සැප්තැම්බර් 12 වැනිදා(හෙට)ට යෙදෙන සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම් ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.ඒ සටහන මෙලෙසිනි.
“සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ. එදිනට ජනතාවාදී කලාකරුවකු මෙන්ම,ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි.ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.”
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ජාධිපති වරයා වෙත ලිපියක් යොමු කරමින් රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන මෙන් ඉල්ලීමක් කොට තිබේ.පහත දැක්වෙනුයේ එම ලිපියයි.
2021.09.06
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවමකට ලක්ව සිටී.රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ඔහු බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකි.
බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් ඔබ රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.
මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,
මෙයට,
විශ්වාසී වූ,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
හිටපු ජනාධිපතිනි.
මේ අනුව රංජන් රාමනායක මහතා හෙට(12)ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි බොහෝ දුරට අනුමාන කෙරේ.