වයස අවුරුදු හයේ දී රංගනයට පිවිසි මොහු ළමා නළුවකු ලෙස එකල ටෙලි නාට්‍ය දාසයක පමණ ප්රමාණයකත්, චිත්‍රපට කිහිපයකත් විවිධ චරිත නිරූපණය කර තිබිණි.
ඉන්පසු නව යොවුන් වියේ තවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසක චරිත නිරූපණය කළ මෙම කඩවසම් තරුණ රංගන ශිල්පියා අද වන විට සිය රංගන කලා ජීවිතයේ සුවිශේෂ මංසන්ධියකට පැමිණ සිටියි.ඔහු සචින් චතුරංගයි.
* මේ දවස්වල අපි සචින්ව දකින්නේ “පාර දිගේ” සහ “රහයි ජීවිතේ” ටෙලිනාට්‍යවලින්. මේ චරිත දෙක ගැන සචින් මොකද හිතන්නේ?
මේ චරිත දෙක ගැනම මම හරිම තෘප්තිමත්.
* සචින් බොහොම කඩවසම් තරුණයෙක්. දැන් කීයද වයස ?
අවුරුදු විසි තුනයි
* “රහයි ජීවිතේ” ටෙලිනාට්‍යයේ නම් ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. නමුත් ” පාරදිගේ ” අබියා අඥාන තරුණයෙක්. අබියා සචින්ගේ කඩවසම් ප්‍රතිරූපයට හානියක් නෙමෙයිද ?
මම නළුවෙක්. නළුවෙකුට ප්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ ඔහු නිරූපණය කරන නොයෙකුත් පැතිකඩවල් ඔස්සේ විහිදුණු විවිධාකාර චරිත තුළින්. ඒ මිස නළුවාගේ පෙනුමෙන් ලබන ප්‍රතිරූපයට මම නම් කැමති නෑ.
මට ඕනේ මල් කුමාරයෙක් වෙන්න නෙවෙයි. අනික එකම විදිහේ චරිත නිරූපණය කරන කොට ඒ චරිත වලට කොටු වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයොත් අපිව ඒ විදිහටම මනින්න පටන් ගන්නවා.මම ඒක අනුමත කරන දෙයක් නොවෙයි.
* කොහෙද සචින්ගෙ පදිංචිය ?
පානදුරේ
* පවුලෙ වෙන කවුද ඉන්නෙ?
මමයි, අය්යලා දෙන්නයි, අම්මයි, තාත්තයි. ලොකු අය්යා දැනට විදේශ රටක රැකියාවක් කරනවා.
* සචින් රංගනයට පිවිසුණේ කොහොමද?
මගේ පොඩි අයියා දසුන් මධුශංක තමයි සූරිය අරණ චිත්‍රපටියේ පොඩි හාමුදුරුවන් ලෙස රඟපෑවේ. අයියා ෂූටින්වලට යනකොට මමත් අයියා එක්ක ගියා . අපේ තාත්තා තමයි අපි දෙන්නගෙ පිටිපස්සෙන්ම ඔය හැම දේකටම හිටියේ. ඒ විදිහට තමයි ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගේ ” දඟයන්ට පමණයි” ටෙලි නාට්‍යයේ රඟපාන්න ආරාධනාවක් ලැබුණේ.එතකොට මගේ වයස අවුරුදු හයයි. ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්වුණා.
* ඊට පස්සේ සචින්ට දිගින් දිගටම රඟපෑමට ආරාධනා ලැබුණද?
ඇත්තටම ඔව්. ඊට පස්සේ මම රඟපෑවේ ජයලත් මනෝරත්න මහත්මයාගේ “තුන්පත් රටාවක ලස්සන” ටෙලි නාට්‍යයේ යි.
* සචින් මුලින්ම රඟපාපු චිත්‍රපටිය මොකක්ද ?
සෝමරත්න දිසානායක මහත්මයාගේ බිංදු චිත්‍රපටිය.
* එතකොට සචින්ගෙ වයස කීයද?
ඒ කාලේ මගේ වයස අවුරුදු දහයයි.
* සචින් රඟපාන්න මුලින්ම කැමරාවක් ඉදිරියට යනකොට අවුරුදු හයක බොහොම පුංචි ළමයෙක්. ඇත්තටම බයක් චකිතයක් දැනුනේ නැද්ද?
මගේ අයියා “සූරිය අරණ” චිත්‍රපටියේ ෂූටින් යන කොට මමත් එයා එක්ක ගිහින් රඟපාන හැටි බලා ගෙන හිටපු නිසා කැමරාව ඉස්සරහට යනකොට බයක් නෙමේ හිතට ඇති වුණේ ලොකු ආසාවක්. මටත් අයියා වගේම වෙන්න ලැබුණා කියලා ලොකු සතුටක් ඇති වුණා.
* සචින් යම් කාලයකදී රඟපෑමෙන් සමු අරගෙන හිටියා නේද?
ඔව්. මම 2015 දි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට නියමිතව සිටියා. ඒ නිසා තමයි මම ඒ වසරේ දී තාවකාලිකව රඟපෑමෙන් සමු ගත්තේ. ඒ වන විට මම ටෙලි නාට්‍ය විසි හතරක සහ බිංදු, සිරි පැරකුම් , බඹර වළල්ල, තණ්හා රතී රගා, පුංචි අපිත් බය නෑ දැන් යන චිත්‍රපටවලත් චරිත නිරූපණය කර තිබුණා.
* සචින්ගේ දෙවෙනි ආගමනය සිදු වුණේ කොයි කාලෙද?
උසස් පෙළත් අවසන් වුණාට පස්සෙයි. මම උසස් පෙළට කළේ කලා විෂයන්. විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවත් මගේ අවශ්‍යතාවය වුණේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා සිනමාව ගැන වැඩිදුර හදාරන්න.
නමුත් උසස් පෙළින් පසුව මට දෙවෙනි ඉනිමේ සඳුන්ගේ චරිතය රඟපෑම සඳහා ආරාධනා ලැබුණා .
ඉන්පසු හදවතේ කතාව, නෑනලා යන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. අදිසි සහ පිහාටු යන ටෙලිනාට්‍ය දෙක ඉදිරියේ දි විකාශය වීමට නියමිතයි. දැනට විකාශය වෙමින් පවතිනවා පාර දිගේ සහ රහයි ජීවිතේ ටෙලිනාට්‍ය දෙක.
මේ විදිහට දිගටම වැඩ හම්බ වුණා.
* සචින් දක්ෂ ගායකයෙක් නේද?
ඔව්, මට හොඳට සිංදු කියන්න පුළුවන්.
* රියැලිටි තරගයකට එහෙම සහභාගි වෙන්න හිතුවෙ නැද්ද?
අනේ,එහෙම නම් බලාපොරොත්තුවක් නෑ. මට සිංදු කියන්න විතරක් නෙමෙයි හොඳට නටන්න වගේම බෙර ගහන්නත් පුළුවන්.
* සචින් ඒවත් ඉගෙන ගත්තද?
අපොයි නෑ. මොකක් හෝ සහජ පිහිටීමක්.
* දැන් සචින් විදේශගත වෙන අදහස අත හැරලද?
නෑ. තව වසර කීපයකින් මම විදේශගත වෙනවා. පිටරටවල තිබෙන දියුණු මට්ටමට අපේ සිනමාවත් ගෙනෙන්න හැකි නම් ඒක තමයි මගේ ලොකුම අභිලාෂය.
* සචින් කඩවසම් තරුණයෙක් නිසා මේ වෙනකොට පෙම්වතියක් එහෙම ඇති නේ
ඉස්සර නම් හිටියා. ඒත් මගේ ගමනට බාධාවක් මිසක් එයාලගෙන් ධෛර්යයක් ලැබුණෙ නෑ. අන්තිමට මං ඒ සම්බන්ධතා නතර කර දැමුවා.මොකද?ඒවා මට එක විදිහක කරදරයක් වුණු හින්දා
* ආදරයට වඩා රංගනය ලොකු වුණා කියල එයාල හිතුවද දන්නෙ නෑ ?
කොහොම වුණත් ආදර සම්බන්ධයක් ඇති කර ගත්තත් නැතත් විශේෂයෙන් පිරිමියෙක් ආර්ථික අතින් ස්ථාවර වෙන්න ඕනනේ,මොකද පෙම්වතෙක් වෙන්න ලේසියි, යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගන්න එකනේ අමාරු.අනික යහපත් ආර්ථික පසුබිමක් නැතුව නිකම්ම නිකම් පෙම්වතෙක් වෙන්න මම කැමති නෑ
ඉන්දු පෙරේරා