අපට නිතර දැනෙන වේදනා සහ කැක්කුම් අතර කොන්ද ආශ්‍රිතව හට ගන්නා වේදනා, කැක්කුම් සුලබ ය. වැඩි දෙනෙක් නොසිතුවත් මෙසේ වීමට හේතුව එදිනෙදා අප අනුගමනය කරනු ලබන වැරදි ඉරියව් වේ. මේ නිසා හටගන්නා ස්නායු ගැටලු සහ රෝගාබාධ රැසකි. මේවා ප්‍රධාන වශයෙන් බෙල්ල සහ කොන්ද ආශ්‍රිතව හට ගන්නා ස්නායු ආබාධ වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ වැරදි ඉරියව් හේතුවෙන් කොන්ද ආශ්‍රිතව හටගන්නා කැක්කුම් සහ රෝගාබාධ ගැන ය.
කොඳු ඇට පෙළ සෑදී ඇත්තේ උණ ගසක පුරුක් පිහිටන ආකාරයට බොහෝ දුරට සමාන ව ය. උණ පුරුකේ ගැට්ටෙන් දළු දමන අයුරින් කොඳු ඇට දෙකක් අතරින් ස්නායු පිටතට ගමන් කරයි. මෙසේ පිටතට පැමිණෙන ස්නායු පොල් අත්තක ඉරටු දෙපසට බෙදී යන්නා සේ වමටත් දකුණටත් බෙදේ. මොළයේ සිට පැමිණෙන මහා ස්නායුව හෙවත් සුෂුම්නාව ගමන් කරන්නේ කොඳු ඇට එකිනෙක එක් වීමෙන් සෑදෙන උමගක් වැනි මෙම සිදුර දිගේ ය. ඉහතින් සඳහන් කළ ස්නායු එකිනෙක බෙදී යන්නේ මෙම ප්‍රධාන ස්නායුවෙනි.
තුනටියේ, එනම් කොඳු ඇට පෙළේ පහත කශේරුකා අතරින් කකුල් දෙකට අදාළ ස්නායු බෙදී යයි. ඒ වම් පැත්තට පහක් සහ දකුණු පැත්තට පහක් වශයෙනි. මෙම ස්නායු තට්ටම යටින් ගොස් කලවා හරහා බත්කෙණ්ඩ, පිටිපතුල හා යටි පතුල තෙක් ගමන් කරයි.
කිසියම් හේතුවක් මත ගැස්මක්, සෙලවීමක් වැනි දෙයක් නිසා මෙම ස්නායු ගමන් කරන කශේරුකා දෙකක් අතර ස්නායු තෙරපුමක් ඇති වුවහොත් තදබල කැක්කුමක් සමගින් තට්ටම යටින් ඇති වන අධික වේදනාවක් සහ හිරි ගතියක් දැනිය හැකිය.
ගුද මාර්ගය සහ මුත්‍රා මාර්ගයට අයත් ස්නායුවක් කිසියම් ආකාරයකින් තෙරපුමකට ලක් වුවහොත් වැසිකිළි යාමේ සහ මුත්‍රා කිරීමේ ගැටලු ඇතිවීමට හැකියාව තිබේ.
ඇතැම් අයට විනාඩි පහක් දහයක් එක දිගට සිටගෙන සිටීමට නොහැකි වන සේ පාදවල අධික වේදනාවක් දැනෙන්නේ මෙම ස්නායුවක් තෙරපුමට ලක් වීම නිසා ය. සමහර රෝගීන්ට ටික දුරක් ඇවිදගෙන යන විට අධික වේදනාවක් දැනීම නිසා ඇවිදීමේ අපහසුතා පැන නගී. නමුත් ඇවිදීම ආරම්භ කරන අවස්ථාවේ දී කිසිදු වේදනාවක් නොදැනේ. මේ නිසා ඇවිදීම නතර කර වාඩිවීමට ඔවුන් පෙළඹෙනු ඇත.
නමුත් කොන්දේ කැක්කුමට එකම හේතුව ස්නායු ආබාධයක් නොවීමටද පුළුවන. ස්නායු නොවන බාහිර වෙනත් කොටස්වල රෝගාබාධ නිසාද කකුලේ හෝ කොන්දේ කැක්කුම් ඇතිවිය හැකිය. නමුත් එය තීරණය කළ යුත්තේ වෛද්‍යවරයකු විසිනි.
කොඳු ඇට පෙළ ගැස්මකට ලක් වී කොන්දේ කැක්කුම ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අප විසින් අනුගමනය කරන වැරදි ඉරියව් ය. කොන්ද සෘජුව තබාගෙන වැඩපල කළ හැකි නම් කොන්දේ සහ තුනටියේ ආබාධවලින් බොහෝ දුරට ඈත්වී සිටීමට හැකියාව ලැබේ. එදිනෙදා ජීවිතයේදී අප විසින් වැරදි ආකාරයට කොන්ද භාවිතයට ගනිමින් සිදු කරන ක්‍රියාවන් රාශියක් තිබේ.
නිදසුනක් ලෙස බිම ඇති වතුර පිරවූ රෙදි බේසමක්, ගෑස් සිලින්ඩරයක් වැනි දෙයක් එසවීම සඳහා ඉදිරියට නැවී අදාළ දෙය එසවීම අපට හුරු ක්‍රමයයි. නමුත් මේ තුළින් එක්වරම කොන්දට බරක් දැරීමට සිදුවීම නිසා කොන්ද ගැස්සීමකට ලක්වීමට ඉඩ ඇත. බිම වැටී ඇති ඇල්පෙනෙත්තක් වැනි සැහැල්ලු දෙයක් ගැනීමට වුවද එකවර ඉදිරියට නැමීම නිසා කොන්දට හානි පැමිණිය හැකිය. බරින් වැඩි අය සිහින් අයට සාපේක්ෂව මෙවැනි ගැටලුවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතී.
එසේ නම් මෙවැනි කාර්යයන් නිවැරදිව සිදු කළ යුත්තේ කෙසේද ? අපි දැන් ඒ ගැන විමසා බලමු.
බිම ඇති දෙයක් ගැනීම සඳහා නැවීමේ නිවැරදිම ඉරියව්ව වන්නේ කොන්ද නවන්නේ නැති ව දණහිසින් පහත් වී අදාළ දෙය ඔසවා ගැනීම ය.
රෙදි සේදීම, එළවළු කැපීම, පොල්ගෑම වැනි එදිනෙදා කටයුතුවලදී බංකුවක් වැනි ආධාරකයක් භාවිතා කිරීම හෝ එවැනි කිසිවක් භාවිතා නොකර බිම වාඩිවී එම වැඩ කටයුතුවල යෙදෙන කාන්තාවෝ තවමත් සිටිති. නමුත් මේ තුළින් කොන්දට පහසුවෙන් ආබාධ ඇති විය හැකිය. එනිසා මෙවැනි වැඩ කටයුතුවල දී කොන්ද කෙළින් පිහිටන පරිදි උස මට්ටම සකස් කරගත යුතුය. උදාහරණයක් වශයෙන් රෙදි සෝදන විට කොන්ද නවාගෙන රෙදි සේදීම වෙනුවට කොන්ද කෙළින් පිහිටන අන්දමට ලෑලි තට්ටුවක් වැනි දෙයක් සකසා ගැනීම සුදුසුය. මෙහිදී වතුර හෝ රෙදි පිරවූ බේසම බිම සිට ඔසවා තැබීම නොකළ යුතුය. කළ යුත්තේ ලෑලි තට්ටුව මත බේසම තබා එයට වතුර පිරවීම ය. සෝදා අවසන් වූ පසුව ද බේසම ඔසවා වෙනත් තැනකට රැගෙන යාම වෙනුවට එම ස්ථානයේදී ම බේසමේ කොනකින් ඔසවා අපවිත්‍ර ජලය ඉවතට හැලීම කළ යුතු වේ.
මුළුතැන්ගෙයි එළවළු ආදිය කපන මේසය හෝ තට්ටුව උසින් අඩු වන විට කොන්ද නැවීමට සිදු වේ. එය කොන්දේ ආබාධ ඇති වීමට මඟ පාදා ගැනීමකි. එම මේසය හෝ තට්ටුව අඩුම තරමින් තමන්ගේ පෙකණිය ප්‍රදේශය තරම්වත් උස් කර ගත හැකි නම් කොන්ද නොනවා එම කටයුතු කරගත හැකිය. ගෑස් සිලින්ඩරයක් වැනි දෙයක් තනිව එසවීමේ දී ද කොන්දට විශාල බලපෑමක් සිදු විය හැකි බැවින් එවන් බරැති දෙයක් දෙදෙනකු එක්වී ඔසවාගෙන යාම සුදුසු ය. එදිනෙදා අප කරන වැරදි ඉරියව් භාවිතය නිසා කොන්දට හානි සිදුවීම කෙළවර විය හැක්කේ ශල්‍යකර්මයකින් වීමට පුළුවන. ඒ තුළින් අපහසුතාවයන් රැසකට මුහුණ දීමට සිදුවේ. එබැවින් ඔබ එදිනෙදා කුමන කටයුත්තක නියැලුණත් කොන්ද නොනැවී කෙළින් සිටින සේ නිවැරදි ඉරියව් භාවිත කිරීමට සිහි තබාගත යුතුය. එලෙස නිවැරදි ඉරියව් භාවිත කළ හැකි නම් අනාගතයේ සිදුවිය හැකි කොන්දේ, තුනටියේ ආබාධ රැසකින් මිදී සිටීමට අපට හැකිවනු ඇත.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඉන්දු පෙරේරා