මොකක්ද මේ ඇස්වල ප්‍රෙෂර්  කියන්නේ?

ශරීරයේ ප්‍රෙෂර් වැඩි වීම අපට අමුතු දෙයක් නොවේ. මේ අතර ඇස්වල ප්‍රෙෂර් වැඩි වීම ගැනද අපට අසන්නට ලැබේ. මෙය ඔබට යම් ආකාරයක ගැටලුවක් වීමට පුළුවන.
     අපේ ඇස් පිහිටා තිබෙන්නේ බෝලයක් ආකාරයට ය. වාහනයකට හුළං ගසන විට එය පිම්බෙන්නේ එතුළ පීඩනයක් ඇති වන නිසාය. ඇස ඇතුළත වතුර වැනි විනිවිද පෙනෙන දියරයක් පිරී ඇත. මේ දියරය තුළ ඇත්තේද පීඩනයකි. එම පීඩනය නිසා ඇස් පිම්බී පවතී. ඇසේ පීඩනය රසදිය මි.මී. 11-12 (11-12mm Hg) අතර ප්‍රමාණයක් වේ.
    ඇසේ තිබෙන මෙම තරලය නිරන්තරයෙන් නිපදවීම සිදු වෙයි.  එනිසා එය හැම විටම අලුත්  වන්නකි. එක් තැනකින් නිපදවෙන මෙය තවත් තැනකින් පෙරී සියුම් නාලිකා හරහා ඇසෙන් පිටතට ගමන් කර රුධිරයට එකතු වේ. මෙසේ පිටවන මාර්ගයේ කුමක් හෝ දෝෂ තත්ත්වයන් මත අවහිර වීමක් ඇති වුවහොත් එහි පීඩනය වැඩි වන අතර එය ඇස්වල  ප්‍රෙෂර් එක ලෙසින්  හඳුන්වයි.
     සාමාන්‍යයෙන් ඇසේ පීඩනය රසදිය මි.මී. 11-21 අතර වුවත් එම පීඩනයේ යම් යම් වෙනස්කම් ඇති විය හැකිය. නමුත් ඇසට හානිකර අන්දමින් පීඩනය වැඩිවීම කිසිදු හේතුවක් නැතිව නිකන්ම වුවත් සිදුවිය හැකි දෙයකි. වැඩිපුර දක්නට ලැබෙන්නේ එසේ හේතුවක් නැතිව වැඩි වූ අවස්ථාවන්ය.
     හේතුවක් ඇතිව ද ඇසේ පීඩනය වැඩි වන අවස්ථා තිබේ. මේ සඳහා බලපාන එක හේතුවක් නම් ඇසේ ශල්‍යකර්මයක් කිරීමෙන් පසුව පීඩනය වැඩි වීම ය. එසේම ඇසේ සුද  ඇතිවී එය බොහෝ සෙයින් මෝරන ලද අවස්ථා වලදීත්, ඇසට කලින් සිදුවූ අනතුරක් නිසාත්, ඇසට දමන වෙනත් බෙහෙත් වර්ග නිසාත්, ශාරීරික රෝගවලට ගන්නා සමහර ඖෂධ වර්ග නිසාත් ඇස්වල පීඩනය වැඩි වන්නට හැකියාව ඇත.
      නමුත් නිතර හැඬීම, කඳුළු සැලීම, පරිගණකය මෙන්ම රූපවාහිනිය ඇසුරේ වැඩි වෙලාවක් ගත කිරීම, නිතර  පොත්පත් කියවීම, මානසික ආතතිය ආදී කිසිම දෙයක් ඇසේ පීඩනය වැඩිවීමට බලපාන්නේ නැත.
      හේතුවක් නැතිව ඇසේ පීඩනය වැඩි වන විට එම පීඩනයට ප්‍රතිකාර කළ යුතුය.
    හේතුවක් ඇතිව ඇසේ පීඩනය වැඩි වන්නේ නම් එම පීඩනයට මෙන්ම එම හේතුව නිවැරදි කිරීමට හෝ පාළනය කිරීමටද  ප්‍රතිකාර කළ යුතු වෙයි.
      ඇසේ පීඩනය දිගුකාලීනව වැඩිවීම නිසා ග්ලූකොමා රෝගය හට ගත හැකිය. එවිට ඇසේ පීඩනය අඩු කරන  ප්‍රතිකාර ගැනීම තුළින් ග්ලූකොමාව පාළනය වේ. නමුත් පීඩනය සාමාන්‍ය තත්වයෙන් පවතින විටත් යම් කෙනෙකුට ග්ලූකෝමා හටගැනීමට ඉඩ ඇත. එය Normal tension glaucoma   යනුවෙන් හඳුන්වයි.
      ඇසේ පීඩනය වැඩි වුවත්  ග්ලූකොමාව නොසෑදෙන අයත් සිටිති. නමුත් එබඳු රෝගීන්ට ග්ලූකෝමා සෑදීමේ අවදානම වැඩි නිසා නිතර වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට  ලක් විය යුතුය.
       කලාතුරකින් සමහරුන්ගේ පැය කීපයක් වැනි කෙටි කාලයක් තුළ ඉක්මනින් ඇසේ පීඩනය වැඩි වන අවස්ථා තිබේ. ශල්‍යකර්මයක් කළ පසු හෝ Angel  closure glaucoma රෝගයේ දී මේ තත්ත්වය ඇතිවීමට පුළුවන. මෙසේ කෙටි කාලයක් තුළ  ඇසේ පීඩනය ඉක්මනින් වැඩි වන විට ඇස්වල කැක්කුම, රතුවීම, බොඳ වීම වැනි ලක්ෂණ මතු විය හැකි අතර ඇසේ රුධිර නාලයක්  පිපිරීම දක්වාම මේ පීඩනය වැඩිවීමට පුළුවන. එලෙස ලේ නහරයක් අවහිර වූ විට පෙනීම අඩුවී යන අතර ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් එම ඇස අන්ධ වීමට ඉඩ තිබේ. Angel closure attack  යනුවෙන් හඳුන්වන්නේ මෙසේ රුධිර නාලයක් පිපිරී අවහිර වීමයි.
     ඇසේ  පීඩනය සෙමින් වැඩි වන අයට ඇස්වල වේදනාවක් දැනෙන්නේ නැත.
      ඇස්වල පීඩනය අඩු කරන  ප්‍රතිකාර අතර පෙති මෙන්ම  ඇසට බිංදු වශයෙන් බාහිරින් යොදන ප්‍රතිකාර ද තිබේ. ලේසර් ක්‍රමය තවත් ප්‍රතිකාරයකි. ශල්‍යකර්මයක් මඟින් ද පීඩනය අඩුකළ හැකිය. මෙයින් රෝගියාට වඩාත් සුදුසු ප්‍රතිකාරය කුමක් දැයි වෛද්‍යවරයා තීරණය කරන්නේ පීඩනය වැඩිවීමට බලපෑ හේතුව සැලකිල්ලට ගනිමිනි.
අක්ෂි ශල්‍ය වෛද්‍ය සුසිත් කුලසේකර
ඉන්දු පෙරේරා
විනිවිද සායනය