ගත වූ දශක කිහිපය පුරා දේශපාලන බලය යොදා ගෙන මුතුරාජවෙල අවට තෙත්බිම්, ඇතුළු පහත් බිම් ගොඩකිරීම නිසා නුදුරේදීම පෑලියගොඩ සිට මීගමුව දක්වා ප්‍රදේශයේ සිදුවිය හැකි බරපතල පාරිසරික ව්‍යසනයක් පිළිබඳව මේ වන විට පාරිසරික නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. දැනටමත් සිදුව ඇති අනවසර ගොඩකිරීම් හමුවේ මුතුරාජවෙල තෙත්බිම් පරිසර පද්ධතිය ආශ්‍රිත කඳාන, ජාඇල, මීගමුව දක්වා සෙසු ප්‍රදේශවලටත් ගංවතුර තර්ජනය ඇතිවිය හැකි බව දැනට පෙනී ගොස් තිබේ. මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීම නිසා ඉදිරියේදී පහත්බිම් ආශ්‍රිතව ජනතාව දැඩි අවදානමකට ලක්වෙමින් පවතින බවද හෙළි වී ඇත. මීට අමතරව ඇලකන්දේ සිට මීගමුව දක්වා ප්‍රධාන මාර්ග ද ජලයෙන් වැසීයාමේ තර්ජනයට මුහුණ දිය හැකි බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මේ හේතුවෙන් නුදුරේදීම ගංවතුර නිසා අවතැන් වූවන් වෙනුවෙන් ආධාර දීමට බිලියන ගණනක මුදලක් මෙන්ම මුතුරාජවෙල අවට ගංවතුර මුහුදට පොම්ප කරන ස්ථාන සඳහා ඩොලර් බිලියන ගණනක් වෙන් කිරීමට සිදුවන බව පරිසර විද්‍යාඥයන් අනතුරු හඟවා තිබේ.එමෙන්ම මේ වන විට අනාවරණය වී ඇති අන්දමට මෙම පරිසර විනාශය “ආපසු හැරවිය නොහැකි” මට්ටමක් තෙක් ඉහළ නැඟ ඇත. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සහ බලධාරීන්ගේ නිසැකකිලිමත්කම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංවතුර රඳවනය වන මුතුරාජවෙල තෙත් බිමෙන් වැඩි කොටස මේ වන විට පිටතින් ගෙනා පස් කියුබ් මිලියන ගණනකින් ගොඩ කර තිබේ.තෙත් බිම මත මහා පරිමාන ඉදිකිරීම් වල සිට දේශපාලනඥයන් අතවැසියනට තෙත් බිමේ ඉඩම් බෙදාදීම තෙක් වූ මේ තෙත් බිම් සංහාරය මේ වන විටත් සිදු වෙමින් පවතී.එහි අවසන් ප්‍රතිඵලය වනුයේ මුතුරාජවෙල අවට ගම්බිම් රාශියක් ගංවතුර රකුසාට අමු අමුවේ බිලි වීම් ය.ඒ අනුව ඉතා කෙටි කලක් තුළ මුතුරාජවෙල අවට අති විශාල පිරිසකට වැසි කාලයට තම වාස භූමි අහිමි වනු ඇත.
මේ වන විට මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර තිබේ.ඒ 1980 අංක 2 දරන නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතට අනුවය. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පවරා ඇති බලතල මත මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 15ක පිහිටි හෙක්ටයාර 1926.6ක භූමි ප‍්‍රදේශයක් 2021 ඔක්තෝබර් මස 7 වන දින අංක 2248/44 දරන ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.මෙලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් “අනවසරයෙන්” පිරවීම හා අල්ලා ගැනීම වැළැක්වීම, මෙම තෙත් බිම සංරක්ෂණය හා තිරසර භාවිතය මෙන්ම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.නමුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත්තේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් ඉඩම් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ය. එවන් පනතක් මගින් මුතුරාජවෙල ප‍්‍රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සංරක්ෂණ කාර්යයක් සිදු කරනු ඇතැයි පැවසීම නව යොවුන් තරුණියකගේ භාරකාරත්වය සල්ලාලයකුට පැවරීමකට සමානය.
එදා මෙදා බලයට පත් වූ රජයන් තරඟකාරී මට්ටමින් වනාන්තර සමාගම්වලට පවරාදෙමින් සිදු කරන දැවැන්ත විනාශය හා ඒ සඳහා ගත් ප‍්‍රතිපත්තිමය තීරණවලට අනුව පෙනී යන්නේ සංරක්ෂණයේ මුවාවෙන් තෙත් බිම් පද්ධති ද සමාගම්වලට ලබා දී විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරන බව අතිශයින් පැහැදිලි ය.ඊට හොඳම සාක්ෂිය මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයටම අනවසර පිරවීම් හා අනවසර අල්ලා ගැනීම් වැළැක්වීම සඳහා මෙම තෙත් බිම් ප‍්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරන බව ය. එහි යටි අරුත වන්නේ මෙම තෙත් බිම” අවසර සහිතව පමණක්” පිරවීම් කර සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දෙන බවය. එසේ නොමැතිව මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීම වළක්වා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නොවන බව ගැසට් නිවේදනයේ සඳහන් කරුණු මත ඉතාම හොඳින් පෙනී යයි.ඒ අනුව මුතුරාජවෙල අවට ගම්බිම් රාශියක් ගංවතුර රකුසාට අමු අමුවේ බිලිවීමට හේතු එකි`නෙක ලිහා ගැනීම අපහසු නොවේ.නමුදු මේ සෑම සිදුවීමක් සමඟම රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් දේශපාලනඥයන් ගේත් රාජ්‍ය නිලධාරීන් ගේත් රහස්‍ය බැංකු ගිනුම් වලට එකතු වී හමාරය.
මුතුරාජවෙල සංවර්ධනය සඳහා වන මව් සැලැසුම සකස් කෙරුණේ 1994 වසරේ දී ය. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම කොටස් තුනකට වෙන් කර තිරසර කළමනාකරණය සඳහා සැලැසුමක් සකස් කෙරිණ. එම සැලැස්ම නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන ගැටලූ මතු වූයේ අනිසි දේශපාලන බලපෑම් මත ඒ සඳහා නීත්‍යානුකුඅල බලය සහිත රාජ්‍ය ආයතනවලට මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ය. ඒ සඳහා ගත යුතුව තිබූ ක‍්‍රියාමාර්ගය වූයේ අදාළ ආයතනවලට බලපෑමකින් තොරව නීති ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් රට තුළ ඇති කිරීම හා නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමය. එසේ සිදු නොකර දැනට පවතින ව්‍යුහය තුළම මෙම තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම යනු සංරක්ෂණය වෙනුවට සංවර්ධනයේ නාමයෙන් මුතුරාජවෙල තෙත් බිමේ ඉතුරු ටිකත් කා දැමීමට සැලසුම් සකස් කිරීමකි.
අනෙක් වැදගත්ම කරුණ මෙම ගැසට් නිවේදනයේ මුතුරාජවෙල තෙත් බිම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු සඳහන් කර තිබීමය.මුතුරාජවෙල තෙත් බිම අන්තර්ජාතික රැම්සාර් සම්මුතියට අනුව රැම්සාර් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා යෝජනාවලියක්ද ඉදිරිපත් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු ගැසට් නිවේදන මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.ඒ අනුව එම ගැසට් පත්‍රය වුව “ටොන් පචයකි”.
හෙක්ටයාර 3068 ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුණේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවය. මෙම පනතේ ප‍්‍රධාන අරමුණ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස ප‍්‍රයෝජනයට ගැනීම වැළැක්වීම හා ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීමය. මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝබර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 ක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.
දෙවනුව මුතුරාජවෙල තෙත් බිමට ආරක්ෂාව හිමි වූයේ ජාතික පාරිසරික පනතෙනි. මෙම පනතේ ප‍්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ අභිවර්ධනය කිරීම සඳහා පාරිසරික තත්ත්වය විධිමත් කිරීම, පවත්වාගෙන යෑම සහ එය පාලනය කිරීම සඳහා පරිසර දූෂණය වැළැක්වීම, නතර කිරීම සහ පාලනය කිරීම සඳහා ක‍්‍රියාත්මක වීම ය. මෙම පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව 2006 ඔක්තෝබර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනයෙන් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර 206.678 ක තෙත් බිම් ප‍්‍රදේශයක් ලංකාවේ ප‍්‍රථම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ. ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය හෙක්ටයාර 162.10 ක් දක්වා අඩු කර තිබේ.මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉතිරි භූමි ප‍්‍රදේශ මෙම පනත් දෙක යටතේ ප‍්‍රකාශයට පත් කර සංරක්ෂණය කිරීම වෙනුවට මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් පෙනී යන්නේ සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා සැලැසුම් කරන බවය.මෙය මුතුරාජවෙල මරා දැමීමකට වඩා ළංවනුයේ “පණ පිටින් එම්බාම් කිරීමකටය.
වර්තමානයේ මුතුරාජවෙල ලෙස හැඳින්වෙනුයේ වත්තල සහ ජාඇල ප්‍රාදේශීය ලේකම් සීමාවන් තුළ පිහිටි මානව ජනාවාසද සහිත තෙත්බිම් පාරිසරික පද්ධතියකි. කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ දකුණු පසට වන්නට වත්තල සිට සීදුව දක්වා වන මානව ජනාවාසද සහිත අක්කර හත්දහස් පන්සිය අසූවක භූමි භාගයක් ඊට අයත් වෙයි. අද තත්වය එසේ වුවද නිසැක වශයෙන්ම එය මීට සියවස් කිහිපයක් දක්වා වී වගාව පිණිස යොදා ගැනුණු සශ්‍රික කුඹුරු යායකි. එහෙත් එහි වපසරිය වර්තමාන භූමි ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වන බව බැලූ බැල්මට පෙනෙයි. වර්තමානයේ මුතුරාජවෙල වශයෙන් නොහඳුන්වන හැඳල, හේකිත්ත, වත්තල ගොංගිතොට, හුනුපිටිය,එඬේරමුල්ල ආදී ප්‍රදේශයත් දැලතුර, තුඩැල්ල දඬුගම ආදී ප්‍රදේශත් අතීත මුතුරාජවෙල වශයෙන් හැඳින්වුණු බවට සාක්ෂි තිබේ. ඒ අනුව අතීත මුතුරාජවෙල මුලු භූමි ප්‍රමාණය අක්කර පහළොස්දහසකට පමණ වෙතැයි අනුමාන කළ හැක. වත්මන් මුතුරාජවෙලට අයත් නොවුවද එඬේරමුල්ල යනු අතීත මුතුරාජවෙල ගවපාලකයන් විසූ ගම්වරයක් බව නිසැකය. වත්මන් මුතුරාජවෙල සීමාවට අයත් පට්ටියගම අතීතයේ ගවපාලනය හා සම්බන්ධ ප්‍රකට ගම්වරයකි. කොළඹ සිට මහනුවර, දෙසට විහිදෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ හරහා වැටී ගත් හුනුපිටියේ සිට රාගම දක්වා කොටස නිර්මාණය කොට ඇත්තේ දෙපසට විහිදෙන සුවිසල් තෙත් බිමක් මැදි කරගත් යෝධ පස්පිරවුමක් මතිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය අනතුරද මෙම තෙත්බිම මත දුම්රිය මාර්ගය තැනු මුල්ම අවධියේ සිදු වූ බව ඉතිහාසය කියයි. එහෙත් ඊට පසුව එම ප්‍රදේශය පුරා ඇතිවූ ශීඝ්‍ර ජන සංක්‍රමණය නිසා එම තෙත් බිම් කොටස් නූතන මුතුරාජවෙලින් ‘ගැලවී’ වෙන්වී ගොස් තිබේ.ඒ කෙසේ නමුදු අද පවා මුතුරාජවෙල සැබෑ සීමාවන් පෙන්විය හැකි කිසිම ජගතකු මේ මිහිපිට නැත.මුතුරාජවෙල නම් අහිංසකාවියගේ ඒ නග්න භාවය ද ඇය මෙලෙස කුරිරු දූෂණයට ලක්වීමට ප්‍රධාන් හේතුවකි.
ඓතිහාසික වශයෙන් වුව මුතුරාජවෙල ඉතා වැදගත් ය. මුතුරාජවෙල සම්බන්ධ ජන ප්‍රවාද පිළිබඳව විමසීමේ දී අතීත කැලණි රාජධානියේ රජකම් කළ කැලණිතිස්ස රජතුමා නොකළ වරදකට රහත් තෙර නමක් උණුතෙල් කටාරමක ගිල්වා ඝාතනය කරවීම සම්බන්ධ පුරාවෘත්තයට මුල් තැනක් හිමිවෙයි. රජු කළ ඒ වරදට දෙවියන් කෝප වී මුහුද ගොඩ ගැලූ බවත් ඊට වන්දි වශයෙන් රජුට තම දියණිය වූ විහාරමහදේවිය මුහුදට බිලි දෙන්නට සිදු වූ බවත් කවුරුත් දන්නා කතාවකි.
මුතුරාජවෙල යනු එසේ කැලණි රාජධානියට මුහුද ගැලීමෙන් යටවූ ප්‍රදේශයක් බවට ද ජනවිශ්වාසයක් තිබේ. ඉන්පසුව රජතුමා ඇතුපිට නැගී එම මුහුද ගැලීම බැලීමට යන අතරේ විශාල ජල කඳකින් ඇතු සමගම රජතුමා ද නරකය වෙත ඇදී ගිය බවක් රාජාවලිය කියයි.
මෙම පුරාවෘත්තය සත්‍යයක් නම් එය සිදුවූයේ ද මුතුරාජවෙල සීමාවේම බවට ප්‍රබල සාක්ෂියක් කෝට්ටේ යුගයේ රචිත කෝකිල සංදේශයෙන් ලැබේ. එහි 117ක පද්‍යයෙන් එම පුරාණොක්තිය සිහි කරන කෝකිල සංදේශ කතුවරයා එම ස්ථානය ‘ඇතුබුන්වල’ ලෙසින් එම පද්‍යයට ඇතුළු කොට තිබේ. දෙවුන්දර සිට යාපා පටුන දක්වා ගමන් කරන කෝකිලයාට සංදේශය මගින් කතුවරයා දක්වන විස්තරය අනුව මෙම ඇතුබුන්වල නම් ස්ථානය පිහිටා ඇත්තේ වත්තල සහ රිලවුල්ල (කඳාන) අතරය.එය වර්තමානයේ ඇලෙයිවත්ත ලෙස හැඳින්වෙයි. කෝකිල සංදේශයේ 170 වන පද්‍යයෙන් වත්තල පිළිබඳව සඳහන් කරන කතුවරයා එහි 171 පද්‍යයෙන් ඇතැබුන්වල පිළිබඳව සඳහන් කොට ඉනික්බිතිව 172, 173 යන පද්‍යයන්ගෙන් රිලවුල්ල සහ වැලිගම්පිටිය (ජාඇල) යන ප්‍රදේශ පිළිබඳව ඒ නම් වලින්ම සඳහන් කොට ඇත.ඒ අනුව අතීතයේ දෙවියන් කෝප වීම නිසා මුහුදට බිලි වූ මුතුරාජවෙල අවර ගම්බිම් පාපතර දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සාහසික ක්‍රියා නිසා ගංවතුරට බිලි වන තුරු බලා සිටීමේ කාලය දැන් එළඹෙමින් තිබේ.
හේමන්ත රන්බණ්ඩාර