මිහින්තලේ ලයිට් කැපුවා කියා හඬ නගන විහාරාධිපති හිමියන් පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර ඇතැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.එමෙන්ම විහාරාධිති හිමියන් පන්සලේ ලයිට් කැපූ බව රටට කී සැනින් වහා ඉදිරිපත් වූ විපක්ෂ නායක වරයා විදුලි බිල ගෙවා දැමීම ද පිටපතකට අනුව රඟ දැක්වුණු නාටකයක් බව කී එජාප මහලේකම්වරයා ලක්දිවට බුදු දහම රැගෙන මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් මිහින්තලේ නාමය ජඩ දේශපාලන නාටක වලට යොදා ගන්නට එපා යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.