මෙරට පවතින ආර්ථික බංකොලොත්භාවය හමුවේ සෞඛ්‍ය සේවය ඊට මුහුණ දෙන්නේ කෙසේද ? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අපේ රට බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කළේ 2002 අප්‍රේල් 12 දා ය. මෙම බංකොලොත්භාවය යනු කුමක්දැයි බොහෝ දෙනෙකුට හරි වැටහීමක් නැත. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් සියලු ආකාරයෙන් බංකොලොත් භාවයට පත් වීම ගැන ඔබට වටහා ගැනීම අසීරුවක් නොවනු ඇතැයි සිතමි. රටක් බංකොලොත්භාවයට පත්වීමත් මෙවැනිම දෙයකි. සරලවම කිවහොත් එම රට පිටරටවල්වලින් ලබා ගෙන තිබෙන ණයවල ණය වාරික සහ පොලිය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීමයි.

බංකොලොත්භාවය ප්‍රකාශයට පත් නොකර නිහඬව සිටින්නට තිබුණා නොවේ දැයි මෙහිදී සමහරු තර්කයක් මතු කරති. නමුත් එය විහිළු කතාවකි. තමන්ගේ පොලිය ගෙවා ගන්නටවත් බැරි තත්ත්වයට රටක් පත්වූ පසු බංකොලොත්භාවය අප අමුතුවෙන් ප්‍රකාශ කළත් නැතත් මෙය බංකොලොත් වූ රටක් ලෙස ලෝකය පිළිගනී.
රටක් බංකොලොත්භාවයට පත්වීම සඳහා බලපාන හේතු රාශියක් තිබේ. එයින් ප්‍රධානතම හේතු කිහිපයක් පිළිබඳව සැලකුවහොත්,

1. අධික ලෙස වියදම් කිරීම

රජය සහ රාජ්‍ය ආයතන තම ආදායම් මට්ටමට වඩා තමන්ට දරාගත නොහැකි අන්දමින් අධික ලෙස වියදම් කිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවකි.

2. තමන්ට ගෙවා ගත නොහැකි තරමට ණය ලබා ගැනීම

ණයක් ලබා ගන්නා විට එම ණය කිසියම් දෙයකට යොදවා ලබා ගන්නා ආදායමෙන් නැවත ඒ ණය සහ ණය පොලිය ගෙවා ගත හැකි ද යන්න ණය ලබා ගැනීමට පෙර සොයා බැලිය යුතුය. එසේ නැතිව විශාල ප්‍රමාණයක් ණය ලබාගැනීමට අමතරව, ඇතැම් විට ඒ ණයවලින් කරනු ලබන කටයුත්තට වඩා තුන් හතර ගුණයක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙන බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. අනෙක් අතට බලන කල ඒ ණය යොදවා කරන ලද කටයුතුවලින් ආදායමක් ලැබුවේ ද නැත. ගෙවාගත නොහැකි තරමේ ණය ප්‍රමාණයක් ගෙන වරාය, ගුවන් තොටුපළ, විනෝද ස්ථාන, පාරවල් ආදිය තනා තිබිණි.

3. දූෂණය

මෙය තවත් ප්‍රධාන හේතුවක් වේ. ගන්නා ණය රටේ සංවර්ධනය සඳහා වියදම් නොකර වෙනත් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම අපි රටේ බහුල වශයෙන් දැකිය හැකි තත්ත්වයකි.

4. ආදායම් අහිමි වීම

මෙයත් දෙයාකාරයකට සිදු විය. එකක් නම් බදු ආදායම් අඩු වීම ය. ඒ 2019 වසරේ දී රාජ්‍ය බදු අය කිරීමේ ප්‍රතිශතය අඩු කිරීම තුළිනි. අනෙක කෝවිඩ් වසංගතය නිසා සිදු වූ ආදායම් අඩු වීමයි.
අප මේ කතා කරන්නේ සෞඛ්‍ය සේවාව ගැනයි. ඒ අනුව මේ රටේ රජය විසින් සෞඛ්‍ය සඳහා කරන වියදම වැඩි වීම මීට බලපෑවේද යන කරුණ අපි මෙහිදී විමසා බලමු.
රට බංකොලොත්භාවයට පත්වීම වැළැක්වීම සඳහා කළ යුතු බොහෝ දේවල් තිබුණද, ඒ කිසිවක් හෝ නොකර මග හැරීම නිසා අවසානයේ මේ රට බංකොලොත්භාවය කරා ගියේය. ඒ තත්ත්වයට පත් වීමට පෙර මෙම ණය කන්ද ගෙවා ගැනීම සඳහා විසඳුම් සොයා ගන්නා ලෙස මේ රටේ නොයෙකුත් මූල්‍ය ආයතන මගින් රජයට යෝජනා කළද ඒ කිසිවක් සිදු වූයේ නැත.
අවසානයේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම තුළින් අපට බොහෝ ප්‍රශ්න ඇතිවිය. නමුත් එයින් යම් වාසි සහගත තත්ත්වයක් ද ඇති නොවුණා නොවේ.

ණය කපා ගැනීමට නොහැකි අවස්ථාවල දී අපට ඒ සඳහා ගෙවන පොලිය හෝ මුදල නොගෙවා සිටිය හැකිය. අද අප කරන්නේත් එයම ය. එසේම ණය නොගෙවීම නිසා ඇතිවිය හැකි නීතිමය තත්වවලිනුත් අපි මේ වන විට මඟ හරිමින් හිඳිමු.
බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම තුළින් ද අපට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවී ඇත. සමහර විට අපට අපේ දේවල් විකුණා දමන්නට සිදු වී තිබේ. එසේම සමහර ණය අපට රඳවා ගන්නට සිදුවී ඇත. කෙසේ නමුත් අප බංකොලොත්භාවයට පත්වී ඇති බව ලෝකය හමුවේ ප්‍රකාශයට පත් කර අවසාන ය.

අපේ රට සෞඛ්‍ය වෙනුවෙන් අධික වශයෙන් මුදල් වියදම් කරන රටක්ද? මෙයද විමසා බැලිය යුතු තත්ත්වයකි.
අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් සෞඛ්‍යයට කරනු ලබන වියදම 3% කටත් වඩා අඩු ය. එය ඉතාමත්ම අවම මට්ටමකි. එය ලෝකයේ අඩු ආදායම් ඇති රටවලටත් වඩා අඩු ප්‍රමාණයකි. එනිසා රට බංකොලොත්භාවයට පත්වීමට හේතුවක් ලෙස සෞඛ්‍යයට ඇඟිල්ල දිගු කිරීමට කිසිවකුට නොහැකිය. එසේම සෞඛ්‍යය සඳහා වැය කරන මුදල තවදුරටත් අඩු කළ යුතුයි යනුවෙන් යෝජනා කරන්නට ද නොහැකිය. අප දැනටමත් සෞඛ්‍ය සඳහා වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් අතිශයින්ම අඩු ප්‍රතිශතයක් පමණක් නිසා ය.
සෞඛ්‍ය වියදම් ගැන බලන විට රජය විසින් සහ පුද්ගලයන් විසින් කරනු ලබන වියදම් වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකිය. මේ කුමන අන්දමකට ගෙන බැලුවත් එක් එක් රටේ සෞඛ්‍ය මට්ටම හා ඒ ඒ රටවල් වල ජීවන දර්ශකයට අනුව සංසන්දනය කරන විට සෞඛ්‍ය සඳහා වියදම් කරන ඒක පුද්ගල වියදම අපේ රටේ දළ වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 504 කි. ඕස්ට්‍රේලියාව ජපානය වැනි රටවල එය ඇමරිකානු ඩොලර් 4000 ද ඉක්මවා ඇත. මැලේසියාව, තායිලන්තය වැනි රටවල් ද අපට වඩා ඉහළ මට්ටමකින් සිටී. ඒ අනුව අප ඒක පුද්ගල වියදමක් හැටියටත් සෞඛ්‍යය සඳහා කරන වියදම ඉතාමත්ම අඩු ය. රටක් ලෙසින් දළ ජාතික නිෂ්පාදනයෙන් සෞඛ්‍ය සඳහා වැය කරන ප්‍රමාණය ද අඩු ය. එය එසේ වී තිබියදීත් අපේ රටේ සෞඛ්‍ය දර්ශක ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ තත්ත්වය අප විශේෂයෙන් වටහා ගත යුතුය. සෞඛ්‍ය දර්ශක අනුව බලන විට ළදරු මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය අඩු මට්ටමක පවතින අතර ජීවන වයස පවතින්නේ ඉහළ මට්ටමක ය.

අප විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින බව ය. නමුත් ඇත්තටම එය ව්‍යාජයකි. ශ්‍රී ලංකාවේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් නොවේ. මෙහි 52 %කටත් වඩා වැඩි පිරිසක් සෞඛ්‍යය පවත්වාගෙන යන්නේ තමන්ගේ වියදමිනි. එසේ නම් මෙහි නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින්නේයැයි කියන්නේ කෙසේද ?
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ රාජ්‍ය අර්බුදය රෝහල්වලට බලපාන්නේ රෝහල්වල ඖෂධ නැති වීම පමණක් ලෙසිනි. එසේ නැතහොත් රෝහලේ වෛද්‍යවරුන් අඩුවීම ය. නමුත් සැබෑව එය නොවේ. සෞඛ්‍යය සඳහා බලපාන ලොව පිළිගත් සමාජමය කරුණු රාශියක් අතර ඉතාමත්ම වැදගත් කරුණක් වන්නේ රටේ ආර්ථික ස්ථාවර භාවය ‍යි.

මෙම ආර්ථික අස්ථාවර භාවය අපේ සෞඛ්‍යයට බලපා තිබෙන්නේ කොහොමද?
ආර්ථික අස්ථාවරභාවය යටතේ තිබෙන කරුණු අතර රැකියා පැවැත්ම, ආදායම හා වියදම, එක් එක් පුද්ගලයන්ගේ ණය, සෞඛ්‍ය සඳහා කරන වියදම මේ සියල්ලම ඇතුළත් ය. සෞඛ්‍ය සඳහා අපේ රටේ ජනතාව 52% කට අධික ප්‍රමාණයක් දරන්නේ තමන් විසිනි . එම 52% නුත්, 81% ක්ම තමන්ගේ පසුම්බියේ තිබෙන මුදලිනි. රක්ෂණ සේවාවන් මගින් 9% ක්, එක් එක් ආයතන මගින් කරන වියදම 9%ක්, එක් එක් ආයතන මගින් දරන වියදම 1% ක් වශයෙන් ඉතිරි ඒවා දැක්විය හැකිය. මෙහිදී ඉතාම වැදගත්ම දේ වන්නේ මෙම ආර්ථික අස්ථාවරභාවය තුළ තමන්ගේ පසුම්බියෙන් වියදම් කිරීමේ හැකියාව අඩු වී යාමයි.
අප නැවත ගොස් තිබෙන්නේ 2015 දී අප සිටි මට්ටමට ය. මෙය ආර්ථික සංකෝචනයකි. ඒ තුළ එක් එක් පුද්ගලයාගේ ආදායම අඩුවී තිබෙන අතර ඖෂධ මිල වැඩි වී තිබේ. එවිට තමන්ගේ රෝග සඳහා ගත යුතු ඖෂධ මිලදී ගැනීමේ හැකියාව අඩු වී යයි.

අනෙක් ප්‍රශ්නය නම් ආහාර හිඟයයි. 2022 ලෝක ආහාර වැඩසටහන මගින් නිකුත් කරන ලද ලේඛනයක සඳහන් වන අන්දමට ලංකාවේ ජනගහනයෙන් 79% ක් මේ වන විට විවිධාකාරයෙන් තමන්ගේ ආහාර අඩු කර ඇත. 78%ක් මිල අඩු ආහාර වෙත යොමු වී සිටිති. 39%ක් ආහාර වේල් ගණන අඩු කර තිබේ. මේවා බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන කාරණා ය. 95% කින් ආහාර උද්ධමනය ඉහළ ගොස් තිබේ.
2/3% ක් ආහාර හිඟයට මුහුණ දී සිටිති. එම ලේඛනයෙහි දැක්වෙන අන්දමට ලෝකයේ ආහාර මිල අධිකම රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වෙනි ස්ථානයට පත්ව තිබේ. එසේම අපේ රටේ ආහාර අපතේ යාමද විශාල වශයෙන් සිදු වෙයි.
බරපතළම ගැටලුව නම් මෙම ආහාර හිඟකම පිළිබඳව අපට තාමත් හරියාකාරව දැනී නොතිබීමයි. මේ සඳහා ඉක්මන් පියවර කරා යා යුතුව තිබේ. පාසල් ළමයින්ට දිවා ආහාර දීම වැනි වැඩසටහන් මෙබඳු එක් පියවරකි.

මේ වන විට එංගලන්තයේ පවා ක්‍රියාත්මක වන සාමූහික මුළුතැන්ගෙවල් තවත් එක් ක්‍රමයක් වේ. එරට බොහෝ ප්‍රදේශවල මංමාවත් කෙළවර සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මෙලෙස පිරිසක් එකට එකතු වී කෑම පිස එකට කෑම ගැනීම දැන් සිදු වන තත්ත්වයක් ව පවතී. දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය වැළැක්වීම සඳහා විශේෂිත පියවර තවමත් අපේ රටේ ක්‍රියාත්මකව නැත. ඒ සඳහා ද දැන් සිටම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. තමන් ගන්නා ආහාරවලින් විශේෂයෙන් ගත යුතු ආහාර මොනවාද යන්න පිළිබඳව දැනුමක් අපේ රටේ ජනතාව තුළ බොහෝ විට නැත. අතරමැදියන් ගෙන් තොරව ජනතාවට ආහාර මිලදී ගැනීමේ හැකියාවද තිබිය යුතුය. සමූහ ගොවිපල මෙයට ඉතා හොඳ පිළිතුරකි. මේ සියල්ල නොපමාව ක්‍රියාවට නැංවිය යුතු කාරණා ය.

අපගේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම පසුගිය වසර 20 ඇතුළත හතර ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ හතර ගුණයකින් වැඩි වුවද සෞඛ්‍ය දර්ශකවල ලොකු වෙනසක් ඇතිවී නැත. මෙම ආර්ථික අර්බුදය, ආර්ථික බංකොලොත්භාවය හමුවේ වුවද අපගේ සෞඛ්‍ය සේවය නිසියාකාරයෙන් පවත්වා ගෙන යාමට හැකියාව පවතී. ඒ විශේෂයෙන් විවිධ අංශ ගැන සිත යොමු කර, ඒ කරුණුවලට අවධානය යොමුකර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම තුළිනි .

ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ, වෛද්‍ය සේවා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරී වෛද්‍ය අජිත් අමරසිංහ පසුගියදා ජනරජ කථිකා වැඩසටහනේ දී කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි.

සැකසුම – ඉන්දු පෙරේරා

ඉරා අදුරුපට