අද වන විට අප රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් කුමන හෝ රෝගයක් නැතහොත් රෝග කිහිපයක් උදෙසා නිරතුරුවම ඖෂධ භාවිතා කරති.ඒ හැරුණු කොට ජීවිතයේ විවිධ අවස්ථාවන් හි ඇතිවන රෝග පීඩා සඳහා ඖෂධ භාවිතා කරන්නෝ ද සිටිති.එහෙත් මෙහි වඩාත් ඛේදනීය තත්වය වනුයේ ඉහත සඳහන් දෙයාකාරයේම ඖෂධ භාවිතා කරන්නවුන්ට අමතරව ඖෂධ භාවිතා කළ යුතු තත්වයක පසුවන තවත් සැලකිය යුතු පිරිසක් ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ය. “ඉස්පිරිතාලෙට ගියාට වැඩක් නෑ.ඒකෙ බේත් නෑ.එතකොට දොස්තර මහත්තුරු කරන්නෙ පිටින් ගන්න බේත් ලියලා දෙන එක ඒත් අපිට එහෙම ගන්නත් සල්ලි නෑ”මෙය දැන් අප සමාජයෙන් නිතර අසන්නට ලැබෙන චෝදනාවකි. මේ අතර ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල් වල ප්‍රතිකාර සේවාවන් සඳහා උග්‍ර ගැටලුවක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගිය කාලය පුරාම පෙන්වා දුන්නේ ය.
සෞඛ්‍ය කේෂත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන ලද්දේ රටේ ආර්ථික අර්බුදයටත් වඩා නිසි සැලසුමක් නොමැතිකම මෙම අර්බුදයට හේතුවී ඇති බව ය.සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පසුගිය කාලයේ සඳහන් කළේ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ඖෂධ සැපයීම් අංශය පත්ව ඇති බවකි. රට පුරා රෝගීන්ගේ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කළ නොහැකි තත්වයකට වෛද්‍ය පර්යේෂණ ආයතනය පත්ව ඇතැයි ද සඳහන් කළ ඔහු වැඩි දුරටත් කියා සිටියේ සෞඛ්‍ය පහසුකම් සදහා ලැබී ඇති ණය සහ ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම බව නිසා අපතේ යමින් ඇති බවකි. සෞඛ්‍ය අර්බුදයට හේතුව ආර්ථික ගැටලුවට වඩා අකාර්යක්ෂම බව සහ තාක්ෂණික මාෆියාවන්ට යට වීම බවට ද ඔහු චෝදනා කළේය.
ඔහුගේ මෙම චෝදනාව සුළු කොට තැකිය හැක්කක් නොවේ. මේ අතර ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟයක් ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) ද පසුගිය කාලයේ අනාවරණය කොට ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසූවේ ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා මුදල් කළමනාකරණය කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයි පෙනී යන බවකි.මේ අතර ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම මග හැරවීමට කටයුතු කරන්නැයි කමිටු සභාපතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව නිර්දේශ ලබා දී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් වටිනා වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් බව කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.එය එම ආධාර මුදලින් වැය කොට ඇත්තේ සියයට 28 ක් බවත් 2022 මැයි 18 දින වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ මුදලක් ඉන්වොයිස් සඳහා පමණක් නිර්දේශ ලබාදී තිබූ බවත් සභාපතිවරයා පෙන්වා දී තිබේ..රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි සාමාජික මන්ත්‍රීවරු නිලධාරීන් ගෙන් අසා සිටියහ.
විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් මෙම ගැටලු සහගත තත්වය කඩිනමින් විසඳාගෙන අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට හැකි ඉක්මනින් ලබාදීමේ අවශ්‍යතාවය කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.මේ අනුව ඉක්මනින් මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට නිර්දේශ කළේය.තව ද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර, ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳව ද වැඩිදුරටත් විමසා බැලෙන ලදී.විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්ම වුව ද ඒවා තවම වැයකර නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.ඒ අනුව.හැකි ඉක්මනින් ඖෂධ මිලදී ගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිගයක් ඇති නොවන බව මන්ත්‍රීවරු පැවසූහ.කෙසේ හෝ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විධිමත් ඖෂධ සැපයුම් යාන්ත්‍රණයක් පිළිබඳව සාකච්ඡා කර ගැනීම පිණිස ඉකුත් සතියේ ඉන්දියාවට ගොස් තිබේ.
මේ අතර මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ සදහා කෙටි කාලීන, දිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයි ද එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කීය.ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක් මග හරවා ගැනීමටද හැකි වෙතැයි ඔහු සඳහන් කළේ පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
” ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට උපරිමයෙන් රැස් කර තබා ගැනීම අපේ අරමුණයි. අතීතයේ සිට කිසිදා 100 % ක් රට තුළ ඖෂධ තිබී නැහැ. ඖෂධ වර්ග 15 ක 25 ක අතර ප්‍රමාණයක් සෑම විටම අඩුව තිබෙනවා. විශේෂයෙන් අපට මේ ප්රශ්නය ඇති වුයේ විදේශ විනිමය හිඟකම නිසායි. ඒ සදහා තමයි රජය මේ වෙනුවෙන් ක්‍රෙඩිට් ලයින් ක්‍රමය හඳුන්වා දුන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් , ආසියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 66.6 ක්, ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 22 ක් මෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් 100 ක් වශයෙන් ඖෂධ සදහා ණය ආධාර ලැබී තිබෙනවා.
එහෙත් ලෝක බැංකුව හැරුණු විට අනෙක් ආයතනයන් මඟින් යම් යම් කොන්දේසි පැනවීම මත ඖෂධ ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. එහෙත් මේ වන විට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර පැවතීම තුළ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යා හැකියි”.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. එහි දී අනාවරණය වූ අන්දමට දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් භාවිතා කරන ඖෂධ සියල්ල පාහේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හා දේශීය ඖෂධ නිෂ්පාදන හරහා ලබා ගන්නා ඒවා වේ. මේ තුළ යම් හිගයක් ඇති වන්නේ නම් එය බොහෝ විට සිදුවන්නේ බෙදාහැරීමේ ජාලයන්හි යම් යම් අඩුපාඩු නිසාවෙනි. සෑම සති දෙකකට වරක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල් සමග ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සුම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවන් පැවැත්වේ. ඒ තුළ රෝහල් පද්ධතියේ බරපතළ හිඟයක් වාර්තා වී නොමැති බවක් ද මෙහි දී අනාවරණය විය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා බාහිර රෝගී අංශය තුළ භාවිතා කරන ඖෂධ බොහෝ ප්‍රමාණයක් මේ වන විට පවතී. විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග හා ගර්භණී මාතාවන් සදහා භාවිතා කරන විටමින් වර්ග රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහා ලබා දී තිබේ.
නිර්වින්දන ඖෂධ මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතින අතර ඒවා මේ වන විට වෙළඳපොළේ පවතී. අක්ෂි කාච තොගද ඉදිරි මාසයේදී ලැබීමට නියමිත අතර ඒ අනුව පොරොත්තු ලේඛනයේ ආකාරයට එය ඉදිරියේදී ලබාදෙන අතර ඒ අනුව වර්ග 32 ක අක්ෂි කාච ලබා දීමට හැකි වනු ඇත. අවශ්‍ය ප්‍රතිශක්තීකරණ ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානය අතුළු සංවිධාන හරහා නියමිත ආකාරයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින අතර ඒ අනුව බොහෝ ඖෂධ සදහා එතරම් ගැටලු නොමැත.
” අපි අද මුහුණ දී තිබෙන්නේ පශ්චාත් වසංගත තත්වයකට. ඒ තුළ කොවිඩ් වසංගතයට ප්‍රමුඛතාවය ලබා දීම හරහා ඇතැම් ඖෂධ කල් ඉකුත් වු අතර ඉන්පසු ඇතැම් ඖෂධයන්හි අවශ්‍යතාව වෙනත් වකවානු වලට වඩා අඩු වැඩි වුණා.ජුලි මාසයේ සිට වාර්ෂික ටෙන්ඩර් අනුව රුපියල් බිලියන 14 ½ ක ඖෂධ වර්ග 347 ක් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දී තිබෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා. ඊට අමතරව බිලියන 4 ක ඖෂධ වර්ග 285 ක් දේශීයව මිලදී ගෙන තියෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 3 ක ඖෂධ වර්ග 212 ඔසුසල් සදහා ගෙනවිත් තියෙනවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය ජුලි මාසයෙන් පසු පුර්ණව භාර ගැනීමෙන් අනතුරුව ඖෂධ සපයා ගැනීම සදහා මෙවැනි ක්‍රියාදමයන් රැසක් ගෙන තිබෙනවා. අද සිටින නිලධාරීන් තමයි මෙයට පෙර වකවානුවල සෞඛ්‍ය ක්ෂේත්රයේ කටයුතු කර තිබෙන්නේ. එහෙත් එකල ආර්ථීක අර්බුද, වසංගත තත්වයන් මෙන්ම ඩොලර් අර්බුද රට තුළ තිබුණේ නැහැ. අද ඒ සියල්ලටම මුහුණ දෙමිනුයි ඖෂධ ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන්නේ.
මේ මොහොතේ මා ඉල්ලා සිටිනවා මේ තත්වයට සියලු දෙනා සෞඛ්‍ය ක්ෂේත්රයට උදව් කරන්න කියලා. මේ තුළ දේශපාලන වාසියට කටයුතු කිරීම නොවේ කළ යුත්තේ. සියලු දෙනා එකමුතු වෙලා කටයුතු කළ යුතුයි”.මෙහිදී අදහස් දැක් වූරාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති නීතීඥ සරත් ලියනගේ කීය.
.”ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලෙස මෙරට ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක කළා. එහිදී ණය වැඩසටහන් යටතේ ලැබෙන ඖෂධ ආනයන ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහාත්, ප්‍රමාදයන් අවම කරගැනීම සඳහාත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගුණාත්මක භාවය වැඩි කිරීමට කටයුතු කළා.” මෙහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර පැවසීය ඉහත සඳහන් සියළු ප්‍රකාශ තුළ යම් යුක්ති සහගත බවක් සේම සාධාරණ බවක් දක්නට පුළුවන.එහෙත් අපට ඇති ගැටළුව එය නොවේ.ගත වූ කාලය පුරාම ඔඩු දුවා ඇති ඖෂධ හිඟය නම් වන අසාධ්‍ය රෝගයට ඖෂධ සොයා මෙරට ලක්ෂ ගණන් අසරණ රෝගීන් ගේ ජීවිත මරු කටින් ගලවා ගැනීමට වත්මන් බලධාරීන්ට හැකි වේද?යන්න ය.අපි ඒ දෙස ඉදිරියටත් අතිශය විමසුම් සහගතව බලා සිටිමු.
දමයන්ති ගමගේ