රෑ ජාමේ පොල් හිටවන්න නැකත් හදා දෙන ජ්‍යොතීර්වේදීනුත් ඉන්නවා – හේම ශ්‍රී අමරසිංහ

විවිධ සුබ කටයුතු ආරම්භ කිරීම පිණිස නැකැත් සාදවා ගැනීම අප ජන සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින පුරුද්දකි.අතීතයේ නැකත් සාදා ගැනීම පිණිස පමණක් යොදා ගත් භාරතීය ජ්‍යොතිෂය අනාවැකි කීමේ ශාස්ත්‍රයක් බවට පත් වූයේ ක්‍රි.ව පස් වන සියවසේ දී පමණ බටහිර ආසියානු බලපෑමෙනි. විවිධ සුබ කටයුතු ඇරඹීම පිණිස සුබ නැකැත් සාදවා ගැනීමට බොහෝ දෙනෙක් නිරතුරුවම අප වෙත ද පැමිණෙති. ඉන් ඇතැමුන් ඒ සමගම කරන එක්තරා ඉල්ලීමක් ද තිබේ. එනම් තමන්ට පහසු වේලාවක් මුල්කොට නැකතක් පිළියෙල කර දෙන ලෙස ය. එවිට මම ද ‘අපහසු වේලාවල නැකැත් පිළියෙල කර දෙන්නේ කවුරුන් ද?’ යි පුරුද්දට මෙන් ඔවුන්ගෙන් අසමි. එවිට ඒ අතරින් වැඩි පිරිසක් ප්‍රකාශ කොට සිටිනුයේ ඇතැම් ජ්‍යොතිර්වේදීන් තම ඥාති මිත්‍රාදීන්ගේ සුබ කටයුතු සඳහා දෙක, තුන, වැනි අලුයම් කාල සීමාවන් මුල් කොට පවා නැකැත් සකසා දී ඇති බවකි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කරන විමසුම්වලදී අප නැකැත් යෙදෙන අන්දමට කටයුතු කරනු විනා අපට අවශ්‍ය වේලාවට නැකැත් සැකසීම් ජ්‍යොතිෂයේ නොමැති බව ද එම ජ්‍යොතිර්වේදීන් තම ඥාති මිත්‍රාදීන් හා පවසා ඇති බව ද නැකැත් සාදා ගැනීම පිණිස ම’වෙත පැමිණෙන්නෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ දී පළමුව පැවසිය යුත්තක් තිබේ. එනම් ජ්‍යොතිර්වේදය යනු සමස්ත මානව වර්ගයාගේත් පොදුවේ විශ්වයේත් යහපැවැත්ම සඳහා යොදා ගත හැකි උතුම් වටිනා ශාස්ත්‍රයක් මිස ජනතාවට දඬුවම් පැනවීම් පිණිස සැකසුණු “දණ්ඩ නීති සංග්‍රහයක්” නොවන බව ය. ජ්‍යොතිර්වේදයේ සඳහන් වන අන්දමට දවසේ පැය විසි හතරෙන් ඕනෑම මොහොතක නැකතක් මතු කර ගත හැක. එහෙත්, එය එම නැකත භාවිත කරන තැනැත්තා හෝ පවුල කෙරෙහි කෙතරම් සාධනීය ලෙස බලපවත්වන්නේ ද? යන්න පිළිබඳ පූර්ව විනිශ්චයක් කොට එම අවශ්‍යතාව උපරිමයෙන් සංතෘප්ත වන නැකතක් සාදාදීම ජ්‍යොතිර්වේදියා සතු පරම වගකීමකි.

මිහි තුළ ඇති ඛනිජ සම්පත් සම්බන්ධයෙන් මිහි තලය මතුපිට සිට කිව හැකි විද්‍යා ශාස්ත්‍ර තිබේ. එහෙත්, ඒ විද්‍යා ශාස්ත්‍රයන්ට අනුව මිහි තලයෙන් අඩි දහස් ගණනක් ගැඹුරෙහි වටිනා ඛනිජ සම්පතක් ඇති බවට සාමාන්‍ය පුද්ගලයකු හට පවසා සිටීමේ තේරුමක් තිබේද? එවිට සිදු වන්නේ එම දැන ගැනීම මුල්කොට ඒ තැනැත්තා දැඩි මානසික අසහනයකට පත් වීම පමණි. මෙම නැකැත් සෑදීම ඇතුළු සියලු ජ්‍යොතිෂමය කරුණු අනාවරණය කිරීම් සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයම ය.

සුබ නැකැත් තැනීම සම්බන්ධ උපදෙස් ලබා දෙන ජ්‍යොතිෂ පතපොත බොහෝ ය.මේවා අතුරින් මුහුර්ත චින්තාමනිය, හෝරහරණය, වෘහත් සංහිතාව, මයිමතය ආදී ජ්‍යොතිෂ පතපොත අප රටේ ජ්‍යොතිර්වේදීහු බහුල ලෙස භාවිතයට ගනිති. මේ සියලු ජ්‍යොතිෂ පොත පත පැරණි භාරතීය සෛද්ධාන්තික ජ්‍යොතිර්වේදය හා සම්බන්ධ ය.එහෙත්, ඒවායින් ඉදිරිපත් කෙරෙන මතවාද අතරේ සමානතා මෙන්ම පරස්පරතා ද දක්නට ලැබේ. ඒ අනුව මෙම සුබ නැකැත් පිළියෙළ කිරීම ඒකීයත්වයකින් තොර බහු විධ ශාස්ත්‍රයක් බව පළමු කොටම කිව යුතු ය.
මෙම නැකැත් සම්පාදනයේ ආකාර දෙකක් පවතී. ඉන් පළමුවැන්න පොදු නැකැත්ය.යම් යම් සුබ කටයුතු සම්බන්ධයෙන් විශ්වයේ ඇති ගුප්ත ශක්ති පදාර්ථයන්ගේ හෙවත් නව ග්‍රහයන්ගේ සාධනීය බලපෑම් එල්ල වන දින, හෝරා, තිථි මත පදනම්ව සුබ නැකැත් ප්‍රකාශ කෙරේ. කෘෂිකර්මය, විද්‍යා ශාස්ත්‍ර, ව්‍යාපාර, ඛනිජ සම්පත් ගවේෂණය ආදී මෙකී නොකී කටයුතු උදෙසා ඒ නැකැත් සාමාන්‍ය වශයෙන් යොදා ගත හැක. එම නැකැත් පුවත්පත් ආදිය මගින් ද ඉදිරිපත් කෙරේ.

මෙම සුබ නැකැත්වල දෙවැනි ප්‍රභේදය හුදු හෙවත් කේවල නැකැත් ය. එම නැකත හා සම්බන්ධ කාරියේ නියුක්ත වන පුද්ගලයාගේ ජන්ම පත්‍රය පදනම් කර ගනිමින් සැකසෙන ඒ නැකත ඒ හා සම්බන්ධ කරුණ මුල් කොට ගෙන ද වෙනස් වනු ඇත. අදාළ නැතැත්තාගේ ජන්ම පත්‍රයේ සුබ ග්‍රහ පිහිටීම් සේම තත්කාල කේන්දරයේ සුබ ග්‍රහයන්ගේ ස්ථානගතවීම් ද මෙහි දී සලකා බැලෙනු ඇත. එමෙන්ම කාල හෝරා, පංචම කාල හෝරා,සූක්ෂ්ම කාල හෝරා යන නිර්ණායකයන් මත ඉංග්‍රීසි පැය සහ විනාඩි වශයෙන් ගණනය කොට එම නැකත ඉදිරිපත් කෙරෙනු ඇත.

නමුදු මෙහි දී දවසේ ඉංග්‍රීසි පැය විසි හතර තමන් සාදන නැකත ප්‍රයෝජනයට ගනු ලබන්නාට සහ ඔහු නියුක්ත වන කාරියට අනුව විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීම එම ජ්‍යොතිර්වේදියා සතු පරම වගකීමකි. අප රටේ බොහෝ ජ්‍යොතිර්වේදීන් “පොට වරද්දා ගෙන” යක්කු ගස් නගින වේලාවන් වශයෙන් ගැමි වහරේ පැවසෙන කාල හෝරාවන් තුළින් පවා නැකැත් මතු කර ගැනීමේ නව නැඹුරුවක් පළ කරනුයේ මෙම වගකීම පිළිබඳ නිසි අවබෝධයක් වත්මන් සමාජයේ බොහෝ දෙනකු තුළ නොමැති බැවිනි.

සුබ නැකැත් සම්පාදනයේ දී බොහෝ විට කේන්ද්‍රීය සාධකයක් වනුයේ සූර්යෝදය හෙවත් හිරු උදාව ය. සියලු මානව ක්‍රියාකාරකම් හිරු උදාව මත පදනම්ව සිදුවන බවට පවතින ජෛව පද්ධතියේ පිබිදුම නම් වන සොබාදහමේ නීතිය එකී සොබා දහම සමග පදනම් වූ ගැඹුරු ශාස්ත්‍රයක් හා දර්ශනයක් වන ජ්‍යොතිෂය විසින් ද ඉඳුරාම පිළිගෙන තිබීම ඊට හේතුව බව කිව යුතු ය. ඒ අනුව බව බෝග සිටුවීම, පතල් කැණීම, ගෙපළ කැපීම වැනි කටයුතු උදෙසා හිරු උදාවට පෙර නැකැත් සකසා දීම ප්‍රායෝගික කාරියක් ද නොවේ. දරුවන්ගේ විද්‍යා ශාස්ත්‍ර කටයුතු සඳහා හිරු උදාවට පෙර එළැඹෙන බ්‍රහ්ම මුහුර්තය නම් හෝරාව අතිශය යෝග්‍ය බව ජ්‍යොතිෂයට පදනම් වන වෛදික පිළිගැනීම ය.

මේ අතර දරුවන්ට අකුරු කියවන නැකැත් ද ඒ අලුයම් යාමයේම යොදා ගැනීමෙන් වැඩි ප්‍රතිඵල අත්වන බවට මතයක් තිබේ.අද පුවත් පත් ලිපි වල පවා “බ්‍රහ්ම මූර්තිය” ලෙස වැරදි අයුරින් සඳහන් කොට ඇති මෙය වෛදික මතයක් වුව ජ්‍යොතිෂය හා සෘජු සබැඳියාවක් ඇති දෙයක් නොවේ.සංස්කෘත බසින් මුහුර්තය ලෙස නම් කොට ඇත්තේ සිංහලයෙන් මොහොත යන වදනම ය.වෛදික නියමයට අනුව දවසකට මුහුර්ත තිහකි.ඒ අනුව මුහුර්තයක් යනු විනාඩි හතලිස් අටක කාල සීමාවකි.ඉන් හිරු උදාවට පැයකුත් විනාඩි තිස් හයකට පෙර ඇරඹෙන මුහුර්තය හිරු උදාවට විනාඩි හතලිස් එකකට පෙර අවසන් වෙයි.නිදසුනක් ලෙස හිරු උදාව පෙරවරු හයට නම් පෙරවරු හතරයි විසි හතරට ඇරඹෙන මුහුර්තය පෙරවරු පහයි දොලහට නිමා වේ.පුරාණ හින්දු ඉගැන්වීම් අනුව යෝග වැඩීම පිණිස වන දවසේ හොඳම මුහුර්තය බ්‍රහ්ම මුහුර්තයයි.එමෙන්ම එයත් නැකත් ශාස්ත්‍රයත් අතර සෘජු බැඳීමක් ද නැත සරල උපමාවකින් දැක්වුව හොත් මේ දෙක සතියේ දවස් පහ සහ ඒ සඳහා යෙදෙන මාසයේ දින මෙනි.සුබ නැකැත් සම්පාදනයේ දී බොහෝ විට කේන්ද්‍රීය සාධකය වනුයේ සූර්යෝදය හෙවත් හිරු උදාව වුවද මානව අවශ්‍යතා මත හෝරා කිහිපයකට කලින් නැකත් සකසා දීමට ද ජ්‍යොතිර්වේදීනට සිදු වන අවස්ථා තිබේ.විශේෂයෙන් විවාහ මංගල්‍ය ආදී කටයුතු වල දී සේවාලාභියාට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මඟ හැරවීමට කටයුතු යෙදීම ද වගකීම් සහගත ජ්‍යොතිර්වේදියකු සතු යුතුකමකි.එමෙන්ම සුබ මොහොතින් යමක් ආරම්භ කිරීම සහ ඉන් පසුව එය නිරන්තරව පවත්වාගෙන යාම එකිනෙකට වෙනස් ය. ඒ අනුව ‘රෑ කඩයක් ’ විවෘත කිරීම සම්බන්ධ නැකතක් තමන්ගේ පහසුව තකා උදය කාලයකින් හෝ මතු කරවාගත හැකි ය.

විපත්, ප්‍රත්‍යාරි, වධ ආදී අසුබ නැකැත් දස මහා දෝෂ, අසුබ හෝරා, විෂ පංචමය,රාහු කාලය, මරු සිටින දිසාව, පක්ෂියා නිදි, මර අවස්ථා, ශරීරය සම්බන්ධව නම් විෂ අවස්ථා අතහැරීම මෙම නැකැත් සෑදීමේ මූලික සිද්ධාන්ත වේ. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රය හා සැසඳීමේදී ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කොට ඒ ඒ පුද්ගලයාට වඩාත් පහසු, සාදනීය නැකතක් සකසා දීමට ජ්‍යොතිෂය පිළිබඳ සෛද්ධාන්තික දැනුමක්,අත්දැකීම්, පළපුරුදුකම් හිමි ප්‍රවීණ ජ්‍යොතිර්වේදීහු පසුබට නොවෙති.එහෙත් ඉතා කණගාටුවෙන් වුව කිව යුත්තේ පොල් පැල සිටුවීම සඳහා පවා රෑ ජාමයෙන් නැකත් මතු කර දෙන ජ්‍යොතිර්වේදීන් ද අද සමාජයේ කොතෙකුත් හිඳින බවකි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට