ලිංගික වහලියන් සේ ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට විකිණූ සැකකරු රිමාන්ඩ්

ශ්‍රී ලාංකික තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන ගොස් ලිංගික වහලියන් සේ එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැක කරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකරු ඊයේ(19) මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයකට අනුව 44 හැවිරිදි මෙම සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අගනුවර බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන ඔහු රට පුරා පිහිටි වෙනත් විදේශ රැකියා ආයතනවලින් ද ලබා ගන්නා තරුණියන් මෙම ජාවාරම සඳහා ඕමානය වෙත යවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කාලීන පුවත්