ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ


කොයිතරම් දැඩි නීති තිබුණත් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අඩුවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන ප්‍රවෘත්තිවලට වඩා ප්‍රසිද්ධ නොවන සිදුවීම් වැඩි බව සැලකිය හැකියි.
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම වැඩිපුරම සිදුවන්නේ පිටස්තර අය වෙතින් කියලයි. නමුත් ලෝකයේ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් 4/5 ක් ම ඒ තත්ත්වයට භාජනය වී තිබුණේ තමන්ගේ පවුලේ ඥාතීන් වෙතින් හෝ හොඳින් දන්නා පවුලේ හිතවතුන් වෙතින්. මේ තත්ත්වය අපේ රටටත් පොදුයි.
ඒ වගේම වැඩිපුරම ලිංගික අපයෝජනයට ලක්වන්නේ පිරිමින් වෙතින් දැරියන් වුවද පිරිමින් වෙතින් වගේම කාන්තාවන් අතින්ද පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම දුලබ තත්ත්වයක් නොවෙයි.

ළමා ලිංගික අපයෝජනය හානිකර වන්නේ ඇයි?

ළමයා යනු ලිංගික වර්ධනයක් ඇති අයකු නොවෙයි. එසේම ළමයින්ගේ මානසික වර්ධනයත් මේ වන විට සම්පූර්ණ වී නෑ. ළමයින් තුළ සමාජය පිළිබඳ පරිණත බුද්ධියකුත් නෑ. එනිසා ලිංගික අපයෝජනයට ළමයකු ලක්වීමේ ප්‍රතිඵලය කුමක්ද?
මෙයින් දැනෙන හැඟීම්වල ස්වභාවය කුමක්ද, එය පාලනය කරගන්නේ කෙසේද මේ කිසි දෙයක් පිළිබඳව ළමයෙකු තුළ වැටහීමක් නෑ. ඒ නිසා තමයි ළමයාගේ කැමැත්ත ඇතිව ලිංගික කාර්යය සිදු කළත් අවුරුදු දහසයට අඩු දරුවෙකුට එවැනි
දෙයක් කිරීම දූෂණයක් වන්නේ. එය අපරාධ වරදක් ලෙස සලකන්නේත් එනිසා යි.

අපයෝජකයකු මීට යොමු වන අන්දම

සාමාන්‍යයෙන් මෙවැනි දේකට යොමු වන තැනැත්තකු එකවරම ඊට පෙළඹීමක් සිදුවන්නේ නෑ. මෙයින් තමාට සතුටක් ලැබුණත් මෙය නරක දෙයක් සහ වරදක් බව දන්නා නිසා එය ක්‍රියාවට නංවන්නේ නැතත් ඔවුන් බොහෝ විට ඒ සම්බන්ධව මනසේ සිහින දකිනවා. එසේ සිතමින් සතුටු වෙනවා. මෙය ක්‍රියාවට නංවන්නේ වෙනත් හේතු මතයි. මත්පැන් පානය කළ පසු තමන්ට තමන්ව පාලනය කරගත නොහැකි වීම, හොඳ නරක පිළිබඳ හැඟීම නැති වී යාම වැනි දේවල් මීට බලපානවා. එහිදී ගොදුරු කර ගැනීමට ඉලක්ක සොයන ඔවුන්ට පහසුවෙන් ගොදුරු කරගත හැකි විදියේ අය ගොදුරු කරගන්නවා.

අපයෝජකයන් ඉලක්ක කරගන්නේ කවුද?

දෙමාපිය වැඩිහිටියන්ගෙන් මනා රැකවරණයක් ලබන දරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඉලක්ක වන්නේ නෑ. දෙමාපියන් අහිමි, සමාජ ආර්ථික ප්‍රශ්න නිසා නිසි රැකවරණයක් නොලබන දරුවන් ඔවුන් බොහෝ විට තමන්ගේ ගොදුරු බවට පත්කර ගන්නවා.
එවැනි දරුවන් හා මිතුරු වීම, ආදරයෙන් කතා කිරීම, ටොෆි චොක්ලට් වැනි විවිධ තෑගි දීම වගේම තර්ජනය කිරීම, රැවටීම මේ ඕනෑම දෙයකින් ඔවුන් දරුවා අපයෝජනයට ලක් කරන අතර කිසිවකුට මෙය හෙළි වුණොත් දරුවා පිටම වරද පටවමින් එය සාධාරණීකරණය කරන්නටත් ඔවුන් පසුබට වන්නේ නෑ.

අපයෝජනයට ලක්වූ දරුවාට සිදුවන මානසික බලපෑම

සාමාන්‍යයෙන් කුඩා දරුවකුට ලිංගික අපයෝජනයක් සිදුවූ විට ඒ දරුවා තුළ කායික හා මානසික වශයෙන් විවිධ බලපෑම් ඇතිවෙනවා. මෙය එක් එක් දරුවාට බලපාන ආකාරය වෙනස්. මේ ක්‍රියාව කොයි තරම් පීඩාකාරී වුණාද, එහිදී දරුවා මොනතරම් අපහසුවට පත් වුණාද, දරුවාට බල කළාද, හිරිහැර කළාද, තුවාල කළාද, තර්ජනය කළාද යන ආදී කරුණු රැසක් මේ මානසික පීඩාවේ තරම තීරණය වීම සඳහා බලපානවා. යම් හෙයකින් දරුවා ලිංගික අපයෝජනයට ලක් කළේ දරුවා හොඳින් දන්නා තමන්ගේ පවුලේ කෙනෙක් හෝ නිවසට නිතර යන එන කෙනෙක් නම් දරුවාට මානසිකව ඇතිවන බලපෑම ඉතා වැඩියි. හේතුව, ඒ පුද්ගලයා පිළිබඳ විශ්වාසය බිඳී යාම නිසා දැඩි මානසික අනාරක්ෂිතභාවයක් ද දරුවා තුළ ඇතිවීමයි.
මෙවැනි සිද්ධියකට මුහුණ දුන් දරුවකු තුළ ඇතිවන ලක්ෂණ සම්බන්ධයෙන් බොහෝ දුරටම දරුවාගේ පෞරුෂ ස්වභාවය බලපානවා. විවිධ සමාජ සහ මානසික ප්‍රශ්නවලට ගොදුරු වූ දරුවෙක් නම් මේ වගේ සිද්ධියකට මුහුණ දීමෙන් පසු මානසික සංකූලතා හට ගැනීමේ අවදානම බොහෝ සෙයින් වැඩියි. එසේම එම සිද්ධියෙන් පසුව සිදුවන නීතිමය ක්‍රියාවලියේදී දරුවාට මේ වගේ අපරාධයක් සිදුවුණේ දෙමාපියන්ගේ රැකවරණය නිසි ලෙස නොලැබුණු නිසා බව තහවුරු වුණොත් දරුවා පරිවාසභාවයට පත් කිරීම තවත් ගැටලුවක්. මෙහිදී දරුවාට මවගෙන් වෙන් වන්නට සිදුවීම මත දරුවාට තිබෙන මානසික ප්‍රශ්න උග්‍ර වීම සහ අමතර මානසික ප්‍රශ්න ඇතිවීමද සිදුවෙනවා.

අපචාරයකින් පසුව ඇතිවන ලක්ෂණ

බොහෝ විට අපයෝජනයට ලක් වූ දරුවන්ගේ ප්‍රබල වශයෙන් ලක්ෂණ දකින්නට ලැබෙන්නේ ඒ සඳහා බලපෑ හේතු වඩාත් ප්‍රබල වූ විටයි.
මේ අනුව වයස 5 – 10 වැනි වයස් කාණ්ඩවල සිටින දරුවන් තුළ නින්ද නොයාම, නින්ද ගිය විට බියකරු සිහින පෙනීම, නින්දෙන් මුත්‍රා පිටවීම, අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව නැතිවීම හෝ අඩුවීම, සුළු දේවල්වලට පවා බියවීම, සමහර දරුවන් තමන්ගේ ලිංගික අවයව නිතර නිතර ස්පර්ශ කිරීමට පෙළඹීම, ලිංගික මාතෘකා ගැන කතා කිරීමට රුචි වීම, වයසට වඩා වැඩි ලිංගික ආශාවන් පැවතීම වැනි ලක්ෂණ බහුලව දැකිය හැකියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු තුන ඉක්මවූ දරුවකුට මව නැතිව සිටිය හැකි වුණත්, මේ වයසේදී ලිංගික අපයෝජනයට ලක් වූ දරුවකුට මව නැතිව සිටීම අපහසු වෙනවා. මව ළඟ නැති විට දරුවා බොහෝ සෙයින් බියට පත්විය හැකියි.

වයස අවුරුදු 10 ඉක්මවූ දරුවකු මෙවැනි අපයෝජනයකට ලක් වූ විට වයසට නොගැළපෙන ලෙස තරුණ වීමට උත්සාහ කළ හැකි අතර ඒ අනුව තමන්ට වඩා වයසින් වැඩි අය ඇසුරු කිරීමටද පෙළඹිය හැකියි. අඳින්නේද තරුණ අය අඳින ආකාරයටයි. ඒ හැරුණු විට නින්ද නොයාම, පාසලේදී අවධානය අඩුවීම, පාසලින් කට්ටි පනින්නට පෙළඹීම, මිතුරන් මගහැරීම හා සමාජයෙන් වෙන්ව සිටීමට කැමැත්තක් දැක්වීම වැනි ලක්ෂණ මෙවැනි දරුවන් තුළ ඇතිවෙනවා.
පීඩනය තවත් වැඩිනම් දරුවා විශාද රෝගයට (depression) ලක්විය හැකියි.
වරක් මා වෙත තදබල විශාද රෝගයෙන් පෙළුණු අවුරුදු 13ක දැරියක් ඔවුන්ගේ දෙමාපියන් විසින් එක් කරගෙන ආවා. එම දැරිය සමඟ කළ දීර්ඝ කතාබහේදී අනාවරණය වූයේ දැරිය එම පවුලේ දන්නා කියන කෙනෙකු වෙතින් සෑහෙන කලක සිට වරින්වර ම ලිංගික අපයෝජනයට ලක් වන බවයි. ඔහු මේ දැරියව ලිංගික ආපයෝජනයට ලක් කර ඇත්තේ දෙමාපියන්ට මේ ගැන කිව්වොත් දෙමාපියන්ව මරා දමන බවට තර්ජනය කරමිනුයි. අවසානයේ මේ දැරිය දෙමාපියන්ට මෙය කියාගන්නට නොහැකි වීමත්, ඔහුගෙන් මිදීමට ක්‍රමයක් නැති වීමත් මත තදබල ලෙස විශාද රෝගයට ලක්ව සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණා. ඇය මා වෙත රැගෙන ඒමට හේතුව එම මානසික අවපීඩන තත්ත්වයයි.

ඒ වගේම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවකුට පසුව පශ්චාත් ක්ෂතික පීඩකාබාධය ( Post traumatic stress disorder හෙවත් P.T.S.D.) නැමැති මානසික රෝග තත්ත්වය හට ගැනීම ද සුලභව සිදුවන තත්ත්වයක්. මෙහිදී සිද්ධිය පිළිබඳ භයංකර සිතිවිලි නැවත නැවත සිතට මෙනෙහි වීම නිසා වෙනත් කිසි දේකට සිත යොමු කරන්නට දරුවාට අපහසු වෙනවා. භයංකර දර්ශන මනසෙහි මැවි මැවී පෙනෙන්නට පටන් ගන්නවා. සමහර අවස්ථාවලදී එකවරම එබඳු භයංකර දර්ශන සිහිපත් වී තදින්ම බියට පත් වෙනවා. මිතුරන්ගෙන් සමාජයෙන් ඈත් වෙනවා. හිංසනය කළේ පිරිමියෙක් නම් පිරිමින්ගෙන් ඈත් වී සිටීමට උත්සාහ කරනවා. තමන්ට අතවරය සිදුවූ ප්‍රදේශයට යාමට පවා බිය වෙනවා.

ලිංගික අපයෝජනයට ලක්වීම නිසා පසුකාලීනව ඇති වන ලිංගික ලක්ෂණ

අධික ලෙස ස්වයං වින්දනයෙහි යෙදෙන්නට පෙළඹිය හැකි අතර කලාතුරකින් මෙවැනි දරුවන් අනෙක් අයට පෙනෙන සේ ස්වයං වින්දනයෙහි යෙදෙන අවස්ථා තිබෙනවා. නෑම වැනි දේ ප්‍රතික්ෂේප කළ හැකියි. එයට හේතුව එවිට තමාගේ ඇඳුම් ඉවත් කිරීමට සහ ලිංගික ප්‍රදේශය දකින්නට ස්පර්ශ කරන්නට ලැබෙන නිසා ඒ මොහොතේ එම සිද්ධිය සිහිපත් වී බිය වීමයි. එවරන දරුවකුගේ අතින් ඇල්ලූ විට පවා බියට පත්වීම තවත් ලක්ෂණයක්.

ලිංගික අපයෝජනයට ලක්වීමෙන් දරුවකුට ඇතිවිය හැකි දිගුකාලීනව බලපාන ගැටලු

සමහර දරුවන් එක් වරක් නොව ඉහත සිද්ධියේ දැක්වූ අයුරින් එකම පුද්ගලයකු වෙතින් වරින් වර නිරන්තරයෙන්ම ලිංගික අපයෝජනයට ලක්වන අවස්ථා තිබෙනවා. මෙවැනි දරුවන්ට මායිම් පෞරුෂ ආබාධය (Border line personality disorder ) නම් මානසික රෝග තත්ත්වය හට ගැනීමේ හැකියාව වැඩියි. මේ රෝගයේ ලක්ෂණ වන්නේ ඉක්මනින් කෝපයට පත්වීම, ආවේගශීලී වීම, නිතර තනිකම දැනීම, ජීවිතය එපා වීම, තරුණ වියට පත් වූ පසුවත් කිසිවකු හා ස්ථාවර සම්බන්ධයක් පවත්වා ගැනීමට අපහසු වීම ආදියයි.

විශාද රෝගය හට ගැනීමේ හැකියාව

අපයෝජනයට ලක් වූ දරුවන්ට පසුකාලීනව සාමාන්‍ය ලිංගික ජීවිතයට බලපාන රෝග තත්වයන් හට ගන්නටත් පුළුවන්. එනම් ලිංගික ආශාව අඩුවීම, ලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීම,ස කාන්තාවක තුළ ඇතිවන ලිංග ඉන්ද්‍රියෙහි අසාමාන්‍ය සංකෝචනය (vaginismus) නිසා ලිංගික එක්වීම අතිශය වේදනාකාරී වීම වැනි ආබාධ තත්ත්වයනුයි.
මෙලෙස ළමා වියේ අපයෝජනයට ලක් වූ තරුණියන්ට මෙන්ම තරුණයන්ටද සාමාන්‍ය ලිංගික ජීවිතයක් ගතකරන්නට අපහසු විය හැකි සේම ලිංගික අවවර්තන(sexual diviation) හට ගැනීමටද ප්‍රබල හැකියාවක් තිබෙනවා. ලිංගික අවවර්තනය යනු සාමාන්‍ය ආකාරයට ලිංගික සම්බන්ධතාවයකින් තෘප්තියක් ලැබීමට නොහැකි වීම මත ඒ සඳහා අසාමාන්‍ය ක්‍රමවලට යොමු වීමයි.

මෙබඳු තත්ත්වයන් වළක්වා ගන්නට නම්

ළමයින් මෙවැනි අයගේ ගොදුරු බවට පත්වීමට තිබෙන අවකාශය ගැන මව්පියන් විමසිලිමත් වීම ඉතා වැදගත්. ඒ වගේම ගොදුරු බවට පත්වීමෙන් වැළකීමට ළමයින්ට ඔවුන්ගේ වයස් මට්ටමට ගැළපෙන ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ලිංගික අධ්‍යාපනය යනු අඹුසැමි සම්බන්ධතා විස්තර කර දීමක් ලෙස සමහරු වරදවා වටහාගෙන සිටිනවා. නමුත් අපයෝජනයට ලක්වීමට ඇති අවස්ථාවලින් මිදීම හා ඒවා වළක්වා ගැනීම ද මෙම ලිංගික අධ්‍යාපනයට අයත්. ඒ අනුව දරුවා තමන්ගේ වයසට ඔබින අන්දමින් දැනුවත් නම් මෙවැනි පුද්ගලයින්ගෙන් බේරීම අපහසු නොවේවි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඉන්දු පෙරේරා

ඉරා අදුරුපට