ය. එහි දී තම පාක්ෂික ජනතාව ඉදිරියේ ඔහු ජනපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට විවෘත අභියෝගයක් ද කළේය. එනම් තමන් හා ජනපතිවරණයකට ඉදිරිපත් වී, හැකි නම් ජය ගන්නා ලෙස ය.

මේ අතර අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ද මෙම 18 දා (හෙට) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීමට නියමිත ය. ඒ සඳහා ද දිවයිනේ නන් දෙසින් අති විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්‍ෂා කෙරේ. ඒ මේ වන විට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ජාතික ජන බලවේගය සහ එහි න්‍යෂ්ටිය වන ජනතා විමුක්ති පෙරමුණ අන් කවරදාටත් වඩා ජන බලය අතින් පෝෂණය වී පුෂ්ටිමත්ව හිඳින බැවිනි.

නමුත් අප රටේ කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මේ සියලු කලබැගෑනි හමුවේ වගේ වගක් නැතිව කටයුතු කරනු පෙනෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මෙන් රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවට එරෙහි “ජන ගඟක්” කොළඹට ගෙන ඒමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඔහු එසේ උත්සාහවත් නොවනුයේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය සතුව ජන ගඟක් තබා කුඩා දොළ පාරක් වත් නොතිබීම නිසා යැයි යමකුට හැඟෙන්නට පුළුවන. එහෙත්, රනිල් වික්‍රමසිංහ නම් චරිතය පිළිබඳව සියුම් ලෙස විමසුම් කරන විට එක්වරම එම නිගමනයට ඒමේ අපහසුවක් ද පවතී. ඒ ඔහු ගේ “සීරු මාරු දේශපාලන කලාව” මෙරට අන් කිසිදු දේශපාලනඥයකු කෙරෙන් දැකිය හැකි වේදැයි සැක සහිත බැවිනි.

බොහෝ විපක්ෂ දේශපාලනඥයන් මේ මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරිය යුතු බව පවසන විට රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙය ආණ්ඩුවක් විසුරුවා හැරීමට සුදුසු වේලාවක් නොවන බව ය.

තවත් පිරිසක් සභාග,හවුල් ආණ්ඩුවක් ගැන කතා කරන විට රනිල් එය ද ප්‍රතික්ෂේප කරමින් කියන්නේ දැන් කළ යුත්තේ හවුල් ආණ්ඩු තනා අර්බුදය තවත් අවුල් කර ගැනීම නොව පවතින ආණ්ඩුව සමඟ විපක්ෂය එක් වී පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකි පොදු ජාතික ප්‍රතිපත්තියකට අවතීර්ණ වීම බව ය.

ඒ එවන් පදනමක් යටතේ හෝ තමන්ට ද නව ජාතික දේශපාලන සංස්කෘතියක මුල් පෙළ අසුනක් ලබා ගත හැකි වේය යන ඔහු තුළ පවතින බලකාමී සිතුවිල්ල මත යැයි සිතීමට තරම් කරුණු කාරණා අප සතුව නැත. මේ අතර පසුගිය කාලය තුළ රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වී අග්‍රාමාත්‍ය පදවියට පත්වීමට සැළසුම් කොට සිටින බවට දේශපාලන ක්‍ෂේත්‍රය පුරා කට කතා පැතිරුණි.

එවිට ඔහු කියා සිටියේ රටේ පවත්නා වර්තමාන තත්වය අනුව මෙරට අග්‍රාමාත්‍ය තනතුර දැරීමට තමන්ට කිසිදු ඕනෑ කමක් නැති බවකි. “මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්. මිනිහව ආණ්ඩුවට ප්ලග් කර ගත්තොත් දැන් තියන ප්‍රශ්න වලින් සෑහෙන කොටසක් ගොඩදාන්න පුළුවන්” මේ වන විට වත්මන් ආණ්ඩුවට යන එන මං නොමැති බව මනාව වටහාගෙන හිඳින පසු පෙළ මන්ත්‍රීවරු එසේ කියති.

එහෙත්, රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලන “ඔස්තාර්”කෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් එහි ඉදිරි පෙළ හටගන්නා බල තුලනය මත තමන් අඩියකින් දෙකකින් හෝ පහතට වැටෙනු ඇතැයි බියෙන් පසුවන ආණ්ඩුවේ ඇතැම් ඉදිරි පෙළ සාමාජිකයෝ ඊට හා හූවක් නොකියා නිහඬ වෙති.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රට හෙම්බත් වෙමින් තිබිය දී දැන් කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය සහනයක් පැතීම බව රනිල් වික්‍රමසිංහ කීය. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු අපේ දේශයේ නිදහස්, අදීන, ස්වෛරී භාවයට හානි පමුණුවන විජාතික බලවේගයක් බැවින් අප ඒ පැත්ත පළාතක යා යුතු නැතැයි එවිට ආණ්ඩුවේ ම මුල්පෙළේ පිරිසක් හඬ නඟන්නට වූහ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු රට පාවා දීම පිණිස නිතර දත කට මදිමින් හිඳින පර ගැතියකු බැවින් ඔහු ගේ බසට අවනත වීම රටට ජාතියට සිදු කරන පරම ද්‍රෝහී කමකැයි ද ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රබලයෝ කීහ.

එහෙත්, අවසානයේ සිදු වූයේ කුමක්ද? රට අද වන විට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම ලෝකයේ හතර අතට අත පා අන්තිමට රනිල් වික්‍රමසිංහ කී තැනටම යන්නට සිදුවීම නොවේද?ඒ බව ඊයේ(16) ජනාධිපති වරයා ජාතිය අමතමින් පවසන විට රනිල් වික්‍රමසිංහ මුවින් හෝ අන් තැනකින් සිනා නඟන්නට ඇත.

පසුගිය වසරේ ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ඒ ඉන්ධන වාසිය මෙරට ජනතාවට ලබා දෙන මෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එවිට සාමාන්‍ය ජනතාවට සහනයක් හිමි වන අතරේ රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට ද එය සාධනීය ලෙසින් බලපානු ඇතැයි රනිල් වික්‍රමසිංහ කීය. එහෙත්, ඊට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාරය වූයේ ඒ මොහොතේ ඉන්ධන මිල පහත හෙළනු වෙනුවට ඒ මුදල් රජය භාරයේ වෙනම සංචිතයක තැන්පත් කරන බවකි.

එවිට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ ගිය ද මෙරටජනතාවට එය නොදැනෙන සේ කටයුතු කිරීමට රජයට හැකි වනු ඇතැයි ආණ්ඩුවේ බලධාරීහු කීහ.මෙය ලියන මොහොත වන විට ද ලෝක වෙළඳ පළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් අනූ අට තෙක් පහළ වැටී තිබේ. එහෙත්, අවසානයේ අපට සිදු වූයේ “බබීත් සුන් බබී ගේ අම්මත් සුන්’ වැනි දෙයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව හිතුවක්කාරී ලෙස ඩොලරය තම භාරයේ සිර කර ගෙන සිටින විට ද රනිල් වික්‍රමසිංහ කියා සිටියේ “ඒකට ඔහේ පාවෙන්න ඉඩ දෙන්න; එතකොට කොහේ හරි ගිහින් නතර වෙන්නේ නැතැ’යි කියා ය. එහෙත් අතීසාරයට අමුඩ ගැසීමෙන් අතීසාරය වළකා ගත හැකිය යන න්‍යයායට අනුව ඩොලරය ශ්‍රී ලංකා මහ බැංකු අත් අඩංගුවට ගෙන බැරිම තැන එය අත හැරීමෙන් සිදුවූයේ කුමක්ද? රබර් බෝලයක් දිය යට සඟවා තැබීමට දරන උත්සාහයේ ප්‍රතිඵලය වැන්නකි.

සිංහල, බෞද්ධ ජන කොටස කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකේය බහුතර ජනතාවට අනුව රනිල් වික්‍රමසිංහ බුදු සසුන දේශීය සංස්කෘතිය ආදිය පිළිබඳ කිසිදු හැඟීමක් දැනීමක් නැති මිසදිටුවෙකි. අපේ රටේ සමහරුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ යනු අඩුම තරමින් ජාතික ඇඳුම ඇදීමවත් ප්‍රිය නොකරන කලු සුද්දකු බව ය.

එහෙත් අප රටේ බොහෝ දේශපාලනඥයන් ගේ ජාතික ඇඳුම යනු ඔවුන් ගේ දේශපාලනික ජීවිත වල පිරී ඇති වසුරු වසා තබන සුදු පිරුවට බව මේ වන විට අප රටේ බොහෝ දෙනකුට තේරුම් යමින් තිබේ.

2015 ජනපතිවරණය සම්බන්ධ ප්‍රචාරක කටයුතු වලදී රනිල් වික්‍රමසිංහ කීයේ නව රජය මගින් තමන් සැළසුම් කරන යහපාලනය යනු ලිච්චවි රජ දරුවන් ගේ පාලන ක්‍රමය බවකි. ඉංග්‍රීසි බසින් Good governance නමින් හඳුන්වන යහපාලනය සහ බෞද්ධ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍ර ඇතුළු තවත් සූත්‍ර ගණනාවකම එන ගණ තන්ත්‍ර පාලන ක්‍රමයට අතිශයින් අනුරූප වූවක් බව රනිල් වික්‍රමසිංහ දැන සිටියාට අප රටේ බොහෝ බෞද්ධයන් ඒ බුදු බණ කොටස දැන නොසිටි නිසා ඔහුගේ ඒ බෞද්ධ අර්ථ කතනය මෙරට සාමාන්‍ය ජනතාවට වැටහුණේ නැත.

එහෙත්, යම් කිසි සභාවක් අමතන විට වේදිකාවේ වැඩ හිඳින භික්ෂුන්ට වරින් වර “අපේ හාමුදුරුවනේ” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ තුළ තිබිණි නම් ඔහු සැබෑ බෞද්ධයකු ලෙස අප රටේ බහුතර ජනතාව මීට වඩා හොඳින් වටහා ගනු නියතය.

නමුත් වත්මන් ජනප්‍රිය බුද්ධාගම පිළිබඳව කෙසේ වෙතත් බෞද්ධ දර්ශණය පිළිබඳ මනා වැටහීමක් ඇති විශිෂ්ඨ ගණිතමය බුද්ධියකින් යුතු න්‍යාත්මක දේශපාලනඥයකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට නම් මෙම දේශපාලන සමීකරණය මනාව වැටහී තිබිණ.

වරක් රනිල් වික්‍රමසිංහ පිළිබඳව හැඳින්වීමේ දී එක්සත් ජාතික පක්ෂය “මිස්ට ක්ලීන්” යන වදන ඔහුට ආදේශ කළහ. එවිට ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයෝ රනිල් වික්‍රමසිංහ ගේ මිස්ට ක්ලීන් නාමයට “මිස්ට බීන් යනුවෙන් හාස්‍ය ජනක ආරෝපණයක් ලබා දුන්හ.අවසානයේ සිදු වූයේ රනිල් වික්‍රමසිංහට පටබැඳුණ මිස්ට ක්ලීන් නාමයට වඩා මිස්ට බීන් නාමය ‘නැගලා යාම’ ය.

මිස්ට බීන් නම් ලෝක ප්‍රකට විකට චරිතය නිරූපණය කරන රොවන් සෙබස්තියන් ඇට්කින්සන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා රංගන වේදය පිළිබඳ විශාරදයෙකි. ඔහු තම මිස්ට බීන් ගේ චරිතය තුළින් මතු කරනුයේ ඇතැමුන් මුග්ධ සහලක්ෂණය( Idiot savant syndrome ) යනුවෙන් හඳුන්වන ඔටිස්මය ප්‍රඥා සහලක්ෂණය ( Autistic savant syndrome ). යන තත්වයෙන් පෙළෙන්නකු ගේ පෞරුෂ ලක්ෂණයකි. මෙය සායනික රෝගයක්, සේම සමහරුන් තුළ පවත්නා පෞරුෂ ලක්ෂණයක් ලෙස ද විස්තර කෙරේ.

ඔටිසම් නම් රෝගයට සම්බන්ධ විය හැකි සේම නොවිය හැකි මෙම තත්වය පොදුවේ ප්‍රඥා සහලක්ෂණය(Savant syndrome )ලෙස ද හඳුන්වනු ලැබේ.සමහරුන් තුළ පවත්නා මෙම තත්වය සායනික රෝගයක් නොවන පෞරුෂ ලක්ෂණයක් ලෙස ද විස්තර කෙරේ.හැඟීම් ආවේග පළ කිරීමේ විෂමතා සහිත මෙම පුද්ගලයන්ගේ ඇලුම්,බැලුම්,හැසිරීම් ආදියේ ද යම් අසාමාන්‍යතාවක් තිබේ.

පසුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ද ‘මයි නේම් ඊස් ඛාන්’ නම් හින්දි චිත්‍රපටය තුළින් මෙම පෞරුෂයෙන් පෙළෙන්නකු ගේ චරිතයක් නිරූපණය කළේය.අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී අනුගත බවක් පළ නොකොට තනි මතයට මුල් තැන දෙන මොව්හු බොහෝ විට එදිනෙදා ජීවිතයේ දී පටු අදහස්(Narrow minded ) වලින් යුතු වෙති.

නමුත්, රනිල් වික්‍රමසිංහ ගේ ස්වභාවික හැසිරීම්,පෞද්ගලික ගති ලක්ෂණ ඒ අනුව විග්‍රහ කිරීමට යාම යුක්ති සහගත නැතැයි මට සිතෙයි.එහෙත්, මෙම පෞරුෂයෙන් යුක්ත වූවන් තුළ එදිනෙදා කටයුතු,තත්කාලීන පසුබිම ආදිය කෙරෙහි එතරම් හැඟීමක් දැනීමක්, අවබෝධයක් හෝ සැළකිල්ලක් නොමැති වුව ඔවුන් අතුරින් සාමාන්‍ය මිනිස් බුද්ධිය ඉක්මවන සුවිශේෂ බුද්ධිමය ප්‍රතිභාවන් සහිත වූවන් බව අනාවරණය වී තිබේ.

මානව ඉතිහාසයේ සුවිශේෂ වෙනස් කම් කළ දාර්ශනිකයන්,විද්‍යාඥයන් අතර ද මෙම පෞරුෂ ලක්ෂණය පළ කරන්නෝ වෙති.එමෙන්ම මෙම පෞරුෂය ඇස්පර්ගර් ගේ සහලක්ෂණය(Asperger`s syndrome ) ලෙස හැඳින්වෙන තත්වය හා සමපාත බවක් ද පෙනී යනුයේ එවැන්නත් තුළ ද ඉතා කලාතුරකින් බහු විධ බුද්ධි ප්‍රතිභාවන් තිබිය හැකි බැවිනි.

මේ සියලු තත්වයන් යටතේ රනිල් වික්‍රමසිංහ නම් වන මෙම සුවිශේෂ දේශපාලන චරිතය සම්බන්ධයෙන් වෙනම විශ්ලේෂණය කොට අප රටේ පොත්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ මදය වැසවසම් යුගයට අයත් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලන සංස්කෘතියෙන් අත්මිදුණු සුවිශේෂ භූමිකාවක් ඔහු වෙත ප්‍රදානය කරන්නේ නම් එයින් අපේ රටට අප බොහෝ දෙනකු නොසිතන අන්දමේ යහපතක් උදාකිරීමට ඔහුට හැකිවනු ඇතැයි යන්න අපගේ පෞද්ගලික විශ්වාසයයි.

ඒ සඳහා ගත හැකි කඩිනම් පියවර රනිල් වික්‍රමසිංහ ප්‍රායෝගිකත්වයෙන් යුතු ක්‍රියාකාරී බලයක් සහිත ජනාධිපතිවරයා ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් කිරීම බව මා පැවසුවහොත් සමහර විට ඔබ එයට එරෙහි නොවනු ඇත.

එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ වැන්නකු මෙරට සෘජු ජාතික දේශපාලනට සම්බන්ධ කර නොගෙන තව දුරටත් ඔහු අප රටේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය තුළම කුරුවළු කිරීම ඔහුට කෙසේ වෙතත් රටට ජාතියට සිදු කරන කුරුරු අනර්ථයක් බව මගේ පෞද්ගලික වැටහීම ය.

තිලක් සේනාසිංහ

 

එතෙර - මෙතෙර