රට රටවල් අතර යුද ගැටුම් ගැන නිතර වාර්තා වන මේ කාලයේ වෙනිසුවෙලාව සහ ඒ ආසන්නයේ පිහිටි ගයනා රාජ්‍යය අතර ද ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ විශාල කොටසක් තම රටට ඈඳා ගන්නට සූදානම් වීමත් සමග ය. මේ නිසා මෙම රටවල් පිහිටි දකුණු ඇමරිකානු කලාපය තුළ යම් නොසන්සුන් තත්ත්වයක් මෝදු වෙමින් තිබේ.
වෙනිසුවෙලාව මේ ආකාරයෙන් ඈඳා ගන්නට යන්නේ ගයනාවේ බටහිර පැත්තේ පිහිටි එසෙකීබෝ නැමැති කලාපය යි. වැඩි හරියක් වනාන්තරවලින් වැසුණු මෙම කලාපය සම්බන්ධයෙන් වෙනිසුවෙලාව උනන්දුව දක්වන්නේ එය තෙල් සම්පතින් අනූන ප්‍රදේශයක් වන නිසා ය. දැනට ගයනාව විසින් පාලනය කරනු ලබන මෙම ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මී. 160,000 කට ආසන්න ය. ගයනාවේ පාලනය යටතේ ඇති සමස්ත භූමි ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් පමණ මෙම එසෙකීබෝ කලාපයට අයත් බව සඳහන් වේ. ගයනා වැසියෝ 125,000 ක් පමණ මෙම කලාපයේ ජීවත් වෙති. ඒ රටේ සමස්ත ජනගහනය 800,000 ක් පමණ වේ.
මෙම කලාපයේ අයිතිය සම්බන්ධයෙන් ඈත අතීතයේ සිටම මතභේද පවතින බව පැවසේ. ගයනාව මෙන්ම වෙනිසුවෙලාව ද මෙම කලාපයට අයිතිවාසිකම් කියති. 1899 වසරේ මෙම එසෙකීබෝ කලාපයේ අයිතිය එකල ගයනාව පාලනය කළ බ්‍රිතාන්‍යයය වෙත පැවරීමට ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් පියවර ගෙන තිබිණි. එකල ගයනාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති නිසා එය හැඳින්වුණේ බ්‍රිතාන්‍ය ගයනාව යනුවෙනි.
බේරුම්කරණ මණ්ඩලයේ තීන්දුව වෙනිසුවෙලාව පිලිගන්නේ නැත. මේ නිසා මේ සම්බන්ධ මතභේදය තවමත් නොවිසඳී පවතී. 1966 වසරේ ගයනාව බි්රතාන්යයෙන් නිදහස ලබද්දී ද එසෙකීබෝ හි අයිතිය පිලිබඳ ගැටලුව පැන නැගිණි. එහි දී මෙම ගැටලුව විසඳීම සඳහා කොමිසමක් පිහිටුවීමට සියලු පාර්ශ්ව අතර එකඟතාවක් ඇති විය. එහෙත් එයින් ද විසඳුමක් ලැබුණේ නැත. 2018 වසරේ ගයනාව මෙම ගැටලුව ජාත්‍යන්තර යුක්ති අධිකරණය හමුවට ද ගෙන ගියේය. එහෙත් වෙනිසුවෙලාව මෙයට විරෝධය දක්වයි. ඔවුන් පවසන්නේ මෙම ගැටලුවට මැදිහත් වීමට ජාත්‍යන්තර යුක්ති අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවයි.
තත්ත්වය මෙසේ තිබිය දී වෙනිසුවෙලාව මෙයට ටික දිනකට පෙර මේ කාරණයට අදාළව රට තුළ ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කළේය. එසෙකීබෝ කලාපය වෙනිසුවෙලාවේ කොටසක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී ජනතාවගේ අදහස විමසා තිබිණි. ජනමත විචාරණයේ දී ඡන්දය පාවිච්චි කර තිබුණේ අඩු පිරිසක් වුවත් ඔවුන්ගෙන් සියයට 95 ක් පමණ ඉහත කී කාරණයට එකඟතාව දක්වා තිබිණි. ජනතාව මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ මෙම කලාපයේ තෙල් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කරන මෙන් එරට රජයේ තෙල් සමාගමට දැනුම් දුන්නේය. එපමණක් නොව එසෙකීබෝ කලාපය වෙනිසුවෙලාවට ඈඳා ගැනීම සඳහා අවශ්‍ය වන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන මෙන් ද පාර්ලිමේන්තුවට යෝජනා කළේය. ගයනාව සහ වෙනිසුවෙලාව අතර වත්මන් ආතතිය පැන නැගුණේ මෙම තත්ත්වයත් සමග ය.
වෙනිසුවෙලාව ඉහත කී එසෙකීබෝ කලාපය ගැන වැඩි උනන්දුවක් දක්වන්නට පටන්ගෙන ඇත්තේ 2015 වසරේ එම කලාපයෙන් තවත් තෙල් නිධි අලුතෙන් සොයා ගැනීමත් සමග බව සඳහන් වේ.
වෙනිසුවෙලාව බලහත්කාරයෙන් එසෙකීබෝ කලාපය එරටට ඈඳා ගනු ඇතැයි යන සැකයක් ගයනාව තුළ ඇති වූ බව පෙනේ. ඔවුන් වහාම සිය හමුදා සීරුවෙන් තැබීමට පවා පියවර ගත්තේය. මේ අතර ගයනාව සහ වෙනිසුවෙලාව ආසන්නයේ පිහිටි බ්‍රසීලය ද තරමක් නොසන්සුන් වී තිබිණි. ඔවුන් ද මෙම දෙරටේ දේශ සීමා ආසන්නයට ඔවුන්ගේ හමුදා යැවීමට පියවර ගත්තේය.
වෙනිසුවෙලාව යම් හෙයකින් එසෙකීබෝ කලාපයට ඔවුන්ගේ හමුදා යැවුවහොත් එම හමුදාවලට සෘජුව මෙම කලාපය වෙත ළඟා වීමට අපහසුය. ඔවුන්ට යාමට සිදු වන්නේ බ්‍රසීල භූමිය හරහා යි. නමුත් හමුදා මෙහෙයුමක් සඳහා තම භූමිය යොදා ගැනීමට ඉඩ දීමට බ්‍රසීලය කැමැති නොවනු ඇත. ඔවුන් සිය හමුදා දේශසීමාව වෙත යවා ඇත්තේ ඒ නිසා බව පෙනේ. මෙම සිදුවීම් දාමයත් සමග එම කලාපය තුළ යම් උණුසුම් තත්ත්වයක් වර්ධනය වන්නට පටන්ගෙන තිබේ.
දකුණු ඇමරිකාවේ සෙසු රටවල් මෙන්ම ඇමරිකාව, රුසියාව, එක්සත් රාජධානිය වැනි රටවල් ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවනු දැකිය හැකි වේ. සමාජවාදී රාජ්‍යයක් ලෙස පැවතුණු වෙනිසුවෙලාව මෙම කලාපය තුළ බලවත් වෙනවාට ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල් කැමැත්ත දක්වන්නේ නැත. නමුත් රුසියාව වෙනිසුවෙලාවේ මිත්‍ර පාර්ශ්වයකි. එම රටවල් දැන් ඇතිව තිබෙන එසෙකීබෝ ප්රශ්නය ගැන අවධානයෙන් පසුවන්නේ එම පසුබිම තුළ ය.
කෙසේ හෝ වේවා, එසෙකීබෝ ගැටලුව ගැන සාකච්ඡා කිරීම සඳහා වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදූරෝ සහ ගයනා ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි අතර හමුවක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම හමුවට බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා ට ද ආරාධනා කර ඇති බව සඳහන් ය.
නිහාල් පීරිස්