මේ ලෝකයේ කාට,කවදා,කෙලෙස,කුමකින් කුමක් වේදැයි කාටවත්ම කිව නොහැක. අද වන විට අප රටේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ද එය ප්‍රායෝගික යථාර්ථයක් වී තිබේ.
විදුලි කප්පාදුවකට යන්නේ නැතැයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පුන පුනා කීවත් පුන පුනාම රටේ විදුලිය ද බිඳ වැටෙයි. එය කෙසේ වන්නේදැයි ඔහු පවා දන්නවා යැයි සිතා ගත නොහැකි ය.
මේ අතර 24 වැනි සදුදා සිට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කරයි.
එසේම විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ද කියා සිටියේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට තෙල් නොමැති බවයි. විදුලිබල මණ්ඩලයේ බලාගාරවලට අවශ්‍ය වන්නේ ඩීසල් හා දැවි තෙල් ය.
ඉකුත් කාලය පුරාම දැවිතෙල් ලබා ගත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙනි. නමුත් මේ වන විට තෙල් පිරිපහදුව ද වසා දමා තිබේ. එම නිසා දැවිතෙල් නැත.
ඒ අනුව බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් පවා ආනයනය කිරීමට සිදුව තිබේ. බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියා සිටියේ ඩීසල් හා දැවි තෙල් යන ඉන්ධන දෙකෙන්ම විදුලිය උත්පාදනය කළ හැකි බලාගාර වෙනුවෙන් ඩීසල් ලබා දීමට කටයුතු කරන බව ය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග 24 දා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ය. එම සාකච්ඡාව කැදවා තිබුණේම 24 දා සිට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමටත්, 28 සිකුරාදා සිට පැය 4 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවටත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කිරීමත් සමඟ ය.
එහිදි ජනාධිපතිවරයා විසින් විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවීමට තිබු රුපියල් බිලියන 93 ක මුදලක් ගෙවා දමන ලෙසට මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබුණි. එසේම ලංකාවට ආනයනය කොට ඩොලර් නොමැති නිසා පිටත වරායේ නැංගුරම් ලා “ගොඩ බිම දෙස බලා හිඳින” ඉන්ධන නෞකාවෙන් ඉන්ධන ගොඩබෑමට මුදල් නිකුත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.
භාණ්ඩාගාරය මුදල් නිකුත් කිරීමත් සමඟ ඉන්ධන ගොඩබෑම ආරම්භ කළ බව ද උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය. ඉන් ඩීසල් තොගයක් විදුලිබල මණ්ඩලයේ බලාගාර වෙත යොමු කරන බව ද ඔහු කියා සිටියේය. එම නිසා විදුලි බලාගාරවල උත්පාදන කටයුතු සිදුවන බැවින් විදුලි කප්පාදුවකට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇතැයි ද ඔහු කීවේය.
එහෙත්, විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. ඔවුන් කියන්නේ ඒ කතා කොහොම වුණත් රටේ දෛනික අවශ්‍යතාවයට තරම් විදුලි උත්පාදනයක් බලාගාරවලින් නොලැබෙන බවකි. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට තාක්ෂණික දෝෂයකට ලක්ව පවතියි. එම නිසා ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 300 කි. බලාගාරතුනක්ම ඉන්ධන නොමැතිවීමෙන් ජනන කටයුතු වලින් ඉවත්ව තිබේ. එයින් අහිමි වන මෙගාවොට් ප්‍රමාණය හාරසිය පනහකි. කැළණිතිස්ස, සපුගස්කන්ද හා වරායේ ඇති පාවෙන විදුලිබලාගාරය ද ඉන්ධන නොමැතිකමින් විදුලි ජනනයෙන් ඉවත්ව ඇත.
මෙසේ අහිමි වන මොගා වොට් සංඛ්‍යාව නිසා හේතුවෙන් පද්ධතිය සමතුලනය කරගත නොහැකිව ස්වයංක්‍රියව විදුලිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් වරින් වර කොටස් වශයෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසවල දී අධික වර්ෂාපතනයක් ජල විදුලිබලාගාර ආශ්‍රීත ප්‍රදේශවලට ලද බැවින් ජල විදුලියෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමට විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය කටයුතු කළේය.
තාප බලාගාරවලට ඉන්ධන ලැබීමට අවම වීම නිසාත් ජල විදුලි නිෂ්පාදනය ද ඉහළ නංවා තිබුණි එම කාරණය හේතුවෙන් බලාගාර ආශ්රිත ප්‍රදේශවල ජල ධාරිතාවය ශිග්ඝයෙන් පහළ බැස ඇති බව වාරි ඉංජිනේරුවරු සදහන් කරති.
මීට පෙර කාලවල දී ජලාශවල ජල මට්ටම පහළ බැසීමට පටන් ගන්නේ මාර්තු මුල සිට ය. එහෙත් මෙවර එය ජනවාරි සිටම ආරම්භ වී තිබේ.එයින් පැහැදිලි වන්නේ මින් පසු ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම අවම වනු ඇත.
වර්ෂා අධික කාලයේ ජල විදුලිය නිෂ්පාදනය 80% ක අගයක් ගනියි. එම කාලයේ තාප හා ගල් අගුරු බලාගාර ආශ්රිත විදුලි නිෂ්පාදනය 20% ට 30% ට අඩු අගයක් ගනියි. නමුත් මේ වන විට එය දෙපැත්ත මාරු වී තිබේ. ජල විදුලි නිෂ්පාදනය 30% ට අඩු සංඛ්‍යාවකට පහත බැස ඇත.
මේ සියළු කාරණා හමුවේ විදුලිබල මණ්ඩලයේ තාප බලාගාරවල විදුලි නිෂ්පාදනය ද පහත බැස ඇත්තේ ඉන්ධන නොමැතිකම හේතුවෙනි. ඉන්ධන නොමැතිවීමත් ජල විදුලිය නිෂ්පාදනය අවම වීමත් හේතුකොට ගෙන මෙම අර්බුදය මතුව ඇතත් එයට විසඳුමක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.
ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි විදුලිය කප්පාදු නොකර සිටීමට නොහැකි වන්නේ ද මෙම කාරණය මතය.එකි`නෙකා අඳුරේ අප පත ගානු විනා විදුලි අර්බුදයෙන් මිදෙන්නේ කෙසේද? යන්න ගැන කිසිවෙකුටත් අදහසක් ඇති බවක් මැති ඇමතිවරුන් ගේ ප්‍රකාශවලින් පෙනෙන්නට නැත.
මීට පෙර රට තුළ විෂකාරක පොල්තෙල් බෙදා හැරීම මත ඒ තත්වයෙන් අත් මිදීම සඳහා ජනතාව ගෘහස්ථ මට්ටමින් සෙක්කු තනා පොල් තෙල් සිඳගත යුතු බවට වත්මන් රජයේ සෙවන යට පෝෂණය වන වෛද්‍ය වෘත්තීය සමිතියක සභාපති වරයා කීය.
එහෙත්, මෙම විදුලි බල අර්බුදය හමුවේ විදුලි පහන් වෙනුවට අපේ පැරණි ජන සමාජය භාවිතා කළ දේශීය කැකුණ තෙල් පහන් භාවිතා කොට දේශීයත්වය ඔප් නංවා ගන්නා ලෙස ලෙස ජනතාවට උපදෙස් දීමට එවැනි “රත්තරන් මොළයක්” වත් පණ ගැන්වී ඇති බවක් නොපෙනෙයි.
ලසන්ත වීරකුලසූරිය