ලුණු ඉහලා බත් කන තාලෙට වත් ඡන්දෙ තියා ගන්න පුළුවන් වේවිද?

මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නිසා ඊට අවශ්‍ය මුදල් කඩින් කඩ ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පසුගිය දා මුදල් කාරක සභාවට දැනුම් දී තිබේ.ඒ බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ද තහවුරු කොට ඇත.එහෙත්, මුදල් අමාත්‍ය ධුරය ද හොබවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනත් කතාවකි.එනම් ඉදිරි පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීමට තමන්ට නොකැකි මුත් මැතිවරණයක් සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සතුව නොමැති බව තමන් දන්නා බව ය.මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා මැතිවරණයට එකවර මුදල් අවශ්‍ය නැති බවත්, කඩින් කඩ මුදල් ලබා දෙන බවත් පැවසූ අතර එසේ ලැබීම් වුව ප්‍රමාණවත් බවත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියයි. ජාතික මැතිවරණ කොමිසම පලාත් පාලත් පාලන මැතිවරණය සඳහා රුපියල් මිලියන 770ක මුදලක් ඉල්ලා තිබේ.එහෙත් මේ වන විට ලැබී ඇත්තේ මිලියන සියයක මුදලක් බව ද කියනු ලැබේ.මේ අතර සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.මාර්ගගත ක්‍රමවේද හැකිතාක් පාවිච්චි කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත.එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.මෙය මැතිවරණ රාජකාරී යාන්ත්‍රණයට මරු පහරකි.
මේ අතර මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පවසනුයේ ද මැතිවරණය සඳහා භාණ්ඩාගාරය සතු මූල්‍ය සංචිත නිකුත් කළහොත් ඉදිරි මාස කිහිපය සඳහා පුනරාවර්තන වියදම් වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති වන බවකි.පුනරාවර්තන වියදම් යනු, අදාල වර්ෂය තුළ දෛනික රාජ්‍ය සේවා පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම සඳහා දරන වියදම් සහ සංක්‍රාම ගෙවීම් ය.පුනරාවර්තන වියදම්වල ප්‍රතිලාභ වියදම දරනු ලබන කාලපරිච්ඡේදයට පමණක් සීමා වන අතර මෙම වියදම් නැවත නැවතත් කළයුතු ස්වරූපයේ වියදම් වේ. පොලී ගෙවීම,රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම,පොහොර සහනාධාරය,විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.මෙම වාතාවරණය යටතේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද අපූරු කතාවක් කියා තිබේ.
“අපේ කාලෙත් සල්ලි එකපාරටම ගෙඩිය පිටින් දුන්නේ නම් නැහැ. ටික ටික දේවි. මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා. අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන” එහෙත් මැතිවරණ කොමිසමට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන අලුත්ම පිළිවෙල අනුව එම උපහැරණයට අනුව සහල් පොල් තබා ලුණු වත් ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලැබේද? යන්න අපට නම් සැක සහිත ය. නමුත් ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, එස්.බී හේරත් 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමේ හෝ කල්දැමීමේ වැදගත්කම පිළිබඳව මෙසේ කරුණු දක්වා තිබේ.එම නිවේදනය මෙලෙසිනි.
“රට බංකොලොත්භාවයට පත් වී මාසික රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අවස්ථාවකදි 2023 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇත.මෙම අවස්ථාවේ මැතිවරණය සදහා මුදල් ලබා දිම අතිශය දුෂ්කර බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් ලිඛිතව දන්වා ඇත.මෙවැනි වාතාවරණයක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ලිපි යැවීම නිෂ්එල ක්‍රියාවකි.මෙම අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කළ යුත්තේ වහාම පළාත් පාලන විෂය භාර ඇමතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමග සාකචිජා කර කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමට හෝ කල්දැමීම සඳහා වන ව්‍යවස්ථාදායකය මගින් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීම ය.ජනාධිපතිවරයා ගේ උපදෙස් මත රාජ්‍ය ආයතන වල වියදම් දැඩිව සීමා කිරිමට චක්‍රලේකයක් නිකුත් කර ඇත.එමගින්ද මැතිවරණ සංවිධාන කටයුතු සදහා දැඩිව බාධා එල්ල වි ඇති බව අප සංවිධානයට නිරීක්ෂණය විය.මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළළ හොඳින් අවබෝධ කරගෙන රාජ්‍ය නිළධාරින් මානසික පීඩනයකට ලක් නොකරමින් සහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂ අපේක්ෂකයින් ද අපහසුතාවයට පත් නොකර කඩිනමින් මැතිවරණය අවලංගු කිරිමට හෝ කල්දැමීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගේ වගකිමක් බව අප සංවිධානය අවධාරණය කරන්නෙමු.(උපුටා දැක්වීම අවසන්) ඒ කෙසේ හෝ කිනම් හෝ අයුරකින් මෙවර පලාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඉන් පළවන බහුතර ජන මතය අනුව ආණ්ඩුව පරාජය වනු ඇත.එවිට මෙම අස්ථාවර රජයේ පැවැත්ම තව දුරටත් අස්ථාවර වීම මත පැනනඟින ජනතා උද්ඝෝෂණ හමුවේ ආණ්ඩුව විසුරුවා නැවත මහා මැතිවරණයකට,ජනපතිවරණයකට යාමට රජයට සිදු වනු ඇත.එහෙත් මහින්ද දේශප්‍රිය උපහැරණයට අනුව මෙම මැතිවරණය “ලුණුයි බතුයි ක්‍රමය”ට පැවැත්වුව ද මේ වසර තුළ තවත් මැතිවරණ දෙකක් පැවැත්වීමේ හැකියාව බන්දුල ගුණවර්ධන ජන ගත කළ “සක්‍රයාගේ පුතා වයිමා”ට වත් තිබේද?යන්න සැක සහිත ය.එමෙන්ම එම න්‍යායට අනුව ඉදිරි පලාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් සිදුවිය හැකි අනිටු ඵල විපාක වල සීමාව ද අප සිතන මට්ටම අබිබවා බොහෝ දුර දිගක් තෙක් පැතිර යනු ඇත. ඇතැම් විට එය තවත් “භීෂණ සමය”ක ඇරඹුම වන්නට ද පුළුවන                   දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර