රිය අනතුරු සඳහාත් බදු ගෙවන්නට යෝජනා වූ අය වැයෙන් අනතුරුව

මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අය වැය ලේඛනය පසුගිය සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙය වත්මන් රජයේ දෙවෙනි අය වැය ලේඛනයයි. අය වැය ලේඛනයක් එන විට ඉතිහාසය පුරාම ජනතාව දෑස් දල්වා සිටින්නේ තමන්ට ලැබෙන්නේ කුමක් ද? කියාය. මෙවර අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනතාවට දෙනවා වෙනුවට ගන්න වෙන බව මුදල් ඇමතිවරයා මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

මුදල් ඇමතිවරයා අය වැයට ප්‍රථම කියූ ලෙසම මෙවර කර ඇත්තේ ද ජනතාවට දෙනවා වෙනුවට ජනතාවගෙන් ගන්නා අය වැයක් ඉදිරිපත් කිරීම ය. ආර්ථික විශේෂඥයන් සඳහන් කරන පරිදි මෙම අය වැයෙන් වැඩිම පීඩාව එල්ල වෙන්නේ මධ්‍යම පන්තියට ය.

ඊට හොඳම උදාහරණයක් නම් රිය අනතුරු බද්ද ය. එනම් රිය අනතුරක් වූ විට රජයට ගවීමක් කළ යුතු ය. එය කොපමණ මුදලක් දැයි තවමත් සඳහන් කර නැත. නමුත් අය වැය යෝජනා ක්‍රියාත්මක වන ජනවාරි 01 දා සිට මෙම ගෙවීම කිරීමට ජනතාවට සිදුවනු ඇත. මුදල් ඇමතිවරයා කීවේ එය වාහන රක්ෂණය හරහා ලබා ගන්නා බව ය. එසේම රටේ අනතුරු අවම කිරීම වෙනුවෙන් මෙම අය කිරීම කරන බවද ඔහු කීවේය.

රජය රක්ෂණ සමාගම් හරහා මෙම මුදල ලබා ගනිද්දී රක්ෂණ සමාගම් එය අනිවාර්යයෙන්ම ජනතාවගෙන් අය කර ගනු ඇත. මන්ද මෙවර අය වැයෙන් රක්ෂණ සමාගම් මත ද බදු බර පටවා ඇති බැවිනි. රටේ දැනට භාවිතා වන වාහන සංඛ්‍යවෙන් වැඩිම වාහන ප්‍රමාණයක් පරිහරණය කරන්නේ මධ්‍යම පන්තිය ය. සාමාන්‍ය මධ්‍යම පන්තිය කාර්, වෑන් භාවිතා කරද්දී පහළ මධ්‍යම පන්තිය යතුරු පැදි හා ත්‍රීරෝද රථ භාවිතා කරයි.

එසේ නම් අප ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අය වැයෙන් පීඩාවට පත්ව ඇත්තේ පොදු මධ්‍යම පන්තිය ය. මන්ද යතුරු පැදියේ සිට කාර් රථය දක්වා වාහන භාවිතා කරන්නේ මධ්‍යම පන්තිය වීම නිසාය. මේ අය වැයෙන් මධ්‍යම පන්තිය පීඩාවට පත් වන එක කාරණයක් පමණකි.

අනතුරක් වූ පසු රජයට අනතුර කරන හෝ අනතුරට ලක්වූ වාහන දෙකක් වේ නම් එම පුද්ගලයන් දෙදෙනාම රජයට ගෙවීමක් කළ යුතු ය. අනතුර ඉංග්‍රිසි බසින් හඳුන්වන්නේ ඇක්සිඩන්ට් ලෙසය. එහි සිංහල තේරුම අනපේක්ෂිත යන්න ය. එසේම අනතුරක් කිසිදු කෙනෙකු සිතා මතා කරන්නේ නැත. ඒ සියල්ල සිදුවන්නේ අහඹු ලෙසය. එසේ සිතා මතා නොකරන දෙයකින් මෙලස රජයට යම් මුදලක් අය කර ගැනීම සාධාරණ නැත.ඊට හේතුව වැරදි කිරීම සහ වැරදි සිදුවීම එකක් නොවන බැවිනි.ඊට අමතරව අනතුරක් වළක්වා නොගැනීම වෙනුවෙන් රජය වෙනම දඩ මුදලක් අය කරගන්නා බව ද අප අමතක නොකළයුතුය.

රජය අනතුරකින් දඩ මුදලට අමතර බදු මුදලක් අය කර ගැනීමට තීරණය කරද්දී අනතුරේ ස්වභාවය තීරණය කරන්නේ කවුද? යන මතය ද අදාළ වේ. එය දපොලිසියට භාරදෙනවා සැකයක් නොමැත. පොලිස් නිලධාරින් අනතුර අනුව ගෙවිය යුතු මුදල තීරණය කරනු ඇත. මෙයින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකිය. බොහෝ දෙනෙක් පොලිසියට අල්ලසක් දී පිටත්ව යාමට උත්සාහ කිරීම ද නොවැළැක්විය හැකි කාරණයකි. මෙයින් රජය අපේක්ෂා කරන බදු මුදල සම්පූර්ණ වශයෙන් ලැබේවිද? යන ගැටළුවද මතුවේ.

සුළු අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේ යතුරු පැදි හා ත්‍රි රෝද රථ වලිනි. ඒ අනුව වැඩිම ගෙවීමක් කිරීමට සිදුවන්නේ ද මෙම පිරිසට ය. අනෙක් පාර්ශවය බස් රථය. බස් රියදුරන් අතින් වන අනතුරු ද ඉහළ ය. එය බස් ගාස්තු ඉහළ නැංවීමට අනාගතයේ හේතුවක් වනවා නොඅනුමාන ය. මන්ද බස් රථ හිමියන්ට මෙම මුදල ගෙවීමට සිදුවූ පසු ඔවුනට එය අය කර ගැනීමට ඇති එකම මාර්ගය බස් ගාස්තු වීම නිසා ය.

අනතුරු වෙනුවෙන් දැනට පවතින දඩ ගාස්තුද ඉහළ දැමීමට යෝජනා වී තිබේ. ඒ අනුව සෑම දඩයක්ම රුපියල් දහස ඉක්මවා අය කිරීමට තීන්දුවී ඇත. අය වැය යන අතරවාරයේදී එම දඩ ගාස්තු ඉහළ නැංවීම ද අනුමත වීමට නියමිත ය. මේ සියල්ල ගත් කළ මෙවර අය වැය යනු මධ්‍යම පන්තියෙන් මුදල් අය කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැයක් බව සැබෑමක්ම ය.

අය වැයෙන් පැහැදිලි වන තවත් කරණක් වනුයේ ලබන වසර ජනතාවට ඉතා අසීරු වසරක් වන බව ය. ආර්ථික පීඩනය වැඩි වන වසරක් බව ය. රාජ්‍ය සේවකයෝ යම් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළෝය. නමුත් මෙවර වැටුප් වැඩිවීම වෙනුවට සේවය කිරීමට ඇති කාලය අවුරුදු 65 දක්වා ඉහළ දැම්මේය.

“සෞභාග්‍යයේ දැක්ම” ජනතාවගේ ඇස් පනාපිටම දැක ගන්නට ලැබෙමින් පවතියි. මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව හතර දෙනෙකුගෙන් යුතු පවුලකට ආහාර වෙනුවෙන් මසකට වැය කිරීීමට සිදුව ඇති මුදල රුපියල් 54,000 ට අධික ය. වියදම වැඩිවූවාට සාපෙක්ෂව කිසිදු පුද්ගලයෙකුගේ ආදායම් ඉහළ ගොස් නැත.රටේ ආර්ථිකයට සේම ගෘහමය ආර්ථිකයට ද වැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් අය පක්ෂය පහළ යන විට ඇතිවන ගැටළු අර්බුද වල දුර දිග සහ පරිමාව කිසිවකුටත් කියා නිම කළ නොහැක.

ලසන්ත වීරකුලසූරිය

 

 

එතෙර - මෙතෙර