1947 ජූනි මාසයේදී 18 හැවිදිරි තරුණයකු වූ මගේ පියා නඩයක් සමඟ නුවරඑළියේ සිට මහියංගනේට ගිය වන්දනා ගමනක් පිළිබද අපූරු විස්තරයක් ඔහු විසින් ලියූ සටහන් අතර තිබී මට හමුවිය. ඔහුගේම අත් අකුරින් ලියා ඇති මේ අගනා ලියවිල්ල මෙහි පහත අමුණා ඇති අතර කියවීමේ පහසුව සදහා මම මෙසේ පිටපත් කර දක්වමි. මීට වසර 75 කට පෙර අපේ ඇත්තන් වන්දනා ගමන් ගිය ආකාරය පිළිබදව දැනගැනීම සදහා මෙය කදිම මූලාශ්‍රයක් වනු ඇතැයි මට සිතේ.
මහියන්ගන ගමන් විස්තරය. 2491- 1947 ජූනි.
එක්දහස් නව සිය හතළිස් හතේ මැයි මස 31වෙනි සෙනසුරාදා සවස දෙකට පමණ තුණුරුවන් පිහිට යදිමින් ගමනාරම්භ කළෙමු. 3.28 දුම්රිය නැවතුම් පොළට වහ වහා ගිය මම ප්‍රවේශ පත්‍රය ගත් සැනෙකින් දුම්රිය පිටත් විය. මට දුම්රියට නැඟීමට අවකාශ තිබුණත් මා සමඟ පැමිණි අයගේ ප්‍රමාදයෙන් බලාපොරොත්තු කඩ විය. මේ ගමන පිළිබදව බොහෝ කල් සිට ” සිහින” දකිමින් සිටි මට මේ අවස්ථාවෙහි බලවත් සංවේගයක් හටගත් නමුත් ඒ බව නොහැඟවුවෙමි. ඉතා අමාරුවෙන් සිනහවකින් කට කොන සරසාගත් මම මාගේ සහකාරයන්ගේ ද සිත් සනසා ගෙන මින් පසු කළ යුතුව තිබුන රාත්‍රි නවාතැන් ගැනීමට නානුඔයේ විහාරයට යෑමට තීරණය කරගෙන එහි ගියෙමි. ඉන් පසු ඒ සිදධස්ථානය ද වැඳපුදා ගෙන රාත්‍රි 9ට පමණ රාත්‍රි කෑම ද ගත් මම පන්සලේ ඇබිත්තයෙකු සමඟ (අවුරුදු 9ක පමණ) නොයෙක් දේ ගැන කථාකරමින් සිට 10 1/4 පමණ නිදා ගත්තෙමි.
1වෙනිදා
(ඉක්බිති) රාත්‍රි 12ට පමණ නැගිට කෝපි මෝප්පයක් පෙරාගෙන බී දුම්රිය පොළට 12 1/2 ට පැමිණියෙමි. නානුඔයේ පාන්දර 5 1/2 ට පමණ පිටත්වූ දුම්රියෙන් බදුල්ලට යෑමට පිටත් උනෙමි. තදබදවී හිඳගැනීමටවත් ඉඩකඩ නැතිව හපුතලේ පමණ තෙක් ගියෙමි. ඉන්පසු තරමක් සැප පහසුවෙන් හිඳ ගෙන යෑමට ලැබිණි.මා ඉදිරිපිට සිටියේ භික්ෂූන් දෙනමකි. අප ගමන්ගත් දුම්රිය මැදිරියේම අයෙක් දේශපාලන කථාබහට වැටී, සේනානායක මැතිතුමා සහ අළුත් පොලිස් ඉන්ස් පැක්ටර් ජනරාල්තුමා ගෙනුත් රටට සිදුවන සේවය විස්තර කළේ ය. මේ අවස්ථාවේ දී වියරු වැටුන තැනැත්තෙකු මෙන් කෙනෙක් (වාම පාක්ෂිකයෙක්) ඔහු හා වාදයට වැටුනි. වාදය ඉතා උග්‍රවිය. විශාල කන්දකින් වැටෙන වතුර ඇල්ලක් මෙන් විය. වාම පාක්ෂිකයා කරගෙන ගිය කථාව හැම කරුණකින්ම ඔහුගේ වාසියට පෙරළා ගැනීමට ඔහු උත්සහ දැරුවේය. මෙහිදී මා පසෙකින් සිටි ” භික්ෂුව” අනික් භික්ෂුව අමතා “අර එක්කෙනා ( වාම පාක්ෂිකයා) කියන දේ සම්පූර්ණ ඇත්ත” ආදී නොයෙක් දේ කියනු ඇසුණු මට මෙතෙක් වේලා ඒ දෙනම කෙරේ තිබුණු ගෞරවය අතුරු දහන්විය.
නවය හමාරට (9 1/2) පමණ බදුල්ලට පැමිණියෙමි. මෙහිදී මුතියංගන චෛත්‍ය රාජයා වැඳ පුදා ගෙන කෑම කා දවල් 10 1/2 පමණ ගමනාරම්භ කළෙමු. බදුල්ල තැපැල් කාර්යාලය අසල දී අප නඩේට තව තිදෙනෙකු හමු විය. “රිදීපහන” නම් වූ ස්ථානය අසල නැවතී පන්සිල් රැගෙන දෙවියන්ට පින්දී අපි ඉදිරිය බැලුවෙමු. දුන්හින්ද වතුර ඇල කඩා වැටෙන ශබ්දය සවන් බිහිරි කරවන සුළු විය. ඒ දෙස නෙත් හෙළු නමුත් නොපෙනුණි. තව ටික දුරක් යන විට ඈතින් එන පෙළහරක් දුටිමි. පෙළහැරට ප්‍රථම ගමන් කළ අපි තැනින් තැන විඩා හරිමින් ඉදිරියට ම ගමන් කළෙමු.මන්ද මාරුතය ග්‍රීෂ්මය මැඩ පැවැත්විය. වැඩි වේලාවක් ගත නොවීය. අහස කළු කරමින් විදුලි කොටමින් විශාල වර්ෂාවක් වැස්සෙන් අසල ගේක ආලින්දයේ නැවතුනෙමි. කෙනෙක් දෙවියන් පිහිට යැදීය. කෙනෙක් මීට පෙර කිසි වන්දනා සමයක නොවැස්ස බව කීය. කෙසේ වෙතත් වර්ෂාව අඩු උන පසු නැවතත් ගමනාරම්භ කළෙමු. 4 1/2 විතර ඇති අපි තල්දෙන පන්සලට පැමිනෙනකොට. මෙතෙක් අප ආ දුර සැතපුම් 10 1/2 ක් පමණ ඇත. මේ ග්‍රාමය අවට සැම තැන මිටි තල්ගස් හා සමාන ගස් වර්ගයක් වැවී තිබේ. මේ නිසා මීට තල්දෙන කියා ව්‍යවහාර කරන්නේදැයි මා සිත සැකයක් ඉපදිණි. තේ බී සවස 5 1/2 පමණ තල්දෙනින් පිටත් උන අපි රාත්‍රි 6 3/4 ට පමණ සැතපුම් 4ක් පමණ දුර ගෙවා මීගහකිවුලට පැමිණියෙමු. රාත්‍රි කෑම කෑවේ මෙහිදී ය. සෑම තැනින්ම කවිපොත් කියන හඬ ඇසේ. එය මැඩ පවත්වාගෙන බඩු විකුණන්ගේ හඬ ඇසේ. ගමන් විඩාව හැරිමට මම හිඳ ගත්තෙමි. ආපසු එතනින් පිටත් වූයේ රාත්‍රී 9ට පමණ ය. මෙතැන සිට හිමයේ ගමන ආරම්භවිය. නඩ 7ක් පමණ පෙල සෑදී එක්කෙනෙකු කියන කවිය අනුගමනය කරමින් සියල්ලම කිය කියා ගියෙමු. ඇල දොල ආදිය පසු කරමින් අළුයම 4ට පමණ පඟරගම්මන නම් ගම්මානයට පැමිණියෙමු. මෙහිද විඩා හැර ක්‍රම ක්‍රමයෙන් ගන වනාන්තරයට ඇතුල්වීමු. මෙතැන් සිට අප 6 දෙනා පමණකි ගමන් ගත්තේ. මහවැලි ගඟ පහතට ගලා බසිනු ඇසේ. අළුයම වන පක්ෂින් එකි`නෙකා අවදිවී මධුර වු ගී ගායනයෙන් තෙහෙට්ටුවී සිටි අපි කුල්මත්කරන්නට පටන්ගති. එළිවුන සැනකින්ම විශාල හුළඟක් වනාන්තරය පිසගෙන මහා වෘක්ෂ කඩා බිදගෙන හමන්නට විය. අපිට හමුවිය යුතුව තිබුන අන්තිම ඇල අසලට අපි පැමිණන විට එලිවුනි. එය දම්බරාව නමි.
2 වෙනිදා
එල්ලෙන පාලමින් ( Monkey bridge) එතෙර උන අපිට ටික දුරක් ගමන් කරත්ම මහියංගන චෛත්‍ය ස්ථානයේ ඝණ්ඨා නාදය ද බෙර ශබ්දය ද ඇසෙන්නට උනි. තේ වත්කර ගැනීම පිණිස වේලුන දර ටිකක් අහුලා ගැනීම පිණිස වනාන්තරය තුළට ප්‍රවිෂ්ඨ උනෙමි. මෙහිදී අපේ සහකාරයෙකු මත වැටෙන්නට ගිය ගසකින් යන්තම් තුවාල ලැබ බේරුනේ. අපගේ ගමනේ කෙළවර ඉතා කිට්ටු විය. චෛත්‍ය රාජයා දකිත්ම මෙතෙක් ඇතිවුනු ගමන් තෙහෙට්ටුව නැතිවී බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පිරී ඉතිරී ගිය හදවතින් යුතුව මලුව තුළට ඉතා ශ්‍රද්ධා භක්තියෙන් ඇතුල්ව වාඩියක් ගසාගෙන එහි ලැගුම් ගතිමි. ඉක්බිති තේ බී මහවැලි ගංතෙරට ගොස් නා පිරිසිදුවී වාඩියට පැමිණ මළුව වටේ ඇවිදීමට ගියෙමි. හුළං සැරට කඩා වැටුන බෝ අත්තකට යටවී මියගිය උපාසිකාවක් ගැන කරුණු අසන්නට ලැබුණේ මේ අවස්ථාවේ ය. දවල් කෑම ගත් පසු හවස්වන තුරු මළුව සෑම තැනම නැරඹුවෙමි. මෙහි අශෝභන ක්‍රියාවක් නම් මළුව වටේ විජ්ජා පෙන්වීමට ඉඩ දීම, නොයෙක් දේ මහජනයාට කරදරවන අන්දමින් විකුණන්නට ඉඩදීම කතුරු ඔන්චිල්ලා ආදී විනෝදකාමීන්ට සුදුසු දේ මළුවේ ක්‍රියාකරවීම ආදී දේවල් ය. මා බලවත් සංවේගයට මේ නිසා පත්වූයෙමි. නොමඟ යන මහජනයා නිසි මඟ ගමන් කරවීමට ප්‍රබල ප්රචාරක ව්‍යාපාරයක් කරතොත් හොඳයැයි හැඟුණි. ක්‍රම ක්‍රමයෙන් සවස් විය. සවස්වෙත්ම මළුව පිරීසිටි 15,000ක පමණ සෙනඟ එක් එක් නඩ වශයෙන් මල් පහන් ආදිය රැගෙන මළුව වටේ පෙළහැර කිරීමට පටන් ගති. ඇත්තෙන්ම මේ දර්ශනය ඉතා සිත්කළු ය. මේ අවස්ථාවේ මා සිතෙහි ඇතිවූ අදහස් විස්තර කිරීමට යෑම විහිළුවකි. සුළඟද නැවතුනි. අප සහකාරයෝ ද වැඳ පුදාගැනීම පිණිස චෛත්‍යරාජයාණන් වෙත ගියෙන් අප බඩු බලාගැනීම පිණිස මම වාඩියෙහි නැවතුණෙමි. හුදකලාව හිඳගෙන දහස් ගණන් මුවවලින් පිටවුනු “සාධු” නාදය මැද්දේ මම බලවත් කල්පනාවක යෙදුනෙමි. ශ්‍රී සඟබෝ රජතුමා ළදරු කල කෙළිදෙලෙන් මා හිද ගෙන සිටි භූමියෙහි හැසිරුන සැටිද දුටුගැමුණු රජතුමා මහජනයා මෙහෙයවා චෛත්‍ය ප්රතිසංස් කරනය කරවන සැටිද ඒ වේලෙහි මා සිත් හි චිත්‍රපටියක මෙන් පෙනෙන්නට විය. නිශ්චලව ගිය මගේ සිත අවුල් වුනේ අප සහකාරයෝ වැඳපුදාගෙන පැමිණි පසුය. මම නැගිට පහනක් ද රැගෙන චෛත්‍යරාජයා වැන්දෙමි. පහන ද චෛත්‍යරාජයා ලඟ දැල්වූයෙමි.ඉන්පසු විහාස්ථානය ද වැඳපුදා දේවාලයට ගොස් දෙවියන්ට ද පින් දී ආපසු වාඩියට පැමිණියෙමි. චෛත්‍යරාජයා හාත්පස දල්වන ලද පහන් ආලෝකයෙන් ඒකාලෝකවිය. මද රත් පැහැයෙන් චෛත්‍යරාජයා බැබලෙන්නට විය. විශ්මයට පත් මම මුඛය අයා ඒදෙස බලාගෙන සිට දීර්ඝ හුස්මක් හැර හිඳගත්තෙමි. රාත්‍රි 11 1/2 විතරද චෛත්‍යරාජයා වැඳගත්තෙමි.
3වෙනිදා
ආපසු ගෙදර ඒමට නම් මට නොසිතේ. නමුත් රාත්‍රි 12 3/4 පමණ අප නඩය ගෙවල් බලා ඒමට සැරසුනෙන් මම ද ලෑස්තිවී නැගිට්ටෙමි. චෛත්යරාජයාගෙන් වෙන් වෙත් ම මා මුවින් පිට උනේ ‘ තව වරක් වැඳපුදා ගැනීමට මට අවස්ථාව ලැබේවා’ යන වචන ටික ය.ශෝකයෙන් කවලම් වී තිබුනු දීර්ඝ හුස්මක් හෙළා මළුවෙන් පිට උනෙමි. ක්‍රම ක්‍රමයෙන් ඝණ්ඨා නාදය ද සාධු ශබ්දය ද නො ඇසී ගියෙන් දුකෙන් උව ද වහා ගමන් කරමින් පඟර ගම්මනට එලිවනවිට පැමිණ විඩා හැර කෑම කා නැගිට ගමනාරම්භ කළෙමු. මැදඔයට පැමිණ නා පිරිසිදු වී දවල් 12ට මීගහකිවුලට අමාරුවෙන් ආවෙමු. දවල් කෑම කා ටික වේලාවකින් කඩපෙල වෙත යන අතර බණ්ඩාරවෙල අප්පුහාමි අයියා හම්බවී කතා කළෙමි.අයියලා ඉදිරි බැලූ ටික වේලාවකින් අපිද යන්ට පිටත් උනෙමු. තෙහෙට්ටුව අධික උවද තල්දෙනට පැමිණෙන කොට හැන්දාවේ 6 පමණ විය. තල්දෙන විහාරය වැඳපුදා ගෙන 7ට පමණ පිටත් උනෙමු. රාත්‍රි 10 1/2 ට පමණ තැනක ලැගුම් ගෙන උයා කා එතනින්ද ඉදිරිය බැලූ අපි බොහෝ මහන්සියෙන් රිදීපාන කදුවැටිය නැග බදුළු නගරයට උදේ 5 1/4 පැමිණියෙමු. මෙහිදී තිදෙනෙක් අපෙන් වෙන්විය. උදේ දුම්රියට නැග ගැනීමට බැරි ඌයෙන් දවල් කෑම බදුල්ල දුම්රිය පොළ අසළ උයා ගෙන කෑවෙමු. මුතියංගන චෛත්‍යද වැද පුදාගෙන බදුලු ඔයෙන් නා හැන්දෑවේ දුම්රියෙන් නුවරඑළිය බලා පිටත් උනෙමු. 6 1/2 බදුල්ලෙන් පිටත් උන දුම්රිය රෑ 11.10 ට නානුඔයට පැමිණියාය. හුළං වැස්සට නානුඔයේ සිට නුවරඑළියට එනතෙක් අපි අසු උනෙමු. අප නඩයේ සියලු දෙනාම නෙවෙස්වලට ගියෙන් අන්තිමට හුදකලාව මම නිවසට පැමුණියේ රාත්‍රි 1ට ය.
නිමි
බණ්ඩාර මනතුංග