විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිතකළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා

රටේ සෑම ජනකොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමින්.

ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිතකළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමේ ආකාරයද,පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මේ සාකච්ඡාවේදී සලකා බැලුණ බවයි සඳහන් වෙයි.

පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළද එම මුදල්ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගතඅරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදාගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වී තිබේ.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබාදෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත්මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සඳහන් කළ බවයි සඳහන් වෙයි.

දැනට පවතින සහනාධාර ලබාදෙනක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩුහඳුනා ගනිමින් සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කර ගැනීමේ හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වී තිබේ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශ ලේකම්, මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී තිබේ.

කාලීන පුවත්