මෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා – හියුමන් රයිට්ස් වොච්

2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය පවසයි.

මේ වන විට ජනගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතින්ගේ වාර්තා පෙන්නුම් කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම අදහස් පළ කර ඇත.

එම නිවේදනය මගින් ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් මෙරට මූලික නිදහසට තවදුරටත් තර්ජන පවතින බවය.

ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවට පෙන්වා දීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරමින් සිටින බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

මෙරට මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇති වන බාධා කිරීම් විමර්ශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් සාමාජික රටවලින් ඉල්ලීමක් ද කර ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.

කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත් කර මෙරට සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ.

කාලීන පුවත්