“රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇයි?” මෙය අද සමාජයේ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවකි. ඒයට හේතුව මේ වන විට ලංකාව තුළ ඇතිව තිබෙන දැඩි ඉන්ධන හිඟය හා ඩොලර් හිඟයයි. අප රුසියාව වෙත යොමු වෙන්නේ මේ කාරණය පාදක කරගෙන ය. රුසියාවටත් වඩා මෙම කාරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ විමල් වීරවංශ ප්රමුඛ කණ්ඩායම බව පෙනෙයි.
ඔවුහු දිගින් දිගටම රුසියාවෙන් අඩුමිලට ඉන්ධන ගත හැකි බව කියති. එහෙත්, ලංකාව මේ වන විට ඉන්ධන ගැනීම වෙනුවෙන් ඉන්දියාවෙන් ණයක් ඉල්ලා තිබේ. මින් පෙර ද ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙරටට ඉන්ධන ලබා දුන්නේය.
රුසියාව මේ වන විට යුක්රේනය සමඟ යුද්ධයකට පැටලී සිටියි. එනිසා ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇත. මෙම යුද්ධය හේතු කොට ගෙන රුසියාවෙන් ඉන්ධන හා ගෑස් මිලදී ගැනීම යුරෝපය හා ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ඇමරිකාව විසින් රුසියාවට විරුද්ධව සම්බාධක ද පනවා තිබේ. මෙම කාරණය නිසා රුසියාවට ඩොලර් ගණුදෙනු කිරීමට පවා නොහැකිව ඇත.
බටහිර කඳවුර රුසියාව ප්‍රතික්ෂේප කරද්දී ඉන්දියාව හා චීනය රුසියාවේ ඉන්ධන හා ගෑස් වෙළෙඳ පොලට පිවිසුණි.චීනය රුසියාවේ ප්‍රධන ඉන්ධන ගැණුම්කරු බවට පත්ව සිටියි. චීනය හා රුසියාව එක කඳවුරකට එද්දී බටහිර කඳවුරේ සිටි ඉන්දියාව ද බලශක්තියේ වාසිය වෙනුවෙන් රුසියාව සමඟ සම්බන්ධ වී සිටියි.
ශ්‍රී ලංකාව යනු භූගෝලීය වශයෙන් ඉන්දියාව හා චීනය ආසන්නයේ සිටින රටකි. මෙම කඳවුරු දෙකේ හැසිරීම මත මෙරට ගමන් මාර්ගය තීරණය වන්නේය. චීනයත් ඉන්දියාවත් කටයුතු කරන්නේ ඔවුන්ගේ දේශපාලන හා ආර්ථික වාසිය තකා මිස ලංකාවට ආදරයෙන් නොවේ.ඉන්දියානු විදේශ ලේකම් වරයා කියන”දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්ව කතා”හුදු ප්රලාපයන් ය. එහෙත්, මෙම කඳවුරු දෙක තරහ කර ගනිමින් ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් යාමේ හැකියාවක් ද නොමැත.
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක මුහුණ දී සිටීම මත අපට ඉන්දියාවෙ හා චීනයේ සහයෝගය අවශ්‍යව තිබේ. ඊට අමතරව ඇමරිකාව, ජපානය හා යුරෝපයේ සහයෝගය ද අවශ්‍ය ය. ඔවුන්ගේ මූල්‍යමය ආධාරයන් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධික්ෂණය යටතේ ඉදිරියට යන රටක් විය යුතු ය.
එම නිසා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලා ඇති අතර ඔවුන්ගේ කොන්දේසි යටතේ ණය ලැබුණහොත් මූල්‍ය විනයක් සහිත රටක් ලෙස සලකා අනෙකුත් රටවල් ණය දීමට ඉදිරිපත් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි දායකත්වයක් ඇත්තේ ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවලටය. ඔවුනට මූල්‍ය අරමුදලට අනියම් බලපෑම් කිරීමේ හැකියාව පවතියි. ශ්‍රී ලංකාව රුසියාව දෙසට යොමු වෙනවාට අකමැති වන්නේ ද මෙම රටවල්ය.
එසේම අප රුසියාවෙන් ඉන්ධන ලබා ගන්නවාට ඉන්දියාව ද මනාප නැත. එහෙත්, අප රුසියාවෙන් ඉන්ධන ලබා ගන්නවාට චීනයේ අකමැත්තක් නොමැත.නමුත් ඇමරිකාව හා ඉන්දියාව දෙසට ලංකාව නැඹුරු වනවාට චීනය කැමැති නැත. ඒසේ නම් ලංකාවට ඉදිරියට යා හැක්කේ මේ සියළු රටවල් අමනාප කරගෙන නොසිටින තාක්ය.
මොවුන්ගෙන් කෙනෙකු හෝ තරහ කර ගැනීම ලංකාවට අවාසි සහගත බැවින් ඔවුන් සියළු දෙනා හා එක්ව යන තාක් කල් ශ්‍රී ලංකාව ආරක්ෂිතය. රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ලංකාවට ඔවුන් සමඟ ගිවිසුම් ගත වීමට සිදුවේ. ඒ් මන්ද ලංකාවට රුසියාවට ගෙවීම වෙනුවෙන් රූබල් නොමැතිවීම නිසා ය.
එහෙත්, ඉන්දියාව රූබල් ගෙවා රුසියාවෙන් තෙල් මිලදී ගනියි. ලංකාවට එම හැකියාව නැත. එනිසා අපට රුසියාව සමඟ පොදු ගිවිසුමකට යාමට සිදුවේ.එවිට එම ගිවිසුම කෙරෙහි ඉන්දියාව,ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවල් දැඩි අවධානයක් යොමු කරනු ඇත.මක් නිසා ද එය භූ දේශපාලනය හා සබැඳි කරුණක් විය හැකි බැවිනි.එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනියමෙන් බලපෑම් එල්ල කිරීමේ හැකියාව ඔවුන්ට උදාවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය නොදී සිටිය නොහැකි වුවත් කොන්දේසි දමමින් ණය දීම ප්‍රමාද කළ හැකිය.
1970 – 1977 කාලය තුළ ශ්‍රී ලංකාව චීනය හා රුසියාව යන කඳවුරු දෙක සමඟ එකතු විය. ඉන්දියාව ද එම අවස්ථාවේ සිටියේ චීන කඳවුරේ ය. රුසියාව චීනය එදා අපට උපකාර කළේය. අපේ කර්මාන්ත වෙනුවෙන් සක්‍රියව මැදිහත් වූයේ අවංකවමය.ඒ අප ද ඔහවුන්ගේ දේශපාලන කඳවුර තුළට එක් කර ගැනීමට ය. නමුත් එදා පැවැති සමාජවාදී රුසියාව හෝ කොමියුනිස්ට චීනය නැත. අද පවතින්නේ ආර්ථික බලකාමය හා යුද ශක්තිය මත ඉදිරියට පැමිණ ලෝක බලවතා වීමට කැස කවන රටවල් දෙකකි.
එහිදි අප වැනි කුඩා රටවල් සිරවන්නේ බල කඳවුරුවල ගැටුම්වලට මැදිහත් වීමෙනි. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම අපට මේ අවස්ථාවේ ආර්ථික වශයෙන් ඉතාම වාසිසහගත විය හැකිය. එහෙත් එහි අනාගත ප්‍රතිඵල අවාසි විය හැක්කේ අප කුඩා රටක් වීම නිසා ය. බටහිර කඳවුරේ අවශ්‍යතාවය මත කටයුතු කිරීම නිසා යුක්රේනය අද රුසියාව හා යුද්ධයකට පැටලී සිටියි. යුක්රේනයේ ආර්ථිකය සේම තිරිගු අස්වැන්නත් විනාශ වෙමින් තිබේ. බටහිර කඳවුර යුක්රේනයට උපකාර කළත් එය යුද්ධය අවසන් වීමට හේතුවක් වී නැත. මේ නිසා යුක්රේනය ආපස්සට යමින් තිබේ.
අපට වඩා විසි තිස් ගුණයක් පමණ විශාල යුක්රේනයේ ත්ත්වය එසේ නම් භූගෝලීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් කුඩා රටකට කෙබඳු ඉරණමක් අත්වේදැයි සිතාගැනීමට පවා නොහැකිය. මේ සියල්ල රුසියාවෙන් ඉන්ධන ගන්නා ලෙස බලපෑම් කරන කණ්ඩායම් නොදන්නවා විය නොහැකිය. එහෙත්, ඔවුන් කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවය මත ජනතාව මූලා කොට තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත මෙය කරන බව ඇතැමෙක් කියති.
එක් කඳවුරක් වෙනුවෙන් ඉදිරියට පැන කටයුතු කිරීමට යාමෙන් විනාශ වී යන්නේ ලංකාවේ අනාගතයයි. එසේ වුවහොත් ජාතියක් වශයෙන් අපට සිදු වන්නේ ලාබ තෙල් වලින් ගිනි තබා ගැනීමටය.
ලසන්ත වීරකුලසූරිය