වයස 99 දී මිය ගිය මව ගැන අගමැති මෝදිගේ හැඟීම්බර මතකයන්

modi-mather

ඉන්දියාවේ අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ මව හීරාබන් මෝදිගේ අභාවය පසුගිය දිනවල මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. ඉතාම වයෝවෘද්ධව සිටි ඇය මිය යන විට පසුවූයේ 99 වැනි වියේ යි. ඇයගේ අභාවය සිදු වූයේ පසුගිය 30 වැනි සිකුරාදා යි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත බදාදා දිනයේ ඇය රෝහල්ගත කර තිබූ බව පැවසුණා.

හීරාබන් ජීවත් වූයේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ යි. ඇය නරේන්‍ද්‍ර මෝදිගේ බාලම සොහොයුරා සහ ඔහුගේ පවුල සමග වාසය කළ බව පැවසෙනවා. තමා සහ මව අතර පැවැති ඉතා සමීප සහ ආදරණීය සම්බන්ධය ගැන අගමැති මෝදි බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. ඔහු කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළත් මවගේ සුවදුක් බැලීමට නිතර ගුජරාතය වෙත යාම පුරුද්දක් කරගෙන තිබුණා. අගමැතිවරයා අවසන් වරට ඇය බැලීමට ගොස් තිබුණේ දෙසැම්බර් 4 වැනි දින යි. ඒ වනවිට ගුජරාත ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වෙමින් තිබූ අතර ඊට අදාළ කටයුතු සඳහා එම ප්‍රාන්තයට ගිය අවස්ථාවකයි මෝදි මව බැලීමට ගොස් තිබුණේ. මෝදිගේ උපන් ගම පිහිටා තිබෙන්නේත් ගුජරාත් ප්‍රාන්තයේ යි.

1923 වසරේ හීරාබන් උපන්නේ ගුජරාතයේ විස්නගර් නැමැති ග්‍රාමයේ යි. ‘මගේ මවගේ ළමා විය බොහෝ ආර්ථික අමාරුකම්වලින් සහ අගහිඟකම්වලින් පිරුණු දුක්බර එකක්’ අගමැතිවරයා සඳහන් කර තිබුණා. යෞවන වයසේ දී හීරාබන් දමෝදර්දාස් මූල්චාන්ද් මෝදි සමග විවාහ වී වාද්නගර් නැමැති ගම්මානයක් වෙත ගොස් තිබුණා. ‘වාද්නගර්වල අපේ පවුල ජීවත් වුණේ ඉතා කුඩා නිවසක යි. එහි ජනේලයක්වත් තිබුණේ නැහැ. ඉතිං වැසිකිලි නානකාමර ගැන කවර කතා ද?’ මෝදි තවදුරටත් සඳහන් කරනවා. ඔහු තවදුරටත් පවසන්නේ තම මව ඉතා වෙහෙස මහන්සියෙන්, පිලිවෙලට සහ වෙලාවට වැඩ කළ කාන්තාවක වූ බවයි. ඇය නිතර සතුටින් සිටි කෙනෙකු බවත් පෙනෙනවා. වැඩපල කරද්දී ඇය නිතරම වාගේ ගී ගැයූ බවයි ඔහු කියන්නේ.

මෝදි ඉන්දියාවේ ඉහළම තනතුරක් දරන කෙනෙකු වුවත් හීරාබන් ප්‍රසිද්ධ උත්සවවලට සහභාගි වීමට එතරම් කැමැත්තක් නොදැක්වූ කෙනෙකු බවත් ප්‍රසිද්ධ කතාවක්. මෝදි සහභාගි වූ උත්සවයකට ඇය අවසන් වරට සහභාගි වී තිබුණේ 2001 වසරේ යි. ඒ මෝදි ගුජරාත් ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට යි. ‘එයින් පසු ඇය මා සහභාගි වූ කිසිදු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වුණේ නැහැ’ මෝදි පවසා තිබුණා.

නරේන්‍ද්‍ර මෝදි පළමු වරට අගමැති ධුරයට පත් වුණේ 2014 වසරේ යි. නමුත් හීරාබන් තම අගමැති පුත්‍රයා බැලීමට දිල්ලිය වෙත පැමිණ තිබුණේ ඊට වසර දෙකකට පසුව යි. මෝදි සිය මවට අගමැති නිල නිවස පෙන්වමින් යන අන්දම දැක්වෙක ඡායාරූප එකල අගමැතිවරයා ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර තිබුණා.

විවිධ පුද්ගලයන් නීති විරෝධී ආකාරයෙන් සඟවාගෙන සිටින කළු සල්ලි එළියට ගැනීම සඳහා මෝදි වරක් ඉන්දියානු රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කළා. එම අවස්ථාවේ රටේ ජනතාවට එම නෝට්ටු වෙනුවට බැංකුවලින් අලුත් නෝට්ටු ලබා ගැනීමට සිදු වුණා. එහිදී හීරාබන් ද සෙසු ජනතාව මෙන්ම බැංකු පෝලිමක සිටින අන්දම දැක්වෙන ඡායාරූප එකල මහත් ප්‍රසිද්ධියක් දිනාගත්තා.

හීරාබන් සහ ඇයගේ සැමියා දමෝදර්දාස් දෙදෙනාට දරුවන් සය දෙනෙකු සිටියා. නරේන්‍ද්‍ර මෝදි ඒ අතරින් තුන්වැන්නායි. ඔහුට සෝම, ප්‍රහ්ලාද්, අම්රිත් බායි, පන්කජ් බායි නමින් සහෝරයන් සිව් දෙනෙකුත්, වසන්තිබන් නමින් සහෝදරියකත් සිටිනවා. අගමැති මෝදිගේ පියා 1989 වසරේ මිය ගියා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 74 ක්. නරේන්ද්‍ර මෝදි කුඩා කාලයේ වාද්නගර් දුම්රිය ස්ථානයේ සිය පියාගේ තේ කඩයක සේවය කළ බවටත් කතාවක් තිබෙනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර