ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩ සටහන යටතේ කෘෂිකර්ම ක්ෂේත්රයේ උන්නතිය සඳහා සිදුකරන කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මීගමුවේ පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කරනු ලබන යම් ක්‍රියාවලියක් නිසා ප්‍රදේශය පුරා අති මහත් දුර්ගන්ධයක් පැතිර යමින් පවතින බවට ප්‍රදේශ වාසීහු චෝදනා කරති.
ඔවුන් පවසනුයේ නරක් වී ගිය මත්ස්‍ය කරමල්, වරල් මත්ස්‍ය බොකු ආදිය සේම කුකුළු ගොවි පලවලින් ඉවත දමන අපද්‍රව්‍ය තොග වශයෙන් පල් කිරීමේ ක්‍රියාවලියක් මුල් කොට මෙම අතිමහත් දුර්ගන්ධය දසත පැතිර යන බවයි.
යමකුට කිසිසේත්ම දරා ගත නොහැකි මේ දුර්ගන්ධය හමුවේ ශ්වසන අපහසුව සේම හිසරදය, ක්ලාන්තය, වමනය වැනි රෝග ලක්ෂණ ද මෙම අපවිත්රකාරී පරිසරය තුළින් මැස්සන් බෝවීම මත පාචනය ආදී රෝග ද ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් පැතිර යන බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.
පාරම්පරික ධීවර ජනාවාසයක ජීවත්වන තමන්ට ඒ කර්මාන්තය හා සම්බන්ධ විවිධ දුර්ගන්ධයන් ඉවසා දරා ගැනීමට හැකි වුවත් මෙය කෙසේවත් ඉවසා දරා ගත නොහැකි අන්දමේ පීඩාකාරී දුඟදක් බව ද මීගමු පිටිපන වැසියෝ කියති.
ප්‍රදේශවාසීන් පවසන අන්දමට මීගමුව පිටිපන ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම කාබනික පොහොර නිෂ්පාදනාගාරය අරඹා ඇත්තේ බස්නාහිර පළාත් සභා අරමුදලිනි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයා මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් පසුගිය වසරේ මාර්තු 04 දා එය විවෘත කොට තිබේ. එහෙත්, මීගමුව පිටිපන ප්‍රදේශවාසීන් පවසනුයේ මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ දී මේ තරම් දුඟදක් හමන්නේ නම් එය කිසිවකු ගේ වැරදි උපදෙසක් මත ක්‍රියාත්මක කරන්නක් විනා කෙසේ වත් විධිමත් නිෂ්පාදනයක් නොවන බව ය.
එමෙන්ම එවන් දුඟඳ හමන පොහොරක් කිසිදු ගොවියකු විසින් භාවිතා කරනු තබා තම ගම් ප්‍රදේශවලට ගෙන්වා ගැනීමට ද කිසිවෙකු කැමති නොවනු ඇතැයි මීගමු පිටිපන වැසියෝ කියති.
තමන් නිරතුරුවම මුහුණ දෙන මෙම දැඩි පීඩාකාරී තත්වය පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා ගේ සිට මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා දක්වාත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ,බස්නාහිර පළාත් සභා පරිසර අමාත්‍යාංශයේ සිට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය දක්වාත් දැනුවත් කොට ඇති මුත් මේ දරුණු පීඩාව මග හැරවීමට මෙතෙක් ඒ කිසිවකුත් ඉදිරිපත්ව නොමැති බව ද ප්‍රදේශවාසීහු කියති.
පසුව මෙම කටයුත්තට විරෝධය පළ කිරීම් වශයෙන් තමන් දියත් කළ උද්ඝෝෂණය ද පොලීසිය මගින් විසුරුවා හැරිය මුත් එම පාරිසරික ව්‍යසනය පිටු දැකීමට ඒ කිසිවෙකු ද ක්‍රියා නොකළ බව ද ප්‍රදේශවාසීහු කියති.
ඊට හේතුව මෙම පරිසර දූෂණයට ජනාධිපතිවරයා ගේ නම, සෞභාග්‍යයේ දැක්ම සහ කාබනික පොහොර යන නම් ඇඳී තිබීම නිසා බව පවසන ඔවුන් පවසනුයේ මෙම තත්වය විමසා බැලීමට මෙතෙක් කිසිදු වගකිව යුතු දේශපාලනඥයකු එහි නොපැමිණි බව ය.
‘මේ රටේ කාබනික පෝර හැදෙනවට අපි විරුද්ධ නෑ. නමුත් සංවර්ධනය කියන දේ වුණත් සිද්ද වෙන්න ඕනේ; මිනිස්සුන්ගේ අවම අයිතීන් ආරක්ෂා වෙන විදිහට;කොටින්ම මිනිස්සුන් ගේ හුස්ම හිරකරලා කරන සංවර්ධනයට ඉඩ දෙන්න අපිට බෑ.
ඒ හින්දා අපි බලධාරීන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ ජනතාව විඳින පීඩාවෙන් මේ අය ගලවන්න කියලයි’. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මීගමුව පිටිපන මීසම් පාලක ගරු ඇන්ටන් රන්ජිත් පියතුමා කීය.
දමයන්ති ගමගේ