රටින් ගෙනා සුරතල් බළල් අමුත්තෝ

සුරතල් සතුන් ප්‍රිය කරන බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්තු සතෙකු ලෙස බළලාද හඳුන්වන්න පුළුවන්. මේ කතා කරන්න යන්නේ අපේ නිවෙස්වල සාමාන්‍යයෙන් ඇති දැඩි කරන බළලා ගැන නොවෙයි. විදේශයෙන් අපේ රටට ගෙන්වූ බළලුන් දෙවර්ගයක් ගැනයි. විදේශීය සුනඛයන් තරමටම විදේශීය බළලුන් වර්ග ප්‍රචලිත වී නැතත්, මෙවැනි බළලුන්ට ද බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන නිසාම තමයි අද අපි මේ බළලුන් ගැන කතා කරන්නේ.

පර්සියානු බළලා (Persian cat)

පර්සියානු බළලුන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. දිගු ලොම් සහිත වර්තමාන පර්සියානු බළලුන්ගේ මුතුන් මිත්තන් යුරෝපයේ මුලින්ම දකින්නට ලැබී තිබෙන්නේ වසර 1500 ගණන්වලදී බවයි දැනගන්නට තිබෙන්නේ. ඔවුන් යුරෝපයට හඳුන්වා දී ඇත්තේ පර්සියාවේ, එනම් වර්තමාන ඉරානයේ සහ තුර්කියේ සිට පැමිණි රෝමන් හා පොයිනීසියන්වරුන් විසිනුයි.

පර්සියන් බළලුන් ඇමරිකාවට හඳුන්වා දී තිබෙන්නේ වසර 1800 අග කාලයේදීයි. ඒ සමඟම පර්සියන් බළලුන් ඉතාම වේගයෙන් උසස්තම බළල් වර්ගයක් ලෙස ඉදිරියට පැමිණියා. ඒ, කෙටි කලක් තුළදී ඇමරිකානුවන් අද දක්නට ලැබෙන ආකාරයේ පර්සියානු බළලා දක්වා වැඩි දියුණු කරනු ලැබීම නිසයි.

පර්සියානු බළලා ඉතාම සුන්දර සුරතල් පෙනුමකින් යුතුයි.ඔවුන්ගේ රවුම් හැඩැති මුහුණ ඒ පෙනුමට අමුතුම ආකර්ෂණීය බවක් ලබාදී තිබෙනවා. දීප්තිමත් විශාල රවුම් සහ පිරුණු බවින් යුතු වර්ණවත් දෑස සැබෑම ලස්සනයි. සිරුරත් මනා පිරිපුන් හැඩයකින් යුතු අතර මෘදු දිග ලොමින් වැසී ඇති නිසා සුන්දරම සුරතලකු බවට පර්සියානු බළලා පත් වී සිටිනවා.

මේ බළලුන්ගේ ගතිගුණත් විශේෂයි. ඔබට අවශ්‍ය වන්නේ නිවසේ එහා මෙහා දුවමින් දඟ කරන බළලෙක් නම් පර්සියානු බළලෙකු ඊට සුදුසු නෑ. මොකද, ඌ බොහොම සන්සුන් ශාන්ත ගතිගුණයෙන් යුතු අයයි. නමුත් මොවුන් අංගසම්පූර්ණ මිත්‍රයන් ලෙස හැඳින්විය හැකියි. මිනිසුන් සමඟ මිතුරු වීමට පර්සියන් බළලා ඉතාමත්ම කැමතියි.

නමුත් ඒ ඔවුන්ට හොඳයි කියලා සිතෙන අය සමග පමණයි. ඔබට ඌ මිතුරු කර ගැනීමට අවශ්‍ය නම් මුලින්ම ඔබ ඔවුන්ගේ ආදරය සහ විශ්වාසය දිනා ගන්න ඕනේ. පර්සියානු බළලා ආදරය සහ සුරතලය දැඩිව අපේක්ෂා කරනවා. නමුත් ඔවුන් වැඩිපුර කරදර කරනවාටත් කැමති නෑ. තම හිමිකරුගේ පවුලේ අයට ආදරය සහ දැඩි ලෙන්ගතු බවක් දක්වන මොවුන් තමා ගැන අවධානය දක්වනවාටත් බොහොම කැමතියි.

සියම් බළලා ( Siamese cat)

සියම් බළලා ද ඉතාම ආකර්ෂණීය පෙනුමින් යුතු කදිම සුරතලෙක්. ඔවුන්ගේ නිජබිම සියම් දේශය හෙවත් වර්තමානයේ ඔබ කවුරුත් හොඳින් දන්නා තායිලන්තයයි.

සියම් බළලාට සිහින් දිගු මෘදු පෙනුමැති සිරුරක් තිබෙන්නේ. දෑස ආමන්ඩ් ගෙඩියක හැඩයෙන් යුතුයි. හිස තරමක් පැතලි හැඩයක් ගන්නා අතර හිස හා සසඳන විට දෑස තරමක් විශාලයි. නියම සියම් බළලෙකුගේ සම කෙටි ලොම්වලින් සමන්විතයි. සිරුර අතගාන විට සේද වැනි ඉතා සිනිඳු ගතියෙන් යුතුයි.

සිරුරේ වර්ණය අනුව සියම් බළලුන් මූලිකව වර්ග කීපයකට වෙන් කර තිබෙනවා. ඒ තමයි සීල් පොයින්ට්, චොකලට් පොයින්ට්, බ්ලූ පොයින්ට්, ලයිලක් පොයින්ට් සහ රෙඩ් පොයින්ට් සියම් බළල් පැටවකු ඔබේ සුරතලා බවට පත්කර ගැනීම සුදුසුද, නුසුදුසු ද කියලා දැන ගැනීමත් හරිම වැදගත්.

මොවුන් සාමාන්‍යයෙන් මිනිසුන් සමග දැඩි හිතවත්කමින් බැඳී සිටීමට කැමති සුරතලෙකු වශයෙනුයි ප්‍රකට වී සිටින්නේ. ඒ නිසා ඔබට මොහු සමඟ ගත කිරීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම අපහසු නම් ඔබට එවැනි බළලෙකු ගැළපෙන්නේ නෑ. සියම් බළලා තරමක් ක්‍රියාශීලී බවින් වැඩියි. ඒ නිසා සවස් වරුවේ නිදාගෙන ඉන්න ඔබේ සුරතලා තව මොහොතකින් මීයෙකු පසුපස දුවමින් සෙල්ලම් කරනවා දකින්න ලැබුණොත් ඒක අරුමයක් නොවෙයි.

ඒ වගේම සියම් බළලා උද්යෝගී බවෙන් මෙන්ම හිතෛෂී බවින් ද පිරිපුන්. මොවුන් බොහෝ විටම අනෙකුත් බළලුන් සමඟ විසීමට වඩා සුනඛයන් සමග විසීමටයි වැඩි කැමැත්තක් දක්වන්නේ.

ඔබේ නිවසේ සුරතල් සුනඛයෙකුත් සිටිනවා නම් සියම් බළලා ඉතාමත් කැමති වේවි. ඉතින් සියම් බළලා සමඟ ඔබටත් ප්‍රමාණවත් කාලයක් ගත කළ හැකි නම් ඔබට අපූරු මිත්‍රයෙකු, දඟකාර සුරතලකු බවට මේ බළලා පත් වෙනු නිසැකයි.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය