“ඉස්සර කියමනක් තිබුණා මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා. හැබැයි අද වෙන කොට මොකක්ද? වෙලා තියෙන්නෙ රජාට?. අර කඩේ ළඟින් යන කොට හැංගිලා යනවා රජා, මේ කඩේ ළඟින් යන කොට හැංගිලා යනවා රජා.
බැංකුවෙන් සතියට ලියුම් දෙක තුනක්වත් එනවා.ණය ගෙව්වෙ නැත්නම් හිරේ විලංගුවේ දානවා කියනවා රජාට. තමන්ගේ බිරිඳ විදෙස් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා රජාට. මොකක්ද වෙලා තියන්නෙ ගෝඨාභය කටේ හයියට ඕව කරන්න බැහැ. කටේ හයියටත් බෑ. ඇඟේ හයියටත් බෑ. ගෝඨාභය හොඳින් තේරුම් ගන්න.
එයාගෙ ගෝල බාලයෝ ඔක්කොටම කියන්නෙ. අද යම් ප්‍රමාණයකට හෝ නිල්ල ගහපු ගොයමක් තියනව නම් ඒ ගොයම තියෙන්නෙ කොහෙන් හරි යූරියා ටිකක් ගහලා. ගෝඨාභය රාජපක්ෂගේ අටමගලක කාබනික නිසා නොවේ. අඩුම තරමේ ආහාර වේල සපයා දෙන්න බැරි ආර්ථිකයකින් ඇති ඵලය මොකක්ද? අද අපේ රටේ මිනිස්සුන්ට මානසික සුවයක් තියෙනවද? නිදහසක් තියෙනවද? මූණක හිනාවක් තියෙනවද? වියළි පරඬැල් මිනිස්සු. හිටන් හිටියොත් ඒක පේන්නෙත් නෑ. මං මේ ඇත්ත කියන්නෙ. අද මේක දුවන්න බැරි රටක්.
ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක් ඉල්ලනවා. පාකිස්ථානයෙන් ඩොලර් මිලියන දෙසීයක් ඉල්ලනවා බංගලා දේශයෙන් ඩොලර් මිලියන දෙසිය පනහක් ඉල්ලනව ඉන්දියාවෙන් ඩොලර් මිලියන පන්සීයක් ඉල්ලනව චීනෙන් ඩොලර් මිලියන දාහක් ඉල්ලනව මොකද කරන්නෙ හතර අතේ ණය වෙනවා. ඩොලර් හිඟා කන රාජ්‍යයක් බවට පත් වෙලා.
ඒනිසා මේක ඉතාමත් අනතුරු දායක අවදානම් තැනක තියෙන්නෙ”ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කියයි. මඩ සෝදාගත් ගොවියා රජ කමටත් සුදුසුය යන කියුම අපට හමු වන්නේ දාහත් වන සියවසේ අප රටේ එළිමහන් සිර කරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් නම් නාවිකයා ශ්‍රී ලාංකේය ජන ජීවිතය හා ඓතිහාසික පසුබිම ඇසුරින් ලියන ලද විශිෂ්ඨතම ග්රන්ථයෙනි.නමුදු බොහෝ දෙනකු සිතා සිටිනුයේ එය රොබට් නොක්ස් ගේ උපකල්පනයක් වශයෙනි.
එහෙත්,ඔහු තම කෘතියෙන් පවසනුයේ එබඳු කියුමක් මෙරට වැසියන් පවසනු තමන් අසා ඇති බවකි.එහෙත්,එහි ඇති විශේෂත්වය වන්නේ එම කියුම සත්‍යයක් බව තමන් ද සහතික වශයෙන්ම පිළිගන්නා බව නොක්ස් අවධාරණය කොට සිටීම ය.තම කෘතිය මඟින් රොබට් නොක්ස් අප රට පිළිබඳව,මෙහි ජනතාව පිළිබඳව මෙවැනි අදහස් දැක්වීම් සිය ගණනක් සිදු කොට තිබේ.
ඒවා අතුරින් බොහොමයක් අද වන විට අප ජන සමාජයෙන් මුළුමනින්ම පාහේ වැළලී ගොස් තිබේ.තවත් කොටසක් සමාජයේ අතනින් මෙතනින් කණින් කොනින් ඇසෙන අතර නූතන සමාජ විඥානය හා බද්ධ වීම නොවීම යන සාධකය ඊට පදනම් ව ඇති බවක් පෙනෙයි.නමුත් රොබට් නොක්ස් ගේ කෘතියේ සඳහන් සියළු කියුම් අබිබවා “මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු ය” යන කියුමට නූතන සමාජයේ චිර ප්‍රසිද්ධියක් ලැබෙනුයේ කෙසේද?ඉන් පැවසෙන අදහස අදටත් මෙරට සමාජ විඥානයේ බද්ධව පවතින බැවිනි.
දළ ජාතික ආදායම,දළ දේශීය නිෂ්පාදනය ආදී සාධක වල දී කෘෂිකර්මාන්තයට හිමි තැන කාලානුරූප ලෙස වෙනස් වීම ඉතා ස්වභාවික ය.එහෙත්,ශ්‍රී ලාංකේය ජන සමාජයේ නෛසර්ගික ජීවන වෘත්තිය උරුමය වන කෘෂිකර්මාන්තය අත පල්ලෙන් බිම දැමීම කෙසේවත් කළ යුත්තක් තබා කළ හැක්කක් ද නොවේ.
නමුත්,වත්මන් රජයට ඒ සම්බන්ධ කිසිදු හැඟීමක් තැකීමක් නොමැති බව අනුර කුමාරගේ ඉහත සඳහන් ප්‍රකාශයෙන් මනාව තහවුරු වෙයි.ඔහු එමඟින් පවසනුයේ වත්මන් ගොවියා සමාජයට මුහුණ දී ගත නොහැකි සේම ඇතැම් විට තම වෘත්තිය පදනම් කොට සිර දඬුවමකට පවා ලක් වීමේ අවදානමකින් පසුවන බවකි.
මෙය කෙතරම් ඛේදනීය තත්වයක්ද?කෘෂිකර්මය යන ක්‍රියාදාමය භූමිය,පස,ජලය,බීජ,පොහොර සහ පළිබෝධ නාශක යන සාධක මත රඳා පවතී.ස්වාභාවික පදනමකින් යුතු මෙම සාධක වල සමතුලනය වෙනස් කිරීම අතිශය ප්‍රවේශම් සහගත් ලෙස කළ යුත්තකි.
කිනම් හෝ දේශපාලනික අදහසක් මත යාපනය අර්ධ ද්වීපයේ තේ වගාව ප්‍රචලිත කොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තල් වගාව ප්‍රචලිත කළ හැකිද? වත්මන් කෘෂි බෝග සඳහා යොදන බීජ සමඟ කාබනික පොහොර ගැළපීමට රජය ගත් උත්සාහය ඊට තරමක් සමාන ය.අද වන විට යම් ප්‍රමාණයකට හෝ නිල් වන් ලෙස දිස්වන ගොයමක් ඇත්නම් ඒ යූරියා පොහොර භාවිතා කළ වී වගාවක් බවට අනුර කුමාර කළ ප්‍රකාශය ද අප අකමැත්තෙන් වුව පිළිගත යුතු අමිහිරි ඇත්තකි.
කහ පැහැයෙන් යුතුව නිසි පොහොරක් නොමැති කමින් මන්ද පෝෂණයට පත් වගාවන් සහිත දේශයකට සෞභ්යායක දැක්මක් තබා එබඳු සිහිනයක් වත් තබා ගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.
අද වන විට අපේ රට මින් පෙර කවදාවත් මුහුණ නොදුන් සිඟමන් ආර්ථිකයකට යොමු ව ඇත්තේ ඒ අනුව ය.”අද අපේ රටේ මිනිස්සුන්ට මානසික සුවයක් තියෙනවද? නිදහසක් තියෙනවද? මූණක හිනාවක් තියෙනවද? වියළි පරඬැල් මිනිස්සු” යනුවෙන් අනුර කුමාර දිසානායක පවසන ප්‍රකාශය සම්බන්ධ පසු වදනක් ද අප සතුව තිබේ එනම්”හරියකට කන්න අඳින්න නොතිබුණත් හිතේ සැනසුමෙන් ජීවත් වූ” සරල චාම් ජන සමාජයක් අතීතයේ පැවැති බව ය.
එහෙත්,පරිභෝජන වාදය මඟින් ජනතා සිත් සතන් වල එතෙක් පැවැති කායික මානසික සැනසුම් සහගත බවෙහි අක් මුල් සිඳී යාමත් සමඟ ජනතාව එම ඛේදනීය තත්වයට පත් වී තිබේ.
දේශපාලනඥයන් ප්රමුඛ සමාජයේ වරප්‍රසාද ලත් සීමිත පිරිසක් විසින් සියළු ජාතික සම්පත් එළි පිටම සූරා කෑම මත අද වන විට රටින් රටට ගොස් සිඟමන් යැදීමට ඔවුන්ටම සිදුව තිබේ.
එහෙත් එහි බියකරුම තත්වය වනුයේ එසේ සිඟමන් වශයෙන් ලබන මුදලින් ද සැළකිය යුතු කොටසක් ඔවුන් විසින්ම සොරා කෑමය.අපට විකල්ප දේශපාලන ධාරාවක අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙම පසුබිම තුළය.
හේමන්ත රන්බණ්ඩාර