තවත් නියං සමයක් නිමා වන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ අනුව එළැඹෙන වැසි සහිත කාලගුණික තත්වය හමුවේ පෙර නොපැවැති අයුරින් බුදු සමය හා සබැඳි සමාජමය කතිකාවකට ද මුල පිරී ඇත. ඒ පසුගිය කාලය තුළ සමාජයේ ඇතැම් පිරිස්; විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව වර්ෂාව ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගැමි සම්ප්රදායනට අයත් විවිධ ආගමික පුද පූජා සහ යාතු කර්මවල යෙදීම හේතුවෙනි. වර්ෂාව යනු හුදෙක් කාලගුණික සංසිද්ධියක් බවත් ආගමික වත් පිළිවෙත් මගින් වර්ෂාව අයැද සිටීම හුදෙක් අන්ධ විශ්වාස මත පදනම් වූවක් බවත් ඇතැම් පිරිස් පවසනු ඇසේ. එමෙන්ම පසුගිය සමයේ එළැඹි නියඟය මුල් කොට වගා බිම් සඳහා විධිමත් ජල කළමණාකරණ ක්‍රියාදාමයක් නොමැති වීම හේතුවෙන් වලවේ කලාපයේ ගොවීහු පිරිසක් රජයට එරෙහි උද්ඝෝෂණ ද දියත් කළහ. ඒ උද්ඝෝෂණ සඳහා විකල්ප දේශපාලන පක්ෂ සංවිධාන හා කණ්ඩායම් ද නොමඳ දායකත්වය ලබා දුන් බවක් පෙනිණ. එවන් පසුබිමක් යටතේ ඒ ගොවි ජනතාවගෙන් කොටසක් වර්ෂාව පතා දේශීය බෞද්ධ සංස්කෘතියට අයත් වැසි පිරිත් සජ්ජායනා කිරීම් වැනි යාතු කර්ම වලට එක්ව සිටීම ඇතැමුන් ගේ නොරිස්සුමට හේතු වන්නට ඇත.
නමුදු වර්තමාන අධි පරිභෝජනවාදී සමාජය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අධිෂ්ඨාන පූජා,ආශීර්වාද පූජා,කප් රුක් පූජා ආදී වශයෙන් වන මූලික බුදු සමය හා සසැඳිය නොහැකි අසම්ප්‍රදායික ශාන්ති කර්ම සමුදාය තුළ ව්‍යාපාරික හා ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වන බව නොරහසකි.නූතන මධ්‍යම පාන්තිකයන් ගේ ලෞකික අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගත හැකි බව පැවසෙන මෙම ශාන්ති කර්ම කලාව බෞද්ධ භික්ෂුව ගේ නෛසර්ගික උරුමයක් වන ශ්‍රමණ සම්ප්‍රදායෙන් ඉවත්ව අබෞද්ධ පූජක සම්ප්රදායක් වෙතට පිවිසි භික්ෂූන් විසින් මෙහෙයවන බව ද නොරහසකි.එහෙත්, වැසි පිරිත් සජ්ජායනා ආදී සාම්ප්‍රදායික ග්‍රාමීය ජන සංස්කෘතිකාංග ඒ ගණයට ඇද දැමිය යුතු නැත.
වර්ෂාව පතා සිදු කරන අනේක විධ යාතු කර්ම නිවර්තන සහ වියළි දේශගුණය සහිත බොහෝ රටවල ජන සංස්කෘතිකාංගයක් සහ ජන ආගමික ලක්ෂණයක් බව මානව විද්‍යාත්මක හැදෑරීම් වලින් සනාථ වී තිබේ.මෑතක් වන තුරුම අප රටේ වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලයේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව පැවැති ප්‍රබල වර්ෂා යාතු කර්මයක් වූ වැහිබලිය,හා වැහිබලි යාගය එවන් ආගමික මූලයකින් තොර ජන සංස්කෘතිකාංගයකි. මිනිසා ගේ චිත්තාභ්‍යන්තරයේ මුල් බැස ගත් ක්ලේශ මූලයක් වන ‘රාගය’ හෙවත් ලිංගිකත්වය පදනම් කරගත් නාට්‍යානුසාරී යාතු කර්මයක් වූ එය ‘හෙළුවැලි බලිය’ ලෙස ද හඳුන්වන ලදී. එහෙත් ඉන් පරිබාහිර මහනුවර රාජධානි සමයේ වර්ෂා යාතු කර්මයක් ලෙස භාවිතා වූ වැසි පිරිත නම් වන පාලි ගාථා දෙක මෙවර යළි අප රටේ ගොවි ජනතාව විසින් භාවිතයට ගැනීම ඉහත සඳහන් බුදු සමය හා සම්බන්ධ සමාජ කතිකාවට තුඩු දී තිබේ.
“දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ”
“කලට වැසී වසී වා කෙත් වතු සාර වේ වා ලොව සතුටු වේ වා පාලකයෝ දැහැමි වෙත්වා!” යන ඉහත සඳහන් ආශිංසනාත්මක වාක්‍යය ද දේශීය බෞද්ධ සංස්කෘතිය විසින්ම සමාජගත කරන ලද්දකි. එබඳු ප්‍රාර්ථනයකින් වර්ෂාව ලද හැකි බවක් මූලික බුදු සමයට අනුව කෙසේවත් නිර්වචනය කළ නොහැක.එහෙත්, ලොව සෑම ආගමකම පාහේ අඩු වැඩි වශයෙන් සාම්ප්‍රදායික ශාන්ති කර්ම පක්ෂයක් දක්නට ලැබෙන අතර ඒවායින් කොටසක් පසුකාලීනව බෞද්ධ ආරෝපණයන් ද සහිතව ශ්‍රී ලාංකේය සමාජයට අවශෝෂණය විය.වැසි පිරිත ද එවැන්නකි ඒ සම්බන්ධයෙන් කෙරෙන විධිමත් විමර්ශනයකදී පෙනී යනුයේ ඒවා ප්‍රාථමික සමාජයන් හි දක්නට ලැබෙන ජන වන්දනාවන් හි පරිනාමයන් බවය. අප ගේ ශාන්තිකර්ම කලාවේ දී බහුලවම යෙදෙන “බුදුන් ගේ අණ” යන්න ද එවැනි ආරෝපණයකි. කිසියම් කරුණක් මුල් කොට මිනිසුන් තුළ හට ගන්නා මානසික ගැටුම ශාන්තිකර්ම වලදී දෙයාකාරව නිරූපණය කෙරෙන අතර එහි අයහපත් පක්ෂය යක්ෂයා සතු “වෙසමුණි ගේ අණ” වශයෙන් ශාන්තිකර්ම කරලියට නැංවෙයි.ඒ සමඟම ඊට ප්‍රතිරෝධයක් වශයෙන් ඇදුරන් ඉදිරිපත් කරන යහපත් බලය ශාන්ති කර්ම කලාවේ කරලියට නැංවෙනුයේ “බුදුන් ගේ අණ” ලෙසිනි.
බුදු සමය ලොවට හඳුන්වා දුන් ක්‍රිස්තු පූර්ව සය වන සියවසේ භාරතයේ ද කාලගුණයට දේවත්වයක් ආරෝපණය වී තිබිණ. ඊට පූර්වගාමී වෛදික ඉගැන්වීම් වල එන ඉන්ද්‍ර නම් දෙවියා විසින් සමස්ත කාලගුණික සංසිද්ධීන් මාලාවම මෙහෙයවන බවට පැවැති විශ්වාසය බුද්ධ කාලීනව මඳක් පසුබා තිබූ බව කිව යුතු ය. එමෙන්ම අතීතයේ ලොව පැවැති රෝම, ග්‍රීක ආදී දියුණු මිනිස් ශිෂ්ටාචාර බොහොමයකම ඒ වන විට විද්‍යාත්මක පරීක්ෂණයට නතු නොවූ කාලගුණික සංසිද්ධීන් හට දේවත්වයක් ආරෝපණය කොට තිබූ බව පෙනේ.
බුදු දහම යනු දීර්ඝ කාලීනව පැවැති මානව චින්තන ධාරාවට එරෙහි බාධකයක් වූ බවට ඇතැමුන් දක්වන මතය ශාස්ත්‍රීය වශයෙන් පිළිගත නොහැක. බුදු දහමින් සිදුවූයේ දුරාතීතයේ සිට පැවැති මානව චින්තන ධාරාව නම් ජල ප්‍රවාහය වේල්ලකින් අහුරා එය චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරය නම් ඇල දොල ඔස්සේ ජන සමාජය වෙතට යොමු කිරීම් පමණි. එනිසාම වර්ෂාව නම් ස්වභාවික සංසිද්ධිය සම්බන්ධ දේවතා විශේෂයක් පිළිබඳව බුදු දහමේ සඳහන් වේ. සංයුක්ත නිකායට අයත් වලාහක සංයුක්තය නම් කොටසේ සඳහන් අන්දමට වලාහක නම් ආකාශචාරී දෙවිවරු කොටසක් වෙති. සීත වලාහක, උණ්හ වලාහක, වාත වලාහක, වස්ස වලාහක ආදී වශයෙන් නම් කොට ඇති ඒ දෙවිවරුන් අතර වස්ස වලාහක දේවතාවන් ගේ ප්‍රධානියා වනුයේ පජ්ජුන්නය. වලාහක සංයුක්ත අටුවාවේ දැක්වෙන අන්දමට එම දෙවිවරුන් සතුටට පත්ව ක්‍රීඩා කිරීමට පටන් ගැනීමත් සමඟ වර්ෂාව ඇති වේ.මෙය වෛදික පරමේශ්වරයාණන් කෙනකු වන ඉන්ද්‍ර ගේ බලය බෞද්ධ සංස්කෘතිය තුළ දී උප දේවතා කොටසකට පැවරීමකි.
වර්තමානයේ විද්‍යාව යනු හුදෙක් භෞතික චින්තනය මත පදනම් වූ විෂය පථයකි. නමුත් ආගමක් යනු හුදෙක් සමාජය හමුවේ ඉදිරිපත් කෙරෙන දාර්ශනික හා සංස්කෘතික හා සදාචාරාත්මක පිළිබිඹුවකි. එමෙන්ම නිරන්තරයෙන් භෞතික චින්තනයේ ඇලී ගැලීම මත යළිත් මහ වෙහෙසට පත් වන මිනිසා තම දෘෂ්ටි කෝණය වෙනස් කොට ජීවිතය, සමාජය, ලෝකය ආදිය දෙස වෙනත් අයුරකින් බැලීමට පෙළඹීම සාමාන්‍ය තත්වයකි. එහෙත් අවිචාරවත් ලෙසින් එසේ දැකීම ද සාධනීය නොවන බව අවධාරණය කරන බුදුන් වහන්සේ මජ්ජිම නිකායට අයත් චංකි සූත්‍රය මගින් එය හඳුන්වා ඇත්තේ “අමූලිකා සද්ධාය” හෙවත් පදනම් විරහිත ශ්‍රද්ධාව හෙවත් භක්තිය ලෙසිනි. මූලික බුද්ධ දේශනාවට අනුව බුදු දහම භක්ති මාර්ගයක් නොවේ. ඉන් කිසිවකුටත් නිවන් අවබෝධ කර ගත නොහැක. එම භක්ති මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට නම් ප්‍රඥාව යොදා එය කෙමෙන් පිරිපහදු කරගත යුතුය.” සද්ධා ජාතො උපසංකමති” වශයෙන් ගොඩ නංවා ගත යුතු එය භක්තියෙන් බැහැර වූ ප්‍රඥා මාර්ගයක් ලෙස යොදා ගැනීම (ආකාරවතී සද්ධාය) සම්බන්ධයෙන් බුදු දහමේ මනාව විස්තර කෙරේ.
මෙවන් තත්වයක් යටතේ මූලික ජන ආගමික ලක්ෂණ නිෂේධ කොට දහමේ ඊට වඩා දියුණු අදියරයනට එළැඹිය යුතු බවට බුදු දහමින් යෝජනා වී නැත. එය එක් එක් තැනැත්තා ගේ ප්‍රඥාව මත පදනම් වූ පුද්ගල බද්ධ ශක්‍යතාවක් නිසා බුදු දහමින් ඒ සඳහා සැමට විවෘත අවකාශයක් ලබා දී තිබේ.බුදු දහම යනු අනුපූර්වගාමී ශික්ෂා මාර්ගයක් වීම ඊට හේතුව ය. අපගේ මාතෘකාවට පාදක වන බෞද්ධ සමාජයේ භාවිතා වන වැසි පිරිත් ආදී ජන ආගමික ලක්ෂණ කෙරෙහි ධර්ම ශාස්ත්‍රීය ප්රවේශයකට පිවිසිය හැක්කේ එතැනින් ය.
අංගුත්තර නිකායේ තික නිපාතයේ තිත්ථායතන සූත්‍රය මගින් මැවුම්කාර දේව සංකල්පය මුළුමනින් මුසාවක් (පරම වජ්ජ) බව අවධාරණය කරන බුදුන් වහන්සේ නූතනයේ ලොව පුරා දක්නට ලැබෙන සෘතු විපර්යාස හා ගලපා ගත හැකි කරුණු සම්භාරයක් ද දක්වා තිබේ.
අංගුත්තර නිකායේ එන අධම්මික සූත්‍රයෙහි දැක්වෙන ඒ හා සම්බන්ධ ගාථා පාඨයක සිංහල අරුත මෙලෙසිනි.
“මහණෙනි, යම් කලෙක රජ දරුවෝ අධාර්මික වන්නෝ ද ද, රාජපුරුෂයෝ ද අධාර්මික වන්නාහ. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණ ගෘහපතිහු ද අධාර්මික වන්නාහ. බ්‍රාහ්මණ ගෘහපතීන් අධාර්මික වූ කල ගම් දනව් වාසීහු ද අධාර්මික වන්නාහ. ගම් දනව් වාසීන් අධාර්මික වූ කල චන්ද්‍රසූර්යයෝ විෂම ව වැටෙන්නාහ. චන්ද්රසූර්යයන් විෂම ව වැටෙනා කල නක්ෂත්ර තාරකා රූපයෝ විෂම ව වැටෙන්නාහ. නක්ෂත්ර තාරකා රූපයන් විෂම ව ප්‍රවෘත්ත වූ කල දිවා රාත්‍රී කාලයෝ විෂම ව පවතින්නාහ.දිවා රාත්‍රී කාලයෝ විෂම ව පවත්නා කල අර්ධ මාස සහ මාස විෂම ව පවතින්නාහ. අර්ධ මාස සහ මාස විෂම ව පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතින්නාහ. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් සුළං ධාරාවෝ විෂම ව හමන්නාහ. දැඩි හෝ මඳ වූ, නො මග ගත් සුළං ධාරාවන් විෂම ව හමන කල්හි දේවතාවෝ ප්‍රකෝප වන්නාහ දේවතාවන් ප්‍රකෝප වූ කල මනා දහරින් වැසි නො වසින්නේ ය. වර්ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙන්නාහ. මහණෙනි,විෂම බවින් යුතු ශස්යයන් අනුභව කරන මිනිස්සු අල්පායුෂ්ක වන්නාහ. දුර්වණ ද වන්නාහ. දුර්වල ද වන්නාහ. බොහෝ ආබාධ ඇති ද වන්නාහ”.
මේ වන විට කාලගුණික විපර්යාස ගෝලීය අර්බුදයක් සේ පැන නඟිමින් තිබේ.ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ලානිනෝ,එල් නිනෝ ආදී තත්වයන්,හිම කඳු දියවීමෙන් සාගර ජල ස්ථරය ඉහළ නැංවීම ආදී වත්මන් කාලගුණික හා දේශගුණික විපර්යාස දක්නට තිබේ.එමෙන්ම මින් පෙර නොවූ ගෝලීය වසංගත නම් රෝග පීඩා වලින් ද ලෝකය පිරෙමින් පවතිනු දක්නට ලැබේ.ඒ අතර වසංගත නොවන මින් පෙර නොපැවති රෝගී තත්වයන් ද සමාජය පුරා පැතිර යනු පෙනෙයි. මේ සියල්ල සඳහා වන මූල බීජය වනුයේ මිනිස් සිත් සතන් දැවීම බවත් මිනිස් සිත් සතන් නිවීම මුල් කොට සමස්ත ක්ලෝක ධාතුවම මීට වඩා සුපහන් තැනක් කර ගත හැකි බවත් බුදු දහමින් මනාව අවධාරණය කෙරේ.ඒ බව ජාවාරම් කාර භික්ෂූන් විසින් ගිහි සමාජයේ තෘෂ්ණාව කුළු ගන්වන අතරේ බුදු දහමේ මුදු මුල් පවා සිඳලන මායාකාරී ශාන්තිකර්ම කෙරෙහි නතු වන වන බෞද්ධ ජනතාව තරයේ සිතට ගත යුතුය.මෙම පසුබිම වටහා ගැනීමේ අවකාශය පසෙක ලා වැසි ඇද හැළුණේ වැසි පිරිත් නිසාමද? ආදී වශයෙන් වන ගැමි බෞද්ධ සම්ප්රදායේ ගැමි යාතුකර්ම අපහාසයට උපහාසයට ලක් කිරීම සමස්ත සමාජයටම අවැඩ පිණිස වන අවිචාරවත් විචාරීමක් බව ද අවසන් වශයෙන් සිහිපත් කරනු කැමැත්තෙමු.
කදුරුපොකුණේ සුමංගල හිමි