රඹුක්කන පොලිස් වෙඩි තැබීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු හතරක් අත්අඩංගුවේ

පසුගිය 19 වනදා රඹුක්කන දී සිදු වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(28)පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා කොළඹ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්තාපල් වරුන් තිදෙනා අත් අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී ය.මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පසුගිය 27 වන දා නියෝග කළාය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වූ අතර බාල වයස් කරුවන් ඇතුළු තවත් පිරිසක් තුවාල ලදහ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා එම සිද්ධිය හා කිසිදු සම්බන්ධයක් නොමැති ප්‍රකාශයක් වන මරණකරුට සාපරාධී චෝදනා යටතේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බව පැවසීම මේ වන විට සිවිල් සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

කාලීන පුවත්