විදුලි බිල වෙනුවෙන් හඬ නඟන ජනතාවට දේශපාලන එඬේරුන් අවශ්‍ය නැත

කාටත් වැටහෙන ලෙසින්ම කිවහොත් රටේ බහුතරයකට “එලොව පොල් පෙන්වමින්” නැවතත් විදුලි බිල වැඩි වී තිබේ. ඒ 18% කිනි. මෙවර වැඩි මිල වැඩිකිරීම මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑකම මත සිදුවූවක් බව රටම දනී. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදලෙහි දෙවන වාරිකය මුදාහැරීමට නම් විදුලි බිල නැවත වතාවක් වැඩි කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා තිබේ.ආණ්ඩුව එළිපිටම මේ ඉටු කරන්නේ එම කොන්දේසියයි.
මෙම විදුලි බිල වැඩි කිරීම කලාපීය,ආසියාතික සේම ගෝලීය මට්ටමින් විමසා බැලෙන විට ද සැළකිය යුතු ඉහළ යාමකි.මෙලෙස විදුලි බලය, ඛනිජතෙල් සහ ජලසම්පාදන ආදී අත්‍යවශ්‍ය මහජන සේවාවන් නියාමනය කෙරෙන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට ආණ්ඩුවේ “ඔඩොක්කු කුක්කෙකු” ගේ තත්වයට පත්ව ඇති බවක් පෙනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රජයට සිදුව ඇත. රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් අතිශය පීඩාවට පත් කරවන දුගීන්ගෙන් පිරීගත් පොහොසත් රටක් මවා පෙන්වීමේ මෙම වෑයම මෙලෙස ක්‍රියාවට නැංවෙනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය වාරික ඔස්සේ රටේ පවත්නා බංකොලොත් භාවය තුරන් කර ගැනීමට බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත්, මෙම සංවර්ධන ප්‍රයත්නය “අටුව කඩා පුටුව සෑදීමකට” වැඩි යමක් නොවන බව අපගේ විශ්වාසයයි.
අප රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් සැළකිය යුතු කොටසක් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් වන ජල විදුලියෙන් සපුරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ආකරුණික ලෙස නොසළකා හැර තිබේ. ඒ සඳහා ආසන්නතම නිදසුන වනුයේ ලංකා විදුලි බල මණ්ඩලය සතු සමනල වැව ජලාශයේ දියවර වත් නිසි ලෙස රැක ගැනීමට මණ්ඩලය අපොහොසත් වීම ය. මේ හේතුව නිසා ගල් අඟුරු, ඩීසල්, දැවි තෙල් ආදී බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට යාම නිසා විදුලිබල මණ්ඩලයට සුවිසල් අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබේ. එමෙන්ම ඒ බලශක්ති ප්‍රභවයන් උපයා සපයා ගැනීමේ දී මෙන්ම පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් වලදී සිදුවන දූෂණය, නාස්තිය,අක්‍රමිකතා සුළුපටු නොවන බව ප්‍රකට කරුණකි. නමුදු ඒ සියලු වස් දොස් මේ වන විට රටේ සාමාන්‍ය මහජනතාවගේ කර මත පැටවී තිබේ.

විදුලි බිල වැඩි කරන හැම අවස්ථාවකම බලශක්ති ඇමැතිවරයා මතුරන මන්තරයක් තිබේ.එනම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය සියයට 70 දක්වා ඉහළ නංවන බවයි. එසේම ඉන්පසු ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර “විදුලි මාෆියාව” දුරින් දුරුවී යන බවත් ඔහු කියයි. නමුත් මේ සියළු කයි කතන්දර මැද වුවද අද අප රටේ ජනතාව ගෙන් බහුතරයකට තම නිවසේ විදුලි පහන් දැල්වෙනු දැකීම, විදුලි පංකාවක් කැරකැවෙනු දැකීම බඩපපුව පත්තු වන කරුණක් වී තිබේ.එමෙන්ම විදුලි බලය යොදා සිදු කෙරෙන සකලවිධ නිෂ්පාදන,කර්මාන්ත ක්‍රියාවලියසේම එම ස්ථාන සහ ආයතනවල විදුලි පරිභෝජනය ද මේ වන විට මුළුමනින්ම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

මේ අතර අප රටේ ජනතාව අත්විඳින මෙම අතිශය පීඩාකාරී තත්වයන් හමුවේ ජනතා විරෝධතා ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඉස්මතු වනු පෙනේ.එහෙත්, මේ සෑම විරෝධතාවයක්ම පාහේ ජාතික ජන බලවේගය සහ සමගි ජනබලවේගය මුල් කොටගත් දේශපාලන කඳවුරු තුළින් සැළසුම් කෙරෙන ඒවා බවද පෙනේ. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අරමුණ මෙම විදුලි ගාස්තු අර්බුදය හමුවේ ආණ්ඩුව ලවා ජනතාවට කුමනාකාර හෝ සහනයක් ලබා දීම ද නැතහොත් වත්මන් ආණ්ඩුව පෙරලා දමා තම පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ද යන්න සම්බන්ධයෙන් මැදිහත්ව සිතා බලනු වටී.

ඕනෑම ජන සමාජයක කවර හෝ හේතුවක් මත පීඩනයට ලක්වන කණ්ඩායම් වලට එම පීඩනයට සහ පීඩකයන්ට එරෙහිව නැගී සිටීමේ දැඩි මානසික පෙළඹීමක් සේම මූලික හිමිකමක් ද තිබේ. එසේම එසේ නැඟී සිටීම පිණිස පුද්ගල, පවුල්, ප්‍රජා, සමාජ ආදී වශයෙන් සුදුසු ඕනෑම ව්‍යුහයක් සකසා ගැනීමට ද පුළුවන. මන්ද යත් තමන් අත් විඳින පීඩනය හමුවේ ඊට එරෙහි ස්වභාවික ප්‍රතිරෝධයක් පළකිරීම තිරිසන් සතුන් කෙරෙන් පවා පළවන අතිශය ස්වභාවික චර්යාවක් බැවිනි.
මෙවන් තත්වයක් තුළ එවන් ජනතා විරෝධයන් කළමණාකරණය කිරීමට හා ඊට නියාමනයක් ලබාදීමට අමුතුවෙන් පක්ෂ දේශපාලන හස්තයක් අවශ්‍යද? යන්න සිවිල් පුරවැසියන් තව දුරටත් සිතා බැලිය යුතු ය. එවිට තමන් එම පීඩනය හමුවේ විරෝධයක් ප්‍රතිරෝධයක් එල්ල කරනුයේ තම ස්වභාවික අවශ්‍යතාව නිසා ද නැතහොත් තමන් ඒ සඳහා මෙහෙයවන දේශපාලන කඳවුරේ බලපෑම නිසා ද යන්න සිතා බැලීමට ඊට එක්වන පුරවැසියාට වුව සිදුවනු ඇත. එමෙන්ම තමන් කිසියම් දේශපාලන පක්ෂයක කඳවුරක උසි ගැන්වීමකට වයින් කිරීමකට ලක්ව මහ මඟට බැසීමට ,කිසියම් පක්ෂ සාමාජික සන්නාමයක්,හංවඩුවක් තබා ගැනීමට නොකැමැති විශාල පිරිසක් ද වත්මන් සමාජයේ සිටින බව අප අමතක නොකළ යුතු ය.

නිදහස් ශ්‍රී ලංකාවේ පහළ වූ අදක්ෂතම හා අකාර්යක්ෂම පාලකයා වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපා හැරීමට මුල් වූ එෛතිහාසික ගාලු මුවදොර අරගලය ඇරඹෙන ලද්දේ හුදෙක් නාගරික මධ්‍යම පාන්තික ජන අරගලයක් වශයෙනි. එහෙත්,එලෙස නමින් ජන අරගලයක් ඇති වීම සම්බන්ධයෙන් ඔල්මොරොන්දම් වූ විකල්ප දේශපාලන පක්ෂ පළමුව ඊට අකුල් හෙළන්නට මාන බලා අරගලයේ ජවය ශක්තිය මෝදුවන අතරේ “කපන්නට බැරි අත සිඹීමේ” න්‍යාය අනුව හීන් සීරුවේම නිර්දේශපාලනික සිවිල් ජන අරගලය තුළට රිංගා ගනු අපි පැත්තකට වී බලා සිටියෙමු. එමෙන්ම ඉන් නොනැවතුණු ඔව්හු එම ජන අරගලයේ නියමුවන් තමන් බව පවසමින් අරගලයට හොර උප්පැන්න සකස් කිරීමට දැරූ වෑයමද මෙරට බොහෝ දෙනෙකුට අමතක නැත. ඒ අනුව මෙරට මධ්‍යම පාන්තික සිවිල් ජනතා බලය කේන්ද්‍රීය කරගත් ගාලු මුවදොරට පසුව කුඩු කාරයන්,පික්පොකට් කාරයන් සේම අවස්ථාවාදී දේශපාලුවන් රිංගා ගැනීම නිසා ද එහි ජවය ශක්තිය හීන වූ බව අපගේ වැටහීම ය.

ඒ අනුව මේ අවස්ථාවේදී ද විදුලිබිල ඉහළ නැංවීම මත හටගත් ජනතා පීඩනය දේශපාලන සන්නාමකරණයට ලක්කිරීමෙන් පීඩනයෙන් පෙළෙන ජනතාව තම තමන්ගේ කඳවුරු තුළට ගාල් කර ගැනීමෙන් තමන්ට දේශපාලන වාසි පිළිබඳවසේම සිදුවන සමාජමය අවාසිය පිළිබඳව ඔවුන් මීට වඩා සද්භාවයෙන් යුතුව සිතා බැලිය යුතුබව අපගේ වැටහීම ය නාඩගම් කලාවේ එන කෝලමා;බහුබූතයාට සමාන ඇඳුමකින් සැරසුණු සාරවිට වෙළඳුන් මීට දශක කිහිපයකට පෙර කුමන හෝ කරුණක් මුල් කොට ජනතාව රැස්වන ස්ථානවල තම මුණි ගෙඩිය සොලවමින් ඒ මේ අත කැරකුණු අන්දම අපට මතක ය.එහෙත්, එසේ ජනතාව රැස් ව සිටිනුයේ ඉරිදා පොලෙන් බඩු ගැනීම සඳහා ද නැතහොත් සුවිසල් මාර්ග අනතුරක් සිදුව ඇති අයුරු දැක බලා ගැනීමට ද යන්න සාරවිට වෙළෙන්ඳාට අදාල නැත.ඔහුට උවමනා එසේ කවර කරුණක් මුල්කොට හෝ රැස් වූ ජනයාට තම සාරවිට ටිකක් විකුණා ගැනීම ය.ඒ අනුව බලන විට මෙසේ ජනතා පීඩනය තම තමන් ගේ දේශපාලන පක්ෂ වලට අනුව සන්නාමය කිරීමට සැරසෙන්නවුන් අපට පෙනෙනුයේ ද “දේශපාලන සාරවිට වෙළඳුන්” ලෙසිනි.

ලොව දියුණු සමාජයන්හි සිවිල් පුරවැසියා යන භූමිකාව පාක්ෂිකයා; ඡන්ද දායකයා යන භූමිකාව අබිබවා වෙසෙසින් කැපී පෙනෙන බව අපි දනිමු. එහෙත්, අප රටේ වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ පුරවැසි ගොඩට වඩා ඡන්ද දායක ගොඩ වැඩිකර ගැනීමට මාන බලන බලවේග බොහොමයක් තිබේ. ඒ අනුව ජනතාව අත්විඳින අනේක විධ පීඩනයන් හමුවේ ජනතාවට තම අභිමතය අනුව සිවිල් බලය නිදහසේ පාවිච්චි කිරීමට ඉඩහැරීම අප රටේ වත්මන් දේශපාලන ක්‍රියාධරයන්ගේ වගකීමක් බව කිව යුතු ය. එමෙන්ම ඡන්ද දායකයා යන පටු සීමාවෙන් ජනතාව මුදාගෙන ඔවුන් සිවිල් පුරවැසියන් ලෙස නඟා සිටුවීම පිණිස කැපවීමද මේ වන විට ඈලි මෑළි දුබල බවට පත් වෙමින් හිඳින අප රටේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් නොපිරිහෙළා ඉටු කළ යුතු යුතුකම් හා වගකීමකි. අප එසේ පවසනුයේ කිතුණු දහමේ ආගමික සහ ආධ්‍යාත්මික වශයෙන් මිස ලෞකික හා දේශපාලනික වශයෙන් අප රටේ ජනතාවට “යහපත් එඬ්රුන්” අවශ්‍ය නොවන බැවිනි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර