ලෝකයෙන් වෙන් වී අඳුරු ගුහාවක දින 500 ක් ගත කළ කාන්තාවක්

aduru-guhawa

දින 500 කට (වසර එකහමාරකට) ආසන්න කාලයක් අඳුරු ගුහාවක් තුළ තට්ට තනිවම ගත කරන්නට සිදු වුවහොත් එය කෙතරම් බිහිසුණු ත්‍රාසජනක අත්දැකීමක් වනු ඇත්දැයි අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ හෝ වේවා, මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් අපූරු කාන්තාවක ගැන පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ඇයගේ නම බියටි්‍රස් ෆ්ලැමිනි ය. ස්පාඤ්ඤ ජාතික කාන්තාවක වන බියටි්‍රස් ස්පාඤ්ඤයේ ග්‍රැනඩාවෙ හි ගුහාවක අඛණ්ඩව දින 500 කට ආසන්න කාලයක් ගත කර තිබුණාය. ඇය මෙවැනි කටයුත්තකට යොමු වී තිබුණේ විද්‍යාඥයන් කණ්ඩායමක අධීක්‍ෂණයෙන් කරන ලද පර්යේෂණයක කොටසක් ලෙසිනි. බියටි්‍රස් ආන්තික ක්‍රීඩාවන්හි (Extreme Sports) නිරත වන ක්‍රීඩිකාවක බව ද සඳහන් වේ.

අඩි 230 ක් පමණ ඇතුළට විහිදුණු මෙම අඳුරු ගුහාවට ඇය ඇතුල් වී තිබුණේ 2021 වසරේ නොවැම්බර් 21 වැනි දින යි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 48 ක් විය. පසුගිය 15 වැනි දා ඇය ගුහාවෙන් පිටතට එන විට බියටි්‍රස්ගේ වයස අවුරුදු 50 ක් වූයේය. ඇය ගුහාව ඇතුළට යන විට යුක්රේන යුද්ධය ආරම්භ වී තිබුණේ නැත. කොවිඩ් වසංගතය ඒ වනවිට වේගයෙන් පැතිරෙමින් තිබිණි. කෙසේ වෙතත්, ගුහාව තුළට යාමෙන් පසු ලෝකයේ සිදු වූ කිසිවක් ගැන ඇයට කිසි දැනුමක් නොවීය. මන්ද යත් පිටත ලෝකය සමග ඇයගේ කිසිදු සම්බන්ධයක් නොවූ බැවිනි. නමුත් එම කාලය තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු විය. පසුගිය දා ගුහාවෙන් පිටතට පැමිණි අවස්ථාවේ බියටි්‍රස් මාධ්‍යවේදීන් සමග කීවේ තමා තවමත් සිටින්නේ 2021 නොවැම්බර් 21 වැනි දින බවයි. ‘මම තවම ඉන්නේ 2021 නොවැම්බර් 21 වැනිදා. ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ දෙයක් මම දන්නෙ නැහැ’ යයි ඇය සිනාමුසුව පැවසුවාය. ගුහාවට ඇතුල් වී මාස දෙකකට පමණ පසු තමාට කාලය පිලිබඳ අවබෝධය නැතිව ගිය බවක් ද ඇය පවසා තිබුණාය. ‘එක අවස්ථාවකින් පස්සේ මට දවස් ගණන් කිරීම නවත්තන්න වුණා’ යයි ඇය සඳහන් කර තිබිණි. දින 500 ක් ගුහාව තුළ සිටි බවක් ඇයට දැනී තිබුණේ නැත. බියටි්‍රස් සිතා තිබුණේ ගුහාව තුළ ගත කළ කාලය දින 160 ක් 170 ක් පමණ බවයි.

ඇය සහභාගි වූ පර්යේෂණයේ අරමුණ වී තිබුණේ මෙවැනි පරිසරයක දීර්ඝ කාලයක් හුදෙකලාව ගත කිරීමේ දී ඇති වන බලපෑම් අධ්‍යයනය කිරීම යි. මෙයට මනෝ විද්‍යාඥයන් සහ ගුහා පිලිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් ද සම්බන්ධ වී සිටිය ද බියටි්‍රස් ගුහාව තුළ සිටි කාලයේ ඔවුන් සමග පවා සබඳතා පැවැත්වූයේ නැත. එම කාලය ඇය ගත කර තිබුණේ පොත් කියවමින්, වූල් තොප්පි ගොතමින්, චිත්‍ර අඳිමින් සහ ව්‍යායාම කරමින් බව සඳහන් වේ. පොත් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇය කියවා අවසන් කර තිබිණි. බීමට හැර වෙන කිසිවකට ජලය නොතිබුණු නිසා ඇයට ස්නානය කිරීමට පවා ලැබී තිබුණේ නැත. ගුහාවෙන් පිටතට ආ සැණෙන් ඇය කර තිබුණේ හිතේ හැටියට නා ගැනීම ය. ගුහාවෙන් එළියට එද්දී ඇයගෙන් ප්‍රශ්න අසන්නට බලා සිටි මාධ්‍යවේදීන්ට ඇය කීවේ මෙවැන්නකි: ‘මට පොඩ්ඩක් නාගෙන එන්න ඉඩ දෙන්න පුලුවන් නං මම තව ටිකකින් ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නං. ඒකට කමක් නැද්ද? අවුරුදු එකහමාරක්ම මම වතුර ටිකක් අල්ලලවත් නැහැ’.

ගුහාව තුළ ගත කළ කාලයේ ඇයට මුහුණ දෙන්නට සිදුව තිබූ අසීරුම අවස්ථාව උදා වී තිබුණේ කිසියම් මැසි විශේෂයක් ගුහාවට ඇතුල් වීමත් සමග ය. ඔවුන්ගෙන් ගැලවී සිටීම සඳහා විශාල සටනක් කරන්නට සිදු වූ බව බියටි්‍රස් පවසයි. මෙම සතුන් පිටව යනතුරු තමාට මුළු සිරුරම ආවරණය කරගෙන සිටින්නට සිදු වූ බව ඇය කියා තිබුණාය.

ඇතැම් අවස්ථාවල ගුහාව තුළින් තමාට මායාමය ශබ්ද ඇසුණු බවක් ද ඇය කියයි. නමුත් ඒවා සැබෑ ශබ්ද නොව හුදෙකලා බව සහ ගුහාව තුළ වූ දැඩි නිශ්ශබ්දතාව නිසා තම මොළය විසින් නිර්මාණය කරන ලද ශබ්ද (Auditory Hallucinations) බව බියටි්‍රස්ගේ අදහස යි.

දින 500 කට ආසන්න කාලයක් මෙලෙස තනිවම ගුහාවක් තුළ ගත කිරීමෙන් බියටි්‍රස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන්නට ඉඩ ඇති බව ඇයගේ කණ්ඩායමේ අදහස වී තිබේ. නමුත් ගිනස් ආයතනය තවම ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැති බව සඳහන් වේ. ස්වේච්ඡාවෙන් ගුහාවක් තුළ ගත කිරීම ඔවුන් ලෝක වාර්තා සඳහා සලකා බලනවාද යන්න තවම පැහැදිලි නැත. වැඩිම කාලයක් පොලොව යට සිරවී සිටීම සම්බන්ධයෙන් නම් මේ වනවිට ලෝක වාර්තාවක් තිබේ. එම වාර්තාවට හිමිකම් කියන්නේ චිලි සහ බොලිවියානු පතල් කම්කරුවන් 33 දෙනෙකි. ඔවුන් සේවය කරමින් සිටි පතලේ කොටසක් කඩා වැටීම නිසා මෙම පිරිස පොලොව මට්ටමේ සිට මීටර 688 ක් ( අඩි 2,250 ක්) ගැඹුරෙහි සිර වූ අතර දින 69 ක කාලයක් ඒ ආකාරයෙන් ගත කිරීමට සිදුවිය. මෙම සිද්ධිය සිදු වූයේ 2010 වසරේ යි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්