මඳ කලක් රෝගීව සිටි අපගේ ඥාති වරියක් පසුගිය දා මිය ගියාය. අප ඇතුළු තවත් සැළකිය යුතු පිරිසක් එම අවමඟුල් නිවසට ගිය ද ඒ වන විටත් දේහය මල් ශාලාවේ සිට නිවසට ගෙනැවිත් නොතිබිණ. ඊට හේතු වශයෙන් එම පවුලේ ඥාතීන් පවසා සිටියේ එම දේහය භාර ගන්නා විටත් මල් ශාලාවේ තවත් දේහයන් කිහිපයක් තිබූ බැවින් ඒවායේ කටයුතු නිමා කොට එම ඥාතීන්ට බාර දිය යුතු බැවින් මෙම දේහය බාර දීමට තරමක ප්‍රමාදයක් ඇති විය හැකි බව ය.එබැවින් ඔවුන් කී අන්දමට එම දේහය සම්බන්ධ කටයුතු නිමවා නිවසට රැගෙන එන තුරු එහි රැස්ව සිටි බොහෝ දෙනකු ගේ කතා බස් වලට පොදු මාතෘකාවක් තිබිණ. එනම් මල් ශාලා වලට මෙලෙස වැඩ වැඩිවීමට හේතුව මේ දිනවල අප රටේ සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම බව ය. මෙහි දී එම අවමඟුල සඳහා තරමක් දුර බැහැර සිට පැමිණි පිරිස් ද තම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු හදිසි රෝගී තත්වයනට ලක් ව මිය යන බව පවසා සිටි අතර ඊට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් දක්වා සිටියේ කොවිඩ් රෝගයේ පසු සංකූලතාවයන් සහ කොවිඩ් එන්නතේ බලපෑම් මත බොහෝ දෙනකු එලෙස හදිසි අකල් මරණ වලට ලක් වන බව ය. එහි පැමිණ සිටි පිරිස් ඒ සම්බන්ධයෙන් තම තමන් ගේ ප්‍රදේශ වලින් එබඳු සිදුවීම් ගෙන හැර දක්වන්නට වූයේ එහි රැස්ව සිටි සියලු දෙනා තුළ කිනම් ප්‍රමාණයක හෝ මරණ බියක් ඇති කරමිනි. මෙවන් විවෘත කතිකාවන් ගේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේවා සාමාන්‍යයෙන් දෙතුන් දෙනකු අතර ඇති වන කතා බහට වඩා වැඩිපුර සමාජගත වීමක් දක්නට ලැබේ.එමෙන්ම මෙවන් කතිකාවන් සැමටම බලපාන පොදු ප්‍රශ්න මුල් කොට දියත් වන විට ඒවාට එක් වන්නවුන් සත්‍යය සේම දේශපාලන ආදී විවිධ අරමුණු තකා අසත්‍ය ද ප්‍රකාශ කිරීමේ පැහැදිලි අවකාශයක් තිබේ.විශේෂයෙන් අවමඟුලක් වැනි තැනක දී ඇතිවන මෙවැනි කතා බස් වලින් මිනිස් සිත් සතන් තුළ ඇතිවන සංවේදනාත්මක බව ඉහළ බව ද කිව යුතුය. ඕනෑම වෛරස් ආසාදනයක පශ්චාත් ආබාධ තිබීම අතිශය ස්වභාවිකය ය.ඒ තත්වය කොවිඩ් වෛරසය ආසාදනයට ද එක සේ පොදු ය.කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ලොව මෙතෙක් සිදු කළ විශාලතම අධ්‍යයනය සේ සැලකෙන ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) විසින් දියත් කරන ලද සමීක්ෂණයක් මගින්, වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට වඩා, දිගු කාලීන වශයෙන් කොවිඩ් පැවැති පුද්ගලයින්ගේ අවයව පද්ධති 10 කට බලපාන රෝග ලක්ෂණ 200ක් හඳුනාගෙන ඇත.ඒ අතර භ්‍රාන්තිය, නින්ද නොයාම, ඇසීම සහ පෙනීමේ වෙනස් වීම්, කෙටි කාලීන මතකය නැති වීම සහ කථන හා භාෂා ගැටලු එම ලක්ෂණවලට ඇතුළත් වේ. තවත් සමහරුන්ගේ ස්වසන පද්ධතියේ අර්බුද, ආමාශ-ආන්ත්රයික හා මුත්‍රාශයේ ගැටලු, ඔසප් වීමේ වෙනස්වීම් සහ සමේ තත්වයන් ද වාර්තා වී ඇත.එම පශ්චාත් ආබාධ වලින් කොටසක් ස්වාභාවිකවම සුව වන අතර තවත් කොටසක් වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් වෙයි.මේ අතර ඒ අයුරින් වත් සුවපත් නොවන දිවි ඇති තෙක් නිරතුරුවම පවතින පශ්චාත් ආබාධ ද තිබේ.එමෙන්ම පසු කලෙක එමඟින් හට ගන්නා සංකූලතා මඟින් මරණයට පත් වීමට ද යම් ඉඩ කඩක් පවතී. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දුන් එන්නත මඟින් අහිතකර බලපෑම් සිදු වන බවට ද ජන විශ්වාසයක් සමාජය තුළ එවක සිටම පැවතිණ.කොවිඞ් මර්දන වැඩපිළිවෙලේ දී මුලින්ම සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු පුද්ගලයන් එන්නත් කිරීමෙන් ආරම්භ වී පසුව පාසල් දරුවන් පවා එන්නත් කිරීම සිදුව ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 16ට වැඩි ජනගහනය දළ වශයෙන් මිලියන 16.4ක් පමණ වෙයි. මෙම සංඛ්‍යාවන් ද සියයට අනූ අටකට පමණ පළමු එන්නත් මාත්‍රාව ලබාදීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරු කොට තිබේ.පසුව කොවිඞ් වසංගතය වඩාත් බලවත් වන විට තෙවන මාත්‍රාවක් ලබා දීමට ද රජය කටයුතු යොදා තිබිණ. බූස්ටර් මාත්‍රාව නමින් ජනයා අතර ව්‍යවහාර මේ එන්නත්කරණය වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මිලියන 14කට වැඩි පිරිසකට ලබා දී තිබේ.එවන් සුවිසල් පිරිසකට මෙම එන්තත ලබා දීමෙන් යම් කෙටි කාලයකට පසුව එම එන්නත ලැබූවකු හදිසි රෝගාබාධයකට ලක් වුව හොත් ඊට හේතුව එම එන්නත බවට පුළුල් ප්‍රචාරයක් දියත් ව තිබිණ.ඒ එම මරණ සහ කොවිඩ් එන්නත් අතරේ කිසියම් සම්බන්ධයක් ගොඩ නඟා ගත නොහැකි පසුබිමක් තුළ ය.යථාර්ථවාදී ලෙස තහවුරු කර ගත නොහැකි පසුබිමක් තුළ පවා පසු සිදුවීම පෙර සිදුවීමේ ප්රතිඵලයක්ය(Post hoc ego propter hoc ) යන මිථ්‍යාවක් සමාජයේ පවතී.නමුත් මෙය එවන් තත්වයක් ලෙසම හඳුන්වා දීමට ද නොපුළුවන. ඒ සඳහා සරල නිදසුනක් ගනිමු.
කොවිඩ් වෛරසය ශරීර ගත වීමෙන් සිදුවන ප්‍රධානතම බරපතල තත්වයක් වනුයේ ශරීරයේ රුධිරය කැටි ගැසීමකට ලක්වීම බව එවක ප්‍රසිද්ධ කරුණක් විය. ඒ අනුව එම රෝගය සඳහා දුන් ප්‍රතිශක්ති එන්නත ද එම වෛරසය මුල් කොට නිපදවන ලද්දක් නිසා එමගින් ද රුධිරය කැටි ගැසීමේ යම් හැකියාවක් පවතින බව තර්කානුකූලව පිළිගැනීමට අපට සිදුවෙයි.එය හෘදය හා මොළ ආශ්රිත අර්බුද රැසකට හේතුවකි. ඒ අනුව කොවිඩ් පසු සංකූලතාවයන් හෝ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පශ්චාත් ඵල වශයෙන් එකම මරණයක් වත් සිදු නොවූ බවට සහතික වීමට අපට නොපුළුවන.
නමුදු මේ දිනවල අප රටේ මරණ අනුපාතය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් ව නැත. එවැනි තත්වයක් උද්ගතව තිබේ නම් ඊට ඒකායන හේතුව ද කොවිඩ් සංකූලතා හෝ එම එන්නත් පසුකාලීන බලපෑම් ලෙස අර්ථ කථනය කිරීමේ සාධාරණ බවක් නැතැයි අපට සිතේ. මක් නිසා ද මිනිස් අකල් මරණ සඳහා බහුවිධ හේතූන් බලපාන බැවිනි.නිදසුනක් ලෙස යම් නියුමෝනියා තත්වයක් යටතේ යමකුගේ මරණයක් සිදු වුවහොත් එම නියුමෝනියාවට පූර්වගාමී හේතුව ඒ පුද්ගලයා කලකට පෙර ලබා ගත් කොවිඩ් එන්නත මඟින් ස්වසන පද්ධතියට ඇති කළ අනිසි බලපෑමකැයි කීමට කිසිවකුටත් නොපුළුවන. එලෙස විද්‍යාත්මකව තහවුරු කර ගත හැකි ක්‍රමයක් ලොව ඇති බවක් වත් අපි නම් නොදනිමු. නමුත් ලොව ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවා ඒවා මානව භාවිතය සඳහා යොදා ගැනීමේ සාමාන්‍ය ක්‍රියාපාටිය අතික්‍රමණය කොට ඒවා හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කිරීම ලොව ඇතැම් විද්වතුන් ගේ දැඩි විවේචනයට ලක් විණි. ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය වෛරසවේද විශේෂඥයකු වන මාහාචාර්ය තිස්ස විතාරණයන් ඒ කාලයේ පවසා සිටියේ ද ප්‍රතිශක්ති එන්නතක් නිසි ක්රියාපටියෙන් තොරව මෙලෙස හදිසියේ මානව භාවිතය සඳහා යොදා ගැනීමේ පසුකාලීන ප්‍රතිඵල බොහෝ දෙනකු සිතනවාට වඩා දරුණු විය හැකි බව ය. එහෙත්, කොවිඩ් ගෝලීය වසංගතයක් වීමත් ඒ සඳහා යොදා ගත් ප්‍රතිශක්තිකරණ එන්නත් ජාත්‍යන්තර වශයෙන් භාවිතා වීමත් මත විවිධ හේතූන් මත සිදුවන බව පෙනෙන හදිසි අකල් මරණ ගෝලීය ප්‍රවණතාවයක් බවට පත් විය යුතුව තිබේ.නමුත් ඉහත දැක්වූ ආකාරයේ අහඹු සිදුවීම් මිස එවැනි තත්වයක් ලොව කොතැනකින් වත් මෙතෙක් තහවුරු වී නැත. කිසියම් දිනයෙක එවන් තහවුරු කිරීමක් සිදු වුවහොත් ඒ සඳහා හේතු විමසීම කෙරෙහි ද ගෝලීය නැඹුරුවක් හට ගනු ඇත.අපට ඇත්තේ එතෙක් නිහඬව බලා හිඳීම පමණි. හේමන්ත රන්බණ්ඩාර