රටට යහපතක් උදා කරන්න ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් “රතු නූල්” බෙදමුද?

අපේ රටේ රාජ්‍ය නායකයන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් අත් වල බැඳි රතු නූල් දකින්නට ලැබීම පිළිබද විවිධ කටකතා පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි. මෙම රතු නූල් හා සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ සාත්තර දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත කටයුතු කරනු ලබන්නේ යැයි කියන කාන්තාවක්ගේ නමක් ද ඈදුණු අතර මෙකී රතු නූල් පැළදි පිරිස එකී කාන්තාවගේ අනුගාමිකයන් බවට ද රාවයක් පැතිර තිබිණි. එම පුවත් උනුසුම කොතෙක් ද යත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍යවල පවා එකී කාන්තාව පිළිබද විවිධ අවස්ථාවල කතා කර තිබිණි.

මෙලෙස රතු නූල් පැළඳීම පිළිබද විවිධ රටවල විවිධ ජනවහර පැතිර තිබේ. යුදෙව් ජනවහරට අනුව තද රතු පැහැති නූලක් පැළදීම, හීබෲ බසින් Khutt hasheni හෙවත් “නපුරු ඇස”(ඇස් වහ-කට වහ} නමින් හඳුන්වන අවාසනාව දුරු කිරීමේ උපක්‍රමයකි. එමෙන්ම සෙසු අයගේ සිතේ ඇතිවන ඊර්ෂ්‍යාව, දිගු කාලීන ලෙඩ රෝග, නපුරු ආත්මවල බැල්ම ආදියෙන් පුද්ගලයා ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ද මෙය භාවිතයට ගැනේ. එය යුදෙව් ආගමේ ආගමික ස්වරූපයන් සමඟ සම්බන්ධ වී ඇතැයි ද සැලකේ. ඔවුන් පළදින රතු නූල තුනී තද රතු ලොම් නූල් වලින් සාදා ඇත. එය පැළඳ සිටින පුද්ගලයා සිය වම් මැණික් කටුවෙහි බ්රේස්ලට් හෝ පටියක් ලෙස එය පැළඳ සිටී. ඔවුන්ගේ ආගමික න්‍යායයන් අනුව අධ්‍යාත්මික බලය වර්ධනය වී අවාසනාව දුරු වීම සදහා ශරීරය දෙසට යොදන ලද සිහින් ගැට හතකින් යුත්කතව එය පැළද සිටිය යුතුය.

සාම්ප්‍රදායික විශ්වාසයන් සම්බන්ධයෙන් සළකා බැලීමේ දී මැණික් කටුව වටා රතු නූල් පැළදීම බොහෝ ජන විශ්වාසයන් තුළ බහුලව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මැණික් කටුව වටා රතු නූලක් ගැටගැසීම ගැන ටෝරා, හලාචා හෝ කබ්බාලා වැනි හේබ්‍රෙව් ලේඛනවල ද විවිධ මතයන් සදහන් වේ. මේවා අවම වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1900 ගණන්වල මුල් භාගයේ සිට පැවත එන සිරිත් ලෙස වාර්තා වේ.

බයිබල් ඉතිහාසයට අනුව මැණික් කටුවෙහි බැඳ ඇති තද රතු නූලක් පිළිබදව උත්පත්ති පොතෙහි 38 වැනි පරිච්ඡේදයෙහි සඳහන් වේ. තාමාර් ඇගේ මාමණ්ඩිය වන යූදා විසින් ගැබ්ගෙන නිවුන් පිරිමි දරුවන් බිහි කරයි. මෙම සිදුවීම පිළිබඳ පහත සඳහන් පද උපුටා ගත්තේ කිං ජේම්ස් බයිබලයෙනි. “ඇගේ ප්‍රසව කාලයෙහි බලව, ඇගේ කුසෙහි නිවුන් දරුවන් සිටිනු දක්නට ලැබිණි. ඇයට ප්‍රසව වේදනා ඇති වූ විට වින්නඹු මාතාව රතු නූලක් ගෙන, ‘මේක මුලින්ම පළදන්න’ යි කීවා ය.”

සමහර සංස්කෘතීන්වල අලුත උපන් බිළිදුන් නපුරු භූතයන්, ඇස්වහ ආදියෙන් සහ රෝග පැතිරීමෙන් ආරක්ෂා කර ගැනීමට රතු තුනී ලණුවක් හෝ නූලක් ඔවුන්ගේ අතේ හෝ ඉනේ ගැට ගැසූහ. නිතර හඩන බිළිඳුන්ගේ හැඬීම මෙමගින් අඩු වන බවට ද මතයක් තිබේ.

ශ්‍රී ලාංකේය විවිධ ජනප්‍රවාදවලට අනුව මෙය බිඳීගිය විශ්වාසයන් නැවත ගොඩ නැංවීමට විශාල පිටිවහලක් ගෙන දේ. ඊට අමතරව යහ පැවැත්ම, සාර්ථකත්වය සහ වාසනාව උදාකර දීම, දිව්‍යමය සෞභාග්‍යය ළගා කර දීම, ව්‍යාපාරවලට වාසනාව උදා කර දීම, කර්මාන්තවලට වාසනාව ගෙන දීම, පවුලේ ශුභ සාධනය ආදී වාසනාව හා සම්බන්ධ සිදුවීම් රැසක් මෙකී රතු නූල් පැළදීම මගින් ඉටුවන බවට දැඩි විශ්වාසයක් ඒවා පළදින්නන් අතර පවතී.

ඉහත කී පරිදි අපේ රටේ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් රතු නූල් පැළදීම මගින් සියලු ආකාරයේ වාසනාවන් ළගා වේ යැයි විශ්වාසයක් ගොඩ නගාගෙන ඇති නිසාම ඔවුන් විසින් රටට සෞභාග්‍ය උදාකරලීම සදහා කළ යුතු වන්නේ එකම දෙයක් පමණි. එනම් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන්, ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් පොදු මහජනයා වෙත මෙකී අධි බලැති රතු නූල් හැකි ඉක්මණින් බෙදා හැරීම නොවේද? ලොව කිසිම දියුණු ජන කොටසක් තුළ නොමැති මෙවැනි අන්ධ විශ්වාසයන් තවදුරටත් මුල් බැසගෙන තිබෙන තාක් අපේ රට දියුණු වේ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් ඔවුන් කෙසේ වෙතත් ඔවුන්ට පුරෝගාමීත්වය දී හිඳින අප තරම් අමන මරිමෝඩයන් පිරිසක් මෙලොව තවත් නැත.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර