පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට අප රටේ ජනතාව ජීවත්වීම විෂයෙහි දැක් වූ අසීරු අමාරුකම් අංශු මාත්රිකව හෝ අඩු වෙමින් පවතින බව එක්තරා සත්‍යයකි.එහෙත්, ඊට බලපාන ප්‍රධාන බාධකයක් ද තිබේ.එනම් මෑතක සිට අසාමාන්‍ය ලෙස ඉහළ නංවන ලද විදුලි ගාස්තුව ය.එමෙන්ම අඩු ආදායම් ලාභීනට මෙන්ම සුළු ව්‍යාපාරිකයන්ට දැඩි පීඩාවක් ලක් කොට ඇති විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතරේ පවතින එක් කතාවක් තිබේ.”එනම් දැන් නම් ලයිට් බිල දැක්කමත් කරන්ට් එක වදිනවා”යන්න ය.මේ අතර විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
මෙය මෙරට ජනතාවගේ හදවත් තුළට ඉමහත් ආස්වාදයක් ගෙන දෙන පුවතකි.ඊට හේතුව මේ වන විට අප රටේ ජනතාවගෙන් බහුතරයකගේ ආදායම සහ විදුලි බිල අතර පරතරය මේ වන විට ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වෙමින් පැවතීම ය.ඉහත සඳහන් හේතු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස තමන් ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව කී සභාපති වරයා ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද අවධාරණය කොට සිටියි.ඉතා සරල ජන වහරකට අනුව කිවහොත් එය ජනතාව “හුරේ”දමන කතාවකි.
ඒ අතර ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබාදිය යුතු බවට මුදල් අමාත්‍යංශය ද නිර්දේශ කර තිබියදී ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාට ද සහන සැලසීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගත යුතු බව පවසන ජනක රත්නායක වැඩිදුරටත් කියා සිටිනුයේ ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු යෝජනා සකස්කරන විට ගල් අඟුරු කිලෝ එකක මිල රුපියල් 104 ක් ලෙස පදනම් කරගෙන තිබුණ ද මේ වන විට ගල් අගුරු කිලෝවක් රුපියල් 59.60 ක් බවට පත්ව ඇති බවකි.ඒ වන විට ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල රුපියල් 187.50 ක් මෙන්ම නැප්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබූ බවත් වෙළෙඳපොලේ නැප්තා මිල මේ වන විට රුපියල් 153 ක් ද, ලීටරය රුපියල් 405 ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක් අද වන විට රුපියල් 247 ක් දක්වා පහළ බැස ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන අඩු මිලට දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳන් කරයි.
නමුත් මෙම තත්වය නිසි විශ්ලේෂණයකට ලක් නොකළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික බහුතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදිම නිර්දේශ කළ මෙම විදුලි බිල ඉහළ නැංවීම කෙසේ වත් සාධාරණ සහ යුක්ති සහගත එකක් නොවන බව ද ජනක රත්නායක අවධාරණය කරයි. ජනතා කැමැත්තකින් තොරව ජනාධිපති වරයකු ලෙස පත්වීමට ඇති ව්‍යවස්ථාමය හැකියාව මත ජනපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රට ගොඩනැඟීම පිණිස තමන් හමුවේ ඇති අභියෝගය උපමා කළේ “හුනුවටයේ කතාව” නාට්‍යයේ ගෲෂා නම් තරුණ මෙහෙකාරිය තමන්ගේ නොවන මයිකල් නම් දරුවා මරණයෙන් මුදාගනු පිණිස ඔහු ද වඩාගෙන ගැඹුරු හෙළක් ඔස්සේ වැටී ගත් අනතුරු දායක වැල් පාලමේ ගිය අතිශය බිහිසුණු දුෂ්කර ගමනට ය.එමෙන්ම ඒ වැල් පාලමේ යන ගමනේ අතිශය අන්තුරුදායක කොටස දැන් පසුවී ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක ගැබ් ව තිබිණ.නමුදු ජනතාව වෙනුවෙන් යමක් කිරීමට වඩා පවත්නා තත්වය විවේචනයට ලක් කරමින් ජනතා සිත් දිනා ගැනීමේ දේශපාලන උපාය මාර්ගයක් තිබේ.ඒ පවත්නා රජය හෝ ක්‍රමය විවේචනය කිරීමෙන් එම ක්‍රමයෙන් පීඩා විඳින ජනතාව සඳහා “මනෝමය වේදනා නාශක” සැපයෙන බැවිනි. ඇතැමුන් පවසන අන්දමට මේ වන විට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය වටා සමාජයේ විවිධ කොටස් ඒක රාශී වනුයේ ඒ න්‍යායට අනුව ය.
නමුත් හුදෙක් දේශපාලනික නොවූ රාජ්‍ය සේවකයකු වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක තම තනතුරේ ඇති බලය ස්වාධීන ලෙස යොදා ගනිමින් යන මේ ගමන ද ජනපති රනිල් වික්‍රමසිංහ තමන්ට උපමා කර ගත් ගෲෂාගේ වැල් පාලමේ ගමනට වඩා තරමක වෙනස් එකක් වීමට පුළුවන.එහෙත්, රනිල් වික්‍රමසිංහ ඒ වැල් පාලමින් වැටුණහොත් ඒ කොහාටද?යන්න පිළිබඳ පැහැදිලි නිශ්චයක් නොමැති මුත් ඔහු ඇතුළු රජයේ විවිධ පාර්ශවයන්ගේ බාධා කිරීම් මත ජනක රත්නායක හදිසියේ බිම ඇද වැටුණ හොත් ඒ ස්ථානය කුමක්ද යන්න පිළිබවඳ නිශ්චයක් නම් අප තුළ තිබේ ඒ නිශ්චිත ස්ථානය හඳුනා ගත හැක්කේ “ජනතාවගේ ඔඩොක්කුව” ලෙස ය.
දමයන්ති ගමගේ