විධිමත් කැබිනට් අනුමැතියකින් පවා තොරව අත්තනෝමතික ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව “මහජන සභාව” නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත .
මෙම රැස්වීම ලබන 29 වැනිදා කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී පෙරේදා (23) රැස් වී මෙම තීරණයට එළඹ තිබේ.
අමාත්‍ය වරුන් වන වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් තාවුල්ල ,අසංක නවරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ , කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී ඇති මෙම සාකච්ඡාව පැය පහක පමණ කාලයක් තිස්සේ පැවති බව වාර්තා වේ .
මේ අතර , යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද හෙටම නිකුත් කිරීමටත්, පක්ෂ නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල මණ්ඩල සහ වරාය වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් හෙට දිනයේ දී කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමටත් එහිදී තීරණය කර ඇත.කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මේ වන විට තම දැඩි විරෝධය පළ කොට ඇත.