ලක්‍ෂ 85 ක් වටිනා වට්ටක්කා ගෙඩියක්

wattakka

වට්ටක්කා ගෙඩියක් වෙනුවෙන් එය වගා කළ ගොවියා රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදලක් දිනා ගැනීමට සමත්ව ඇති බව පැවසුවහොත් ඒ කෙසේදැයි ඔබ තුළ කුතුහලයක් ඇති විය හැකියි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ යි.

ලෝකයේ බොහෝ නගරවල වගේම මෙම නගරයේත් සෑම වසරකම වට්ටකක්කා තරගයක් පැවැත්වෙනවා. එහි දී කරනු ලබන්නේ වසරේ විශාලම, බරින් වැඩිම වට්ටක්කා ගෙඩිය තේරීමයි. රටේ විවිධ ප්‍රදේශවල ගොවීන් තමුන් විසින් වගා කරන ලද යෝධ වට්ටක්කා ගෙඩි රැගෙන මෙම තරගයට සහභාගි වීමට පැමිණෙනවා. මේ වසරේත් එවැනි අපූරු වට්ටක්කා යෝධයන් රැසක් මෙම අපූරු තරගයට සහභාගි වුණා.

කෙසේ හෝ වේවා, මෙවර මෙම තරගයෙන් ජය ගත්තේ ට්‍රැවිස් ගියෙන්ගර් නැමැති ගොවියකු විසින් ඉදිරිපත් කරන ලද වට්ටක්කා ගෙඩියක්. ගියෙන්ගර් කෘෂිකර්ම ගුරුවරයකු බවත් සඳහන් වෙනවා. ඉතා විශාල ගෙඩියක් වූ මෙම වට්ටක්කාවෙහි බර රාත්තල් 2,560 ක්. එය සාමාන්‍ය රයිනෝසිරස් කෙනෙකුගේ බරටත් වඩා බරින් වැඩි වට්ටක්කා ගෙඩියක් බවයි පැවසෙන්නේ. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ට්‍රැවිස්ට ඇමරිකානු ඩොලර් 23,000 ක (ලංකා රුපියල් ලක්ෂ 85 ක පමණ) මුදල් ත්‍යාගයක් හිමිව තිබුණා. ට්‍රැවිස් තමාගේ වට්ටක්කා යෝධයා නම් කර තිබුණේ Maverick යන නමින්. ඇමරිකාවෙන් වාර්තා වූ බරින් වැඩිම වට්ටක්කා ගෙඩිය ලෙසත් Maverick මේ වනවිට වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ට්‍රැවිස් මෙම තරගයට සහභාගි වීමට පැමිණ තිබුණේ මිනෙසෝටා ප්‍රාන්තයේ සිටයි. ඒ සඳහා ඔහුට සැතපුම් 1,800 ක පමණ දුරක් ගෙවාගෙන එන්නට සිදු වුණා. ඔහු පවසා තිබුණේ මේ තරම් විශාල වට්ටක්කා ගෙඩියකුත් රැගෙන එතරම් දුරක් පැමිණීම ඉතා දුෂ්කර කටයුත්තක් බවයි. එය දරුණු හිම කුණාටුවක් මැද වාහනයක් පදවාගෙන එනවාටත් වඩා අමාරු වැඩක් බව ට්‍රැවිස් සඳහන් කර තිබුණා. මෙම ගමන සඳහා ඔහුට පැය 35 කට වැඩි කාලයක් ගතව තිබූ බවත් පැවසෙනවා.

මේ තරම් විශාල වට්ටක්කා ගෙඩියක් හැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එය විශාල මහන්සියකින්, පරෙස්සමින් කළ යුත්තක් වන අතර ඒ සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ විශේෂ වට්ටක්කා බීජ බව සඳහන්. ට්‍රැවිස්ගේ වට්ටක්කා ගෙඩිය හටගෙන තිබුණේ ගිනස් වාර්තාවක් තැබූ වට්ටක්කා ගෙඩියක වූ බීජයකින් ඇති වූ වට්ටක්කා වැලකයි. ගිනස් වාර්තාව පිහිටු වූ එම වට්ටක්කා ගෙඩිය රාත්තල් 2,700 කට වඩා බර වූ බව පැවසෙනවා. එය වගා කර තිබුණේ ඉතාලි ජාතික ගොවියෙක්.

එවැනි බීජයක් යොදා ගත්තා වුවත් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් තවත් සාධක කිහිපයක් සම්පූර්ණ විය යුතුයි. වට්ටක්කා ගෙඩිය සඳහා ප්‍රමාණවත් ඉඩකඩක්, ඊට හානි කළ හැකි කෘමීන්ගෙන් තොර පරිසරයක්, සාරවත් පසක් ඒ අතරින් විශේෂයි. වට්ටක්කා ගෙඩිය විශාල වීමට පසේ සාරවත් බව තුළින් ලැබෙන පෝෂණය තීරණාත්මක ලෙස බලපානවා.

මෙහිදී වට්ටක්කාවට තුවාල කිසිවක් සිදු නොවන සේ රැකබලා ගැනීමත් ඉතා වැදගත්. එලෙස තුවාල වූ වට්ටක්කා තරගයෙන් ඉවත් කරනු ලබන නිසයි ඒ.

මෙම වට්ටක්කා ගෙඩිය හට ගැනීමට පෙර එහි මල එක්තරා අකරතැබ්බකට මුහුණ දුන් බවත් ට්‍රැවිස් පවසා තිබුණා. ඒ රාත්තල් පහක් පමණ බර කසල බාල්දියක් වැරදීමකින් ඒ මත ඇද වැටීම නිසයි. ‘ඒ නිසා මෙම මලෙන් වට්ටක්කා ගෙඩියක් හට ගනු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් එයා තමාවම සනීප කරගෙන කොහොම හරි නැවත ගොඩ ආවා’ ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්