රිදියගම සිංහ පැටව් දෙදෙනෙක් දොරට වඩිති;ෆේස් බුක් මඟින් ඔවුන්ට නම් තබන්න දරුවන්ට ඇරයුම්

රිදියගම සෆාරි උද්‍යානයේ හිඳින ‘සීනා‘ සිංහ ධේනුව බිහි කළ සිංහ පැටවුන් දෙදෙනකු ඊයේ (10) සිට මහජන ප්‍රදර්ශනයට රඳවා තිබේ.මොවුන් මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු බව ද වාර්තා වේ. අගෝස්තු මස 10 දිනට යෙදුණු ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් ඊයේ සිට මේ පැටවුන් දවසේ සීමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට එක් කළ බව රිදියගම සත්ත්වෝද්‍යානයේ භාරකරු;සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කීය.‘සීනා’ සිංහ ධේනුව විසින් අවස්ථා තුනකදී පැටවුන්නව දෙනකු බිහි කර තිබේ. ඒ අනුව අද වන විට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිව, මේ වන විට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව දහ අටකි. මේ අතර ‘ලාරා‘ නැමති සිංහ ධේනුව විසින් බිහි කළ පළමු සිංහ පැටියා වන ‘ඩෝරා‘ නමැති සිංහ පැටියා බොහෝ දෙනකුගේ ආදරය දිනාගැනීමට සමත් ව සිටියි. මේ සිංහ පැටවුන් දෙදෙනාට මේ වන තෙක් නම් තැබීමක් කර නැති අතර, ඔවුන්ට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මඟින් දරුවන්ට අවස්ථාව සලසා දී තිබෙන බවත්, හොඳම නම් යෝජනා කරන කීපදෙනකුට ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවත් හේමන්ත සමරසේකර මහතා කියයි.

කාලීන පුවත්