රක්වාන-සූරියකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය උදෙසා වන පුරාවිද්‍යා හානි ඇගැයුම් ගවේෂණයක් අරඹා තිබේ.රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ අංශය මගින් ඉකුත් දෙසැම්බර් 01 වන දින මෙම පුරාවිද්‍යා හානි ඇගැයුම් ගවේෂණයක් ආරම්භ කරන ලදි. රුපියල් බිලියන 6ක විදේශාධාර මත ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත රක්වාන-සූරියකන්ද මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වතු වගාවන් සඳහා යාමට ඉදි කරන ලද්දකි. ඒ අනුව එම සමයේ ඉදිකරන ලද ලෝහමය පාලමක්, ශිලාමය පැති බැමි සහ බෝක්කු 150කට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගයේ කි.මී.18ක් පුරා විහිදී පවතී. මෙම ගවේෂණය මගින් බලපෑම් විය හැකි පුරාවිද්‍යාත්මක සාධක හඳුනාගැනීම සහ ඒ සඳහා නිර්දේශ ලබාදීමක් සිදුකරනු ලබයි.
රක්වාන සිට සූරියකන්ද දක්වා දිවෙන මෙම මාර්ගය සිංහරාජයේ නැගෙනහිර මායිමට වන්නට පිහිටා ඇත. ඉතා සෞම්‍ය දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස මෙය හඳුනාගත හැකි ය.ස්ප්‍රින්වුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් ඇති මෙම මාර්ගය ඉතා උස රූස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු 10 කින් හැඩ ගන්වයි.ඒ 17 ලෙස වර්ගීකරණය කොට ඇති මෙම සමස්ත මාර්ගය ගාල්ල – දෙනියාය – මාදම්පේ මාතර දිස්ත්‍රික්කය හා රක්වාන යා කරමින් මොරවක, දෙනියාය, සුරියකන්ද, රක්වාන යන ප්‍රධාන නගර හරහා ගමන් කරයි. මාර්ගයේ ගාල්ල සිට දෙනියාය දක්වා කොටස සහ රක්වාන සිට මාදම්පේ දක්වා කොටස් මේ වන විටත් මංතීරු දෙකක් සහිතව සංවර්ධනය කර තිබේ. මාර්ග කොටස් තුනක් යටතේ සංවර්ධනය කෙරෙන මෙය වංගු දහයේ පාර ( රක්වාන – සූරියකන්ද )යන නමින් ප්‍රචලිත ය.සංචාරකයින්ගේ නෙත් සිත් දිනාගත් මෙම මාර්ගය වක බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ ආකර්ෂණයට ලක් වූ ප්‍රදේශයක් ඔස්සේ වැටී තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ ඇති යටත් විජිත යුගයට අයත් පුරා විද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කිරීම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කදිම පිටිවහලකි. බ්‍රිතාන්‍ය යුගයට අයත් අනේක විධ පුරා විද්‍යාත්මක උරුමයන් මෙම මාර්ගය අවට සේම ඉන් බැහැරව ද පැතිර තිබේ.
සුන්දර තේ වතු වලින් හා ප්‍රපාතාකර බෑවුම් සහිත කදු වලින් සමන්විත මෙම මාර්ගය දෙපස ස්වාභාවික කුඩා දිය පහරවල් වලින් ගලායන නොයිඳුල් ජලය පරිසරයට එක් කරන්නේ ඉතා මනරම් දර්ශනයකි. එමෙන්ම රක්වාන නගරය පසුකරනවාත් සමග හඳපාන්ඇල්ල මෙන්ම තව කුඩා දිය ඇලි සහ ජල තටාක කිහිපයක්ම දැක බලා ගැනීමට හැකියාව ඇත.නිතර පිනි ඇද වැටෙන මීදුමින් වැසුණු තෙත් කලාපීය පරිසරයකින් යුතු මේ කදු වැටිය ඉතා අලංකාර දසුන් වලින් සමන්විත වුව ද බොහොමයක් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සූරිය කන්දතරණය කරනුයේ එහි ඇති අලංකාර ප්‍රදේශයක් වන හිමිදිරි පෙදෙස(Morning side ) නැරඹීමට ය.සූරියකන්ද කදු මුදුනේ පිහිටා ඇති රූපවාහිනි සහ අයි ටී එන් සම්ප්‍රේෂණ කුළුණු වෙත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට අවසර නොමැති නමුත් එම මාර්ගය දිගේ ඉහළට ගමන් කිරීමේදි හමුවන රක්වාන නැරැඹුම් ස්ථානය මෙන්ම වංගු 10 සහිත මාර්ගය දෙස ඉහල සිට බැලීමේදී දර්ශනය වන්නේ ඉතා අලංකාර පරිසර පද්ධතියකි.
සංචාරක හා කෘෂිකර්ම ඉහළ ආකර්ෂණයක් සහිත සූරියකන්ද රක්වාන මාර්ගය සංවර්ධනය කිරීම හොඳ දෙයකි. සිංහරාජ වනාන්තර මායිමෙන් දිව යන මෙම මාර්ගය තේ කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශ රැසකට ගමනාගමන පහසුකම් සලසන බවද කිය යුතුය.එහෙත්,ඒම සංවර්ධන කටයුතු වල දී පුරා විද්‍යා උරුමයන් ඊට බිලි දිය යුතු නැත.
මීට කලකට ඉහත මුතුරාජවෙලට බටහිරින් පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් වන හැමිල්ටන් ඇල මාර්ගය ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ දිය මත පා වෙන බැකෝ යන්ත්‍ර මඟින් දිගට හරහට හෑරීම අරඹන ලදී.එහෙත්, පුරා විද්‍යා උරමයකට එසේ බලපෑම් කළ හැකිද? යන්න සම්බන්ධයෙන් එවක පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ගෙන් මාධ්‍ය වේදීන් විමසා සිටියේ බ්‍රිතාන්‍ය යුගයට අයත් ජංගම පුරා වස්තු රැසක් තිබිය හැකි හැමිල්ටන් ඇල මෙසේ හෑරීම සම්බන්ධයෙන් දැනුවත් ව සිටින්නේ ද? යන්න පිළිබඳව ය.එවිට එවක පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා දුන් ක්ෂණික පිළිතුර වූයේ “අපිට නම් පෝස්ට් කාඩ් එකක් වත් එවලා නෑ” යන්න ය.පසුව අනාවරණය වූයේ එය එවක පැවැති “පවුල් පාලනයේ” ප්‍රබලයකුගේ තනි තීරණයක් මත ගන්නා ලද අමනෝඥ තීරණයක් බව ය.පසු කලෙක රටේ පාලන බලය හා සම්බන්ධ ඉහළම තනතුරක් දැරූ ඔහු විසින් ගන්න ලද එබඳු අමනෝඥ තීරණ අද වන විට රට මුහුණ පා ඇති ඛේදනීය තත්වයට ද ඉවහල් වී තිබේ.
හැමිල්ටන් ඇල හෑරීමෙන් ලබා ගත් පස් වෙනත් ප්‍රදේශ වල තෙත් බිම් ගොඩ කිරීමට යොදා ගැනීමෙන් එම වටිනා පුරා වස්තු අද වන විට සදහටම වළලා දමා තිබේ. අප මෙලෙස පැවසුවේ එවැනි දහසක් අවාසනාවන්ත සිදුවීම් වලින් එකක් පමණි.
එවන් පසුබිමක් යටතේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගයන් ගේ උපදේශකත්වය හා නියාමකත්වය මත සිදු කෙරෙන මෙම ගවේෂණය සඳහා රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් බණ්ඩාර ව්‍යාපෘතිභාර නිලධාරී උදේනි අරුණසිරි පුරාවිද්‍යා පර්‍යේෂණ නිලධාරී ඉනෝකා සන්දනායක , පුරාවිද්‍යා පර්‍යේෂණ නිලධාරී වසන්තා චන්ද්‍රාණි සංවර්ධන නිලධාරීන් වන ඉන්දික විජේසෝම නුවන් මැදවත්ත නුවන් විජේමාන්න කලාපභාර නිලධාරී ලංකාතිලක කැණීම් කෞතුකාගාර ශිල්පී සඳුන් පෙදරේරු රනිල් ප්‍රියංකර සහ රියදුරු බණ්ඩාර යන පිරිස සහභාගීවී සිටිති.තොරතුරු සම්පාදනය පුරාවිද්‍යා පර්යේෂණ නිළධාරී සන්ධ්‍යා වීරසිංහ මහත්මිය විසිනි.
ප්‍රමිත් අසංක