රිදී තිරයට නො ආ සැබෑම සුහද කොකා

මීට මඳ කලකට ඉහතදී ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යගේ අධ්‍යක්ෂණයෙන් යුතු “සුහද කොකා” නමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරිණි. එම චිත්‍රපටයෙන් කතා කරනු ලැබුවේ සුහද වුවත්, සැබෑ කොකකු ගැන නොවේ.ජනතාවට කොකා පෙන්වන දේශපාලඥයන් ගැන ය. නමුත් මේ කතා කරන්නට යන්නේ සැබෑ සුහද කොකෙකු පිළිබඳව ය. මිනිසුන්ට සේම සෙසු සතුන් කා සමගත් සුහදත්වයෙන් සහයෝගයෙන් ජීවත් වෙන මේ සුහද කොකා ගේ සැබෑ නම “ගව කොකා” ය.

කොකා අපට නුපුරුදු පක්ෂියකු නොවේ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කොක්කු ජීවත් වෙති. කොකුන් සම්බන්ධ ළමා කතන්දර ද බොහෝ ය.

වැඩිපුරම අප කොකුන් දකින්නේ ජලාශ්‍රිත පරිසරවල ය. නමුත් ඔබ හොඳින් විමසා බැලුවොත් අපේ රටේ බොහෝ විට ගවයකු හෝ මී හරකෙකු සිටින තැනක අනිවාර්යයෙන්ම සුදු පාට කොකෙකු ද සිටිනු දැකිය හැකි ය. අප මේ කතා කරන්නේ ඒ කොකා ගැන ය. එනම් ගව කොකා ය.

අපේ රටේ සුදු කොකුන් විශේෂ හතරක් වේ. ගව කොකා ද අයත් වන්නේ මේ සුදු කොකුන් ගණයට ය. නමුත් අනෙක් කොකුන්ට සාපේක්ෂව ගව කොකා සිරුරින් කුඩා ය.

ඉංග්‍රීසි බසින් Cattle Egret,East cattle Egret යන නම්වලින් හඳුන්වන ගව කොකාගේ විද්‍යාත්මක නාමය Bubulcus coromandus වේ. නිතර ගවයන් ඇසුරේ සිටීම නිසා මෙම කොකාට ඒ නම පටබැඳී ඇත.

උගේ ශරීර ප්‍රමාණය දළ වශයෙන් සෙන්ටි මීටර් පනහක් පමණ වේ. හිස ත්‍රිකෝණාකාර ස්වභාවයෙන් යුතු ය. අනෙක් කොකුන්ට වඩා ගව කොකාගේ ගෙල කෙටි ය.

ගව කොකා දීප්තිමත් සුදු පැහැයෙන් යුතු වුවත් උගේ විශේෂත්වයක් ප්‍රජනන සමයේ දී දැකිය හැකි ය. එම කාලයට ගැහැනු සතාගේ මෙන්ම පිරිමි සතාගේ ද රන් හෝ දුඹුරු පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුතු පිහාටු ඔවුන්ගේ ගෙල, පිට සහ ළැම ප්‍රදේශවලත් දැකිය හැකි වෙයි. සාමාන්‍යයෙන් කහ පැහැයෙන් යුතු උන්ගේ හොටය ද මේ කාලයට තැඹිලි වර්ණයට හැරී, කළු පැහැ දෙපාවල දණහිසින් උඩ කොටස රෝස පැහැයට හැරෙයි.

ප්‍රජනන සමය එළඹෙන කාලයට වෙනත් බොහෝ කුරුල්ලන් මෙන් මොවුහු ද කැදලි සාදති. විශාල ගසක් හෝ ගස් රාශියකින් පිරි ගොමුවක් තෝරා ගන්නා ගව කොකා කැදලි සාදන්නේ කෝටු වලිනි. ඉතාමත් සහ ජීවනයෙන් යුතුව ඕනෑම සතකු සමඟ සුහදව වාසය කිරීමේ හැකියාවක් ඇති ගව කොකා තම කැදැල්ල සාදන්නේ එම ගහේ වාසය කරන අනෙකුත් කුරුල්ලන්ට බාධාවක් නොවන අයුරිනි. මෙම කාර්යයට ගැහැනු සතාට පිරිමි සතාගෙන් නොමසුරු උපකාර ලැබේ. ගැහැනු සතා බිත්තර දැමූ පසු බිත්තර රැකීම, පැටවුන් කටුව බිඳ ගෙන පිටතට ආ කල පැටවුන් ඉගිල යන තුරු ඔවුන් රැකීම, පැටවුන්ට කෑම සැපයීම යන මේ සියලු වගකීම් ගැහැනු සතා මෙන්ම පිරිමි සතා ද සමව දරයි.

ගව කොකාගේ බිත්තර නිල් පැහැයට හුරු සුදු පැහැයකින් යුතු ය. එක වරකට බිත්තර තුනක්, පහක් වැනි ප්‍රමාණයක් දමනු ඇත . බිත්තරයෙන් එළියට පැමිණි මුල් කාලයේදී ගව කොක් පැටවා ගේ පිහාටු දිස්වන්නේ සුදු පැහැති රෝම ආකාරයට ය.

අප රටේ පහත රට තෙත් කලාපවලත්, පහළ කඳුකරයේ මෙන්ම ඉහළ කඳුකරය පුරාත් ගව කොකා ගේ ව්‍යාප්තිය දැකිය හැකිය. සාමාන්‍යයෙන් කොකුන් දැකිය හැකි වන්නේ වගුරු බිම්, ජලාශ්‍රිත තෙත්බිම් ඇසුරේ වුවත් එවැනි ස්ථානවල මෙන්ම තණ බිම් වලත් දැකිය හැකි ගව කොකා, ගවයන් සහ මී ගවයන් ඇසුරේ හිඳීම අතීතයේ පටන් පැවත ආ දෙයකි. එසේම අලි ඇතුන් මුවන් වැනි සතුන් ඇසුරේ පවා ගව කොකා දකින්නට පුළුවන.

මෙවැනි සතුන්ගේ සිරුරේ හිඳින ලේ උරා බොන කෘමීන්, මැස්සන් වැනි කුඩා සතුන් ගව කොකා ආහාරයට ගනියි. ගොඩ මඩ ඉඩම් හාන විට, සීසාන විට එම ට්‍රැක්ටර් පසුපස යමින් පසෙන් මතුපිටට එන පණුවන් වැනි සතුන් අහුලා කන්නට ගව කොකා ඉතාමත් කැමති ය. මෙලෙස මිනිසුන් සමීපයේ සිටින්නට මේ සතුන් බියක් දක්වන්නේ නැත. ඒ අනුව ඔවුන් මිනිසුන්ට යම් හීලෑ කමක් දක්වන බව පෙනේ.

එපමණක් නොව ගව කොකා ඉතාමත් සමාජශීලී, සහජීවනයෙන් යුතු සතෙකි. නාගරික කැළි කසළ බිම් ආශ්‍රිතව ගව කොක්කු විශාල වශයෙන් ව්‍යාප්තව හිඳිති. එවැනි ස්ථානවල පණුවන් මැස්සන්, කෘමීන්, පත්තෑයන් ආදී වූ කුඩා සතුන් බොහෝ සෙයින් සිටින නිසා ගව කොකුන්ට එවැනි ස්ථානවල ආහාර හිඟයක් නොවීම ඔවුන්ගේ මේ සුලභ ව්‍යාප්තියට හේතුව යි.

වසරක් පාසා තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන් සම්බන්ධයෙන් කරනු ලබන සමීක්ෂණවල දී ගව කොකාගේ ව්‍යාප්තිය වැඩි වීම නිසි ලෙස පිළිබිඹු නොවීමට හේතුව උන් දැන් බහුල ලෙසම ව්‍යාප්ත වී සිටින්නේ මෙම කැලි කසළ බිම්වල නිසා ය. කැදලි තැනීමේදී මෙන්ම කුමන ස්ථානයක් ඇසුරේ සිටියත් වෙනත් ඕනෑම සතකු සමග ඉතාම සහයෝගයෙන් සුහදව සිටින්නට ගව කොකාට පුළුවන. මිනිසාට පවා ඌ ඉතාමත් හුරු පුරුදු බවක් දක්වන්නේ එනිසා ය.

සාමාන්‍යයෙන් පරිසරයේ සිදුවන වෙනස්කම් බොහෝ පක්ෂි විශේෂයන්හි විනාශය පිණිස හේතු වී තිබුණත්, ඒ වෙනස්කම් ගව කොකාට ආශිර්වාදයක් වී තිබෙන බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි. එසේම මොවුන්ගේ ව්‍යාප්තිය කොතෙක් ඉහළ ගියත් එය සෙසු සතුන්ට ආක්‍රමණකාරී පැවැත්මක් ලෙස බලපා නොමැත.

කෘෂි බිම් ඇසුරේ ගව කොක් ගහණය ඉහළ යාම තුළින් ද ඔවුන් පලිබෝධකයන් විනාශ කිරීමට උපකාරී වන නිසා මෙම සුහදශීලී ගව කොකාගෙන් මිනිසාට ද විශාල සේවයක් වන බව පැවසිය යුතු ය.

හරිත දනව්ව