පසුගිය දා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් ලියන ලද රහස් ලියමනක් පිළිබඳව මේ වනවිට මාධ්‍ය තූළ විශාල අවධානයක් යොමු ව තිබේ. මෙම ලිපිය ඕස්ට්‍රේලියාවේ පෞරාණික ගොඩනැගිල්ලක ආරක්ෂිත ගර්භයක වීදුරු ආවරණයක තැන්පත් කර ඇති බව සඳහන් වේ. රැජිනගේ මෙම ලිපිය පිලිබඳ තවත් අපූරු කාරණයක් වන්නේ එය තව වසර 63 ක් ගතවන තෙක් කිසිවකුට විවෘත කිරීමට අවසරයක් නොමැති වීමයි. ඒ අනුව එහි ලියා ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට තව දශක 6 කට වැඩි කාලයක් බලා සිටින්නට සිදුවනු ඇත.
මෙම අපූරු ලියමන තැන්පත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි Queen Victoria Building නැමැති ගොඩනැගිල්ලේ ය. මහ රැජින එය ලියා ඇත්තේ 1986 වසරේ බව ද සඳහන් වේ. එනම් මෙයට වසර 36 කට පෙර ය. ඒ ඇය ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවක යි. මුල් වරට 1898 වසරේ ඉදි කරන ලද ක්වීන් වික්ටෝරියා ගොඩනැගිල්ල නවසිය අසූ ගණන්වල ප්‍රතිසංස්කරණය කර තිබිණි. එළිසබෙත් රැජින ඉහත කී ලිපිය ලියා ඇත්තේ ද එම අවස්ථාවේ ය. මුලින්ම මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ වික්ටෝරියා මහ රැජිනගේ අභිෂේකයේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බව සඳහන් ය. ඇය බ්‍රිතාන්‍යයේ සිහසුන දැරුවේ 1837 සිට 1901 දක්වා යි.
එළිසබෙත් මහ රැජින ලියා ඇති ලිපිය සිඩ්නි නගරවාසීන් වෙත ලියන ලද්දක් බව පැවසේ. එය යොමු කර ඇත්තේ සිඩ්නි නගරාධිපතිවරයාගේ නමට ය. ලිපිය බහා ඇති කවරයේ මෙසේ සඳහන් වන බව වාර්තා වේ. ‘2085 වසරේ ඔබ විසින් සුදුසු යයි තීරණය කරනු ලබන දිනයක මෙම ලිපිය විවෘත කරන්න. එය විවෘත කර එහි ලියා ඇති මගේ පණිවුඩය කරුණාකර සිඩ්නි වැසියන්ට දැනුම් දෙන්න”.
ඉහත කී සටහනට යටින් ‘එළිසබෙත්’ යනුවෙන් අත්සන් කර ඇති බව ද සඳහන් ය.
තවමත් ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ප්‍රධානියා ලෙස පිලිගැනෙන්නේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින යි. මෙම තත්ත්වය වෙනස් කර ජනරජයක් බවට පත්වීම සඳහා එරට 1999 වසරේ උත්සාහයක් ගත්තේය. එහිදී ජනමත විචාරණයක් පැවැත්වුණු අතර ජනරජයක් බවට පත් වීම සඳහා ජනතාවගේ කැමැත්ත එයින් විමසනු ලැබිණි. මෙහිදී ඡන්දය දුන් ජනතාවගෙන් සියයට 54 ක්ම පැවසුවේ රැජින රාජ්‍ය ප්‍රධානියා ලෙස සිටිනවාට කැමැති බවයි. මේ අනුව මහ රැජින තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ප්‍රධානියා ලෙස පිලිගැනිණි. දැන් එම තත්ත්වය තුන්වැනි චාල්ස් රජුට හිමි වී ඇත.
එළිසබෙත් මහ රැජින පළමු වරට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූයේ 1954 වසරේ යි. එනම් ඇය සිහසුනට පත්ව වසර දෙකකට පසුව ය. රජකම දැරූ රාජකීයයකු ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුණු පළමු වතාව ද එය විය. ඇය සිය ජීවිත කාලය තුළ 16 වතාවක් ඕස්ට්‍රේලියාවේ සංචාරය කර තිබිණි.
නිහාල් පීරිස්