රාවණා රජ්ජුරුවොත් චීන අඩි කාරයෙක්ද? –  චීන අඩි සටන් කලා ශිල්පී සුබසිංහ ගමගේ ගුණදාස

subasighe

“අපේ රටේ අංගම්පොර කියලා පරණ සටන් ක්‍රමයක් තිබුණට අපි දන්න කාලේ ඒක නමක් විතරයි. ඒ හැරුණම ඒක දන්න කවුරුවත් හිටියේ නැහැ.

සුද්දන් ගේ කාලෙ මේ රටේ මිනිස්සුන්ට සටන් පුහුණු වෙන්න ඉඩ දුන්නේ නැති හින්දා ඒවා නිකම්ම නැතිවෙලා යන්න ඇති. නමුත් දැන් ටික කාලෙක ඉඳලා අංගම්පොර කියන සටන් ක්‍රමය සමාජ කරලියට ඇවිත් පුදුම විදිහට ජනප්‍රිය වෙමින් තියනවා. ඒ හින්දම මම වීඩියෝ වලින් මොකක්ද ඔය කියන අංගම්පොර කියලා විමසලා බැලුවා.

ඇත්තෙන්ම අංගම්පොර කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. පරණ චීන අඩි පොඩ්ඩක් වෙනස් කරලා හදා ගත්තු සටන් ක්‍රමයක්. ඒකේ තියෙන්නේ සීයට අනූවක්ම චීන අඩි; ඔය අතරේ අංගම්පොර කරන සමහරු කියනවා ඔය අංගම්පොර රාවණා රජ්ජුරුවන් ගේ සටන් ක්‍රමයක් කියලා. ඉතින් මටත් අහන්න තියෙන්නේ එහෙම නම් රාවණා රජ්ජුරුවොත් චීන අඩි කාරයෙක් ද කියලා තමයි”.

අප හා ඒ අදහස් පළ කළේ කඩුවෙල, පහළ බෝමිරියේ පදිංචි පැරණි චීන අඩි සටන් ශිල්පියෙකු වන සුබසිංහ ගමගේ ගුණදාස මහතාය. දැනට හැත්තෑ හතර වන වියේ පසුවන ගුණදාස මහතා චීන අඩි සටන් කලාව පුහුණු වී ඇත්තේ මීට අවුරුදු පනස් හතරකට පමණ පෙර සිට ය.

ඔහු වැඩිදුරටත් පවසන අන්දමට තමන් සටන් කලා ඉගෙනුමට යොමු වූ 1967 වසරේ කඩු සටන්, පොළු සටන් සහ චීන අඩි හැරුණු කොට අඩුම තරමින් කරාතේ ක්‍රීඩාව වත් මේ රටේ තිබී නැත.

කුඩා කාලයේ සිට තමන් තුළ පැවැති සටන් කලාවක් ඉගෙන ගැනීමේ “උන්මාදය” නිසා එවක පැවැති සටන් කලා ගැන අති මහත් උනන්දුවකින් පසු වූ තමන්ට අංගම්පොර නම් සටන් ක්‍රමයක් ගැන දැන ගැනීමට වත් නොලැබුණු බව ගුණදාස මහතා කියයි. ඔහුගේ මෙම අතීත කතාවෙන් ඒ පිළිබඳ තවත් තොරතුරු ඔබට දැන ගත හැකි වනු ඇත.

“මගේ ගම මාතර කඹුරුපිටිය; මම කොළඹ ආවේ 1956 අවුරුද්දේ. එතකොට මගේ වයස අවුරුදු නවයයි. ඇවිත් වැල්ලවත්තේ නැන්දා කෙනෙක් ළඟ නතර වුණා. ඒ කාලේ එයාලට කොළඹ මරියාකඩේ ටේලර් ෂොප් එකක් තිබුණා.

ඒ කාලේ ඒකේ නොම්බරේ 619. ඒ කාලේ කොළඹ චණ්ඩියා විදිහට ප්‍රසිද්ධ වුණු ධර්මදාස රාජපක්‍ෂ ඒ කියන්නේ චොප්පෙ අයියා හිටියෙත් ඒ හරියෙම තමයි. චොප්පෙ අයියා නම් දරපු චීන අඩි කාරයෙක්. ඕනෙම කෙනෙක් එක්ක ඔට්ටුවට චීන අඩි සෙල්ලම් පෙන්නලා දිනන්න චොප්පෙ අයියට පුළුවන්.

ඒත්, මම ඒ කාලේ පුංචි හින්දා චොප්පෙ අයිය ගෙන් චීන අඩි ඉගෙන ගන්න බැරි වුණා. ඔය කාලේ වැල්ලවත්ත මාකට් එක ඉස්සර ගහන වෙසක් තොරණ ඉස්සරහ රෑ එළි වෙනකම් චීන අඩි සෙල්ලම් පෙන්නනවා. ඔක්කොම එන්නේ හොඳ හොඳ වැඩ කාරයෝ. හැබැයි ඒ සේරම දකුණු ඉන්දියාවෙන් ආපු දෙමළ හරි මලයාලම් හරි අය.

එහෙම නැත්නම් එයාලගෙ ගෝලයො. චීන අඩි සෙල්ලම් බලලා අපි ඒවට කොච්චර වසඟ වුණා ද කිව්වොත් කොහොම හරි ඒවා ඉගෙන ගන්නම ඕනේ කියලා හිතුවා. මාත් එක්කම වැල්ලවත්තේ හැම්ඩන් ලේන් එකේ හිටපු මොහිදීන් කියන යාළුවත් මේ වැඩේට මාත් එක්ක එකතු වෙන්න කැමති වුණා” ගුණදාස මහතා කීය.

“ඒ අනුව ඔවුන් ගේ මුල්ම චීන අඩි ගුරුවරයා වනුයේ දෙමටගොඩ, කාලිපුල්ලේවත්තේ සෙල්වම් වයිත්තියාර් නම් අයෙකි. පසුකාලීනව ආත්මාරක්ෂක සටන් කලා උගන්වන උපදේශකයන් මාස්ටර්, සෙන්සේ යන නම් වලින් හැඳින්වුව ද මෙම චීන අඩි උපදේශකයන් හැඳින්වීමට යොදා ගැනුණේ වයිත්තියාර් යන නම ය. දෙමළ බසින් ගුරුවරයා හැඳින්වෙනුයේ වයිත්තියාර් යනුවෙනි.

“චීන අඩි කියන්නේ එකම සටන් ක්‍රමයක් වුණත් මේ එක එක වයිත්තියාර් ලට එක එක ගුරුකුල තිබුණා. ඒ හින්දා ඒ සටන් ක්‍රම වලත් එක එක වෙනස්කම් තිබුණා. විශේෂයෙන් ගුරුවරුන්ට ආචාර කරන ක්‍රම එහෙම එකකට එකක් වෙනස්” ගුණදාස මහතා කීය.

ඉන් පසුව ඒ චීන අඩි සටන් කලාව තව දුරටත් ඉගෙන ගැනීම පිණිස සිත් යොමු කළ ගුණදාස මහතා කළුබෝවිල, සරණංකර පාරේ චීන අඩි පුහුණු කරුවකු වන මුත්තයියා වයිත්තියාර් ගෙන් ද චීන අඩි කලාව හැදෑරී ය.

ඊට පසුව චීන අඩි සේම ඉන්දියානු පොලු සරඹ කරුවකු වන ඩැනියෙල් වයිත්තියාර් සහ මලයාලි මන්ත්‍ර ගුරුකම් කඩු, පොළු, චීන අඩි ආදී සටන් ක්‍රම වල නිපුණයෙකු වූ බෙලෙක්කඩේ හන්දියේ ගුරුසාමි නම් මලයාලම් ජාතිකයෙකු ගෙන් චීන අඩි සටන් කලාව ඉගෙන ගෙන තිබේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ එවක කෝට්ටේ වයිත්තියාර්, දොරේ රාජා ආදී වශයෙන් ප්‍රකට තවත් චීන අඩි සටන් කලා ගුරුවරුන් ද සිටි බව ය.

“මේ වයිත්තියාර්ලා එහෙම ආවට ගියාට කාටවත් චීන අඩි ඉගැන්නුවේ නෑ. ගෝලයගේ ගතිගුණ එහෙම හොඳට බලලා තමයි ඉගැන්නුවේ. අනික මේ චීන අඩි ටිකක් ඉගෙන ගෙන පිට අයත් එක්ක මේවා අත්හදා බලන එක සම්පූර්ණයෙන් තහනම්; කවුරු හරි එහෙම අත්හදා බලන්න කියලා කාට හරි පහර දීලා තියනවා කියලා දැන ගත්තු හැටියෙම මිනිහව එළවලා දානවා.

ඕනෙම කෙනෙකුට තමන් ඉගෙන ගන්න දේ අත්හදා බලන්න ඕනේ නම් වයිත්තියාර් එක්ක හරි එයාගෙන් ඉගෙන ගන්න වෙන ගෝලයෙක් එක්ක විතරයි ඒක කරන්න පුළුවන්.

නමුත් ඔය කාලේ ඒ වයිත්තියාර්ල ගෙන් ඒවා ටිකක් ඉගෙන ගෙන පැනලා අහක ඉන්න මිනිස්සුන්ට දිගට හරහට ගහන්න පෙළඹුණු මදාවි රංචු හිටපු හින්දා පස්සේ සමහරු චීන අඩි වලට මදාවි සෙල්ලම කියන්නත් පටන් ගත්තා.

නමුත් ඊට පස්සෙත් කොම්පඤ්ඤ වීදියේ කෝවිල් පෙරහැරේ එක සෙල්ලමක් හැටියට මේක කරගෙන ගියා. මමත් ඒවට සම්බන්ධ වෙලා තියනවා. ඒ කියන්නේ ඒ කාලේ මේකට හොඳ පිළිගැනීමක් තිබුණා කියන එකනේ.”

ගුණදාස මහතා වැඩිදුරටත් කී අන්දමට පසුව මෙම චීන අඩි ශිල්පය ප්‍රගුණ කළ ශ්‍රී ලාංකිකයන් අතරේ දෙහිවල “පොඩි රාළහාමි’ට ප්‍රධාන තැනක් හිමි ව තිබේ.

1970 මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එම ප්‍රදේශයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

ඊට අමතරව චීන අඩි ශිල්පය ඉගෙන ප්‍රසිද්ධියට පත් වූ තවත් ශ්‍රී ලාංකිකයන් ගේ නම් ලැයිස්තුවක් ද ගුණදාස මහතා ගේ මතක ගබඩාවේ සුරක්ෂිතව තිබේ.

“කොහොම හරි 1967 විතර වෙනකොට අද අපේ රටේ කරාතේ රජු කියලා හැඳින්වෙන ජී. ඒ. ටී. ලිවේරා මාස්ටර් කරාතේ සටන් ශිල්පය හඳුන්වලා දුන්නට ඒක අපේ රටේ ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ 1970 අවුරුද්දෙන් පස්සේ තමයි.

ඔය වෙනකොට 1971 කැරැල්ල එහෙම හින්දා අපේ චීන අඩි පුහුණුව එහෙම අත්හිටුවලා තිබුණේ” ගුණදාස මහතා කියයි.

නමුදු ජී. ඒ. ටී, ලිවේරා මහතා හඳුන්වා දුන් කරාතේ සටන් කලාව වඩාත් සංවිධානාත්මක ව්‍යුහයක් තුළ ස්ථාපිත වීම මත පසු කලෙක එය ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් හට පුහුණු කිරීම තෙක් වර්ධනය වූ අතර පසුව එය ෂෝරින් රියු, ගෝජු රියු ආදී සම්ප්‍රදායන් ලෙස ද ප්‍රවර්ධනය විණි. එහෙත්, ඊට සාපේක්‍ෂව එවන් සමාජ සංවිධාන ව්‍යහයක් නොතිබුණු චීන අඩි කලාව ක්‍රමික පසුබෑමකට ලක් වූ බව ද මනාව නිරීක්ෂණය වෙයි.

“සමහරු හිතනවා මේකේ නම චීන අඩි හින්දා මේක චීනයෙන් ආපු එකක් කියලා; නමුත් ඒක සහමුලින් වැරදියි. මේක එහෙම්පිටින්ම දකුණු ඉන්දියානු සටන් ක්‍රමයක්. මේක දකුණු ඉන්දියාවේ “චෙන්නෙයි” කියන පලාතක් මුල් කරගෙන ඇතිවුණු හින්දා තමයි චෙන්නෙයි අඩි චීන අඩි වෙලා තියෙන්නේ” ගුණදාස මහතා කියයි.

“කොහොමත් මේ චීන අඩි සටන් කලාව ඒ කාලේ නඩුකාර උන්නාන්සේලා වගේ සමාජයේ බොහොම වැදගත් ප්‍රභූ අයත් ඉගෙන ගෙන තියනවා. තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට විනෝදයට වගේ රහසිගතව තමයි ඒ අය ඒවා ඉගෙන ගෙන තියෙන්නේ; නමුත් ඒ අය ගැන විස්තර ඒවා උගන්වපු වයිත්තියාර්ලවත් අපිට කිව්වේ නැහැ” මෙම චීන අඩි සටන් කලාවේ මෑත භාගය පිළිබඳව විස්තර කරන ගුණදාස මහතා වැඩිදුරටත් පවසනුයේ 1983 ජූලි කලබලය මුල් කොට සිදු වූ දෙමළ ජන සංහාරයත් සමඟ මේ වයිත්තියාර් වරුන් ගේ පෞද්ගලික දේපල විනාශ වීම මත ඔවුන් ගෙන් වැඩි පිරිසක් පසුව යළි ඉන්දියාවට සංක්‍රමණය වූ බව ය.

අතීතයේ කිසිදු හාහෝවක් නොතිබූ අංගම්පොර සටන් කලාව නැවත පුනර්ජීවනයට ලක් වනුයේ ප්‍රවීණ ටෙලි නාට්‍යකරු ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘දඩුබස්නාමානය’ ටෙලි නාට්‍යය මගින් ඊට කලාත්මක අධි ආරෝපණයක් ලබා දීම නිසා ය.

ඒ අනුව ඒ වන විටත් අක් මුල් සිදී ගොස් තිබූ අංගම්පොර කලාව නමින් වර්තමානයේ බිහි වී ඇත්තේ ගුණදාස මහතා කියන අන්දමට චීන අඩි සටන් ක්‍රමයේම එක් ස්වරූපයක් ය යන මතය ඉවත හෙළීමට අපට නොපුළුවන. එනිසාම එසේ නම් රාවණා රජු ද චීන අඩි කාරයකු විය යුතුය යන ඔහුගේ තර්කයට ද අපි අනියමින් එකඟ වෙමු.

අප රටේ ප්‍රධාන පෙළේ සමාගමක ඉංජිනේරු අංශයේ රැකියාවක් කළ ගුණදාස මහතාට වෘත්තීය අයිතීන් පිළිබඳ අරගලයක් මුල් කොට 1980 වසරේ රැකියාව අහිමි වී තිබේ.

ඉන්පසු විවිධාකාරයේ ව්‍යාපාර වලට සම්බන්ධ වී කටයුතු කළ ඔහු විවාහක එක් දරු පියෙකි. අද වන විට ඔහු කඩුවෙල, පහළ බෝමිරියේ, ලැනරෝල් මාවතේ පිහිටි තම එකම දියණිය ගේ නිවසේ පදිංචිව සිටියි.

සහන් සංකල්ප සිල්වා

අරුමැසි පුවත්