රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම කියන්නේ රට වනසන යක්ෂයකුට ද?

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ලෝකයේ දියුණු රටවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රජය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් ඔහු පවසයි.ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව සඳහන් කළේ පසුගිය 26 වන දා ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමිනි. රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවදියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් වන පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳව වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා එම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණි.එහි දී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සූදානම්දැයි වෘත්තීය සමිති නායකයෙකු කළ විමසුමට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේ ඒ සඳහා හෝ එවැනි ක්‍රියා මාර්ගයක් සඳහා කිසිදු අදහසක් රජයට නොමැති බවයි.එසේම මෙම වසරට අදාළ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසර සඳහා ලබාදීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ද ඔහු අනාවරණය කළේය. සමන් රත්නප්‍රිය ජනාධිපති වරයාගේ වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වරයා වීම මත ඇතැමකුට ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කේවට්ටයකු හෝ ඇබ්බැට්ටයකු සේ හැඟී යාමට පුළුවන.ඒ අතර ඔහු ජනාධිපති වරයාගේ රට කාබාසිනියා කිරීමේ මෙහෙයුමේ කුලී හේවායකු ලෙස හැඳින්වීමට ද තවත් අයකුට බැරිකමක් නැත.එහෙත් ,අප ගේ මෙම උත්සාහය ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට නොවේ.රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ කරුණු කිහිපයක් නිර්දේශපාලනික ස්වරූපයකින් විමසා බැලීමට ය.මේ වන විට විපක්ෂ දේශපාලකයන් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම කිරීම හඳුන්වන ජනකාන්ත වදනක් තිබේ.එනම් රාජ්‍ය සම්පත් විකිණීම යන්න ය.මේ අතර එහි රසවත් බව වැඩිවීම පිණිස සමහරු ඊට “කුණු කොල්ලයට” විකිණීම යන විශේෂණ පදය ද යොදති.ඊට හොඳ සමාජමය ඉල්ලුමක් ද තිබේ. එනිසා එය මේ දිනවල විරුද්ධ පක්ෂ දේශපාලන “පොළ වල් වල” ගජරාමෙට විකිණෙයි. “සැත”යනු පිහියට නැතහොත් තියුණු මුවහතක් සහිත ආයුධයකට යෙදෙන නමකි.ඒ නිසා යමකුගේ උදරයේ සැත්කමක් සිදු කිරීම”පිහියකින් බඩ කැපීම”ලෙස ද සඳහන් කළ හැක.මූලික වශයෙන් බලන විට එහි ද වරදක් නැතත් එම යාන්ත්‍රණය සහ එහි අරමුණු සමඟ විමසා බලන විට ඉන් පැවසෙන අරුත අහසට පොලොව මෙන් දුරස් ය.
ප්‍රතිව්‍යුහගත කිරීම යනු කිසියම් ආයතනයක නීත්‍යානුකූල, හිමිකාරිත්වය, මෙහෙයුම් හෝ වෙනත් ව්‍යුහයන් වඩා ලාභදායී කිරීම හෝ එහි වර්තමාන අවශ්‍යතා සඳහා වඩා හොඳින් සංවිධානය කිරීම සඳහා ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාව සඳහා වන ආයතනික කළමනාකරණ යාන්ත්‍රණයයි.රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අරමුණ සාධාරණ මිලක්, ඉහළ ගුණාත්මක භාවයක් සහ ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කරමින් තරඟකාරී ආර්ථික රාමුවක් තුළ අදාළ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම බව සංකල්පීය වශයෙන් පැවසිය හැක.ඒ අනුව බලන විට මෙය ද එක්තරා අන්දමක “ජනතාවාදී” පියවරකි. මුළුමනින්ම රජය යටතේ පාලනය වන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තතමේන්තුව පවත්වාගෙන යාම වෙනුවෙන් 2010-2020 යන දස අවුරුදු කාලය තුළ රුපියල් බිලියන 333ක් තරම් වූ අති විශාල මහජන මුදලක් වැය කර ඇති බවත් එමෙන්ම මහජන බදු මුදල් මේ තරම් ප්‍රමාණයක් වැය කරමින් පවත්වාගෙන ආ මෙම රාජ්‍ය ව්‍යවසාය යම් ලාභදායි ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගත්තේ නම් එමගින් වසරකට රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි කර ගන්නට හැකියාව තිබූ බවත් රත්නප්‍රිය එහිදී සඳහන් කළ කරුණ ද බොරුවක් නොවේ.එබැවින් අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් කළ යුතු බවට ජන මතයක් ගොඩ නැඟෙමින් තිබේ.”ආණ්ඩුවට මේක කරන්න බැරි නම් පුළුවන් එකෙකුට දීලා දාන්න ඕනේ” දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මහ ජනතාවට සැලසිය යුතු සේවා බිඳ වැටෙන සෑම විටෙකම ඉන් පීඩාවට පත් වන මඟීන් ගෙන් එල්ල වන චෝදනාව මේ වන විට පොදු ජන පැතුමක් බවට පත් වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු බලධාරීන් නඟන මැසිවිල්ලක් ද තිබේ.එනම් පවත්නා දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ දුම්රිය සේවාවේ මීට වඩා ගුණාත්මක වර්ධනයක් සිදු කළ නොහැකි බව ය.ඔවුන් එසේ පවසනුයේ ඇතැමුන් විසින් “නෑ පොත” සහ “බෑ පොත” යනුවෙන් හඳුන්වන ආයතන සංග්‍රහය සහ මූල්‍ය සංග්‍රහය මඟින් පනවා ඇති නියමයන් උල්ලංඝනය කිරීමට දෙපාර්තමේන්තු බලධාරීන්ට නොහැකි බැවිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය සංග්‍රහය යනු රාජ්‍යාතන වල පැවත්ම, විනය සහ මූල්‍ය ස්ථාවරත්වය පිණිස පිහිටුවා ඇති ප්‍රධානතම බල කනු දෙක ය.එහෙත්, ඉන් කඩිනම් හා කාර්යක්ෂම ජනතා සේවයක් ඉටු කළ නොහැකි නම් ඒ සඳහා ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ඒ සඳහා අවකාශ හිමි වන අන්දමට අප රටේ දුම්රිය සේවය පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන පනතක් මඟින් අධිකාරියක් බවට පත් කිරීම ය.එමට එහි පැවත්ම විනය සහ මූල්‍ය ස්ථාවරත්වය පිණිස පාර්ලිමේන්තු පනතක් මඟින් වෙනම නියාමනයක් සකසා ගත හැක. ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇතුළු විවිධ විවේචකයින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විවේචන කරනුයේ එමඟින් රජයට ලැබෙන ආදායම් අහිමි වන බවට චෝදනා කරමිනි. එහෙත්, බොහෝ විට මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නතුවනුයේ පාඩු ලබන රාජ්‍ය ආයතනයන් ය.ඒ කෙසේ වෙතත්,ජනතාව පිට බැරි බර පටවමින් ලාභ ලබන රාජ්‍ය ආයතන ද අප රටේ තිබේ.ඒවා හෝ වෙනත් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමෙන් ජනතාවට වාසි සළසන අතරේ රජයට මූලික විකිණීමෙන් ලැබෙන ආදායමට අමතරව බදු අය කිරීම හරහා වැඩි ආදායමක් උපයා ගත හැකිය .රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකල්පීය අරමුණ වනුයේ සාධාරණ මිලක්, ඉහළ ගුණාත්මක භාවයක් සහ ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කරමින් තරඟකාරී ආර්ථික රාමුවක් තුළ අදාළ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම ය. මේ අතර මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් ඒවාට සම්බන්ධ දේශපාලනඥයන්ට සහ නිලධාරීනට කෝටි ප්‍රකෝටි ගණන් මහ ධන නිධාන හිමි වන බවට සමාජය තුළ මහත් රාවයක් පැතිර ගොස් තිබේ.එනිසා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය අතිශයින්ම වැදගත් වනු ඇත.                                                                                                                                                මේ සම්බන්ධයෙන් අවසන් වරට කිව හැක්කේ තුඹසක් තුළ සිටින විසකුරු සර්පයකුට මිස මිනිසකුට දෂ්ඨ කිරීමේ හැකියාවක් තුඹසකට නොමැති බවකි.අප ජන වහරේ එන “හුඹස් බිය” යනු ඒ පදනම් විරහිත භීතිකාව ය ජනපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන සද් භාවය හෝ ව්‍යක්ත භාවය මෙම මාතෘකාවට අදාල නැත.එය පසෙක තිබිය දී ජනාධිපති වරයාගේ කේවට්ටයකු හෝ ඇබ්බැට්ටයකු සේ යමකුට හැඟී යාහැකි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියගේ ඉහත සඳනන් ප්‍රකාශය කෙසේ වුව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම යනු රාජ්‍ය සම්පත් “කුණු කොල්ලයට” විකිණීම නමැති බියකරු යක්ෂයකු සේ හුවා දැක්වීම මඟින් රටට සමාජයට සිදුවන අවාසිය පිළිබඳව ඒවා පවසන සේම අසන සියළු දෙනා ද හොඳින් වටහා ගත යුතු ය.                                                                                                                                                                                                        රේණුකා දමයන්ති

 

 

එතෙර - මෙතෙර