වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් රෝගීන් තුළ තිබෙන පොදු ගැටලු කිහිපයක් ගැන විමසා බලමු.
* ග්ලූකොමීටරවලින් රුධිරයේ සීනි සංයුතිය විමසා බැලීමේදී ලැබෙන ප්‍රතිඵල ඇතැම් විට නිවැරදි නොවන්නේ ඇයි?
ග්ලූකොමීටරය මගින් කෙරෙන්නේ රුධිරයේ සංයුතිය විමසා බැලීමයි. මෙහිදී රුධිරය ලබා ගන්නේ අතක ඇඟිල්ලකිනි. ඇඟිලිවල තිබෙන්නේ මස් තුළ ගැටෙන රුධිරයයි. එම රුධිරය ශරීරය විසින් තවමත් පාවිච්චි කරන රුධිරය වේ. ග්ලූකෝස් හෙවත් සීනි ද රැගෙන ශරීරය පුරා රුධිර නාල ඔස්සේ රුධිරය ගමන් කර ආපසු පැමිණෙන්නේ ශිරා තුළිනි. ශිරා තුළ ඇත්තේ ශරීරය විසින් පාවිච්චි කර අවසාන වූ රුධිරයයි. ඒවා හෘදය වෙත ආපසු ගමන් කරමින් හිඳින ඒවාය.
එම අවස්ථාවට එන විට ශරීරය තමන්ට ඇති ප්‍රමාණයට රුධිරය මගින් ග්ලූකෝස් ලබාගෙන අවසාන ය. ඒ අනුව ශිරාවලින් රුධිරය ලබාගෙන පරීක්ෂා කරන විට රුධිරයෙහි සීනිවල අඩු වැඩි භාවය පැහැදිලිව දැන ගැනීමේ හැකියාව තිබේ. ඇඟිලිවල තිබෙන්නේ ශරීරය විසින් එවකටත් පාවිච්චි කරමින් පවතින රුධිරය බව ඉහත ද සඳහන් කළෙමු. ඒ අනුව ඇඟිලිවල තිබෙන රුධිරයට ග්ලූකොස් මිශ්‍ර ව පවතී. සිරින්ජරයකින් බෝතලයකට ලබා ගන්නේ පාවිච්චි කර අවසාන වූ රුධිරය නිසා එම රුධිරය යොදා ගනිමින් කරන පරීක්ෂණවලදී මෙන් ග්ලූකොමීටරවලින් කරන පරීක්ෂණවලදී නිවැරදි දත්ත ලැබීම අසීරුය.
* එකම අවස්ථාවකදී එකම පුද්ගලයකු රසායනාගාර දෙකකට එකම පරීක්ෂණයක් සඳහා රුධිරය ලබා දුන්නොත් වාර්තාවේ ප්රතිඵලවල යම් යම් වෙනස්කම් ඇති වන්නේ ඇයි?
ඕනෑම වාර්තාවක් හරියටම එකම ඉලක්කමක් සහිත අගයක් ගන්නේ නැත. සෑම වාර්තාවකම සාමාන්‍ය අගයක් ( normal range) දක්වන්නේ ඒ නිසාය. මේ සාමාන්‍ය අගය ඇතුළත ඇති ඕනෑම අගයක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගැනේ.උදාහරණයක් ලෙස රුධිරයේ සීනි පරික්ෂා කිරීමේදී එහි අගය 80 -100 ත් අතර ය. එය එක් රසායනාගාරයක 85 වශයෙනුත් තවත් රසායනාගාරයක 88 වශයෙනුත් තිබුණද එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නැත. මේවා ජීව විද්‍යාත්මක දේවල් නිසා සීමා සහිත පරාසයක් තුළ යම් යම් වෙනස්කම් සිදුවීම අසාමාන්‍ය නොවන සේ ම වළක්වන්නට ද නොහැකිය.
එසේම තවත් විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙයක් තිබේ. රුධිරය යනු සිරුර තුළ නොනවත්වා ගලා ගෙන යන දෙයකි. ඒ අනුව එක් තැනක් සිදුරු කර දැන් ගන්නා රුධිර සාම්පලයත්, ඊට තත්පර ගණනකට පසු නැවත ගන්නා රුධිර සාම්පලයත් අතර වෙනස්කම් පැවතීමට පුළුවන.
* රෝහලක නේවාසිකව සිටින රෝගියෙකුගෙන් දිනපතාම රුධිරය ලබා ගන්නේ ඇයි? එක්වරක් රුධිරය ලබාගෙන රෝග නිරීක්ෂණය කිරීම අපහසු ද ?
මෙය සමහර රෝගීන් තුළ තිබෙන ගැටලුවකි. ඒ අනුව එක් වරක් රුධිර ලබාගත් පසු නැවත වරක් රුධිරය ලබා ගන්නට යාමේදී “මගේ ලේ අර ගත්තා” යනුවෙන් ඇතැම් රෝගීහු පවසති. මෙහිදී ඔවුන් නොදන්නා දෙයක් තිබේ. උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
උණ වැළඳී රෝහල්ගත වූ රෝගියෙකු පිළිබඳව සැලකුවහොත් උණ වැළඳෙන්නට හේතු ගණනාවක් තිබේ. එසේම මේ සම්බන්ධයෙන් කළ හැකි රුධිර පරීක්ෂණ ද රාශියකි. ඒ අනුව වෛද්‍යවරුන් කරන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ ද සලකා බලා එවකට වැඩිපුර පවතින රෝග සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණ කර බැලීම ය. ඒ අනුව ඒ රෝග කිසිවක් රෝගියාට නොමැති බව රුධිර පරීක්ෂණ මගින් සනාථ වුවහොත් කලාතුරකින් දැකිය හැකි වෙනත් රෝග පිළිබඳව පරීක්ෂාකර බැලීමට නැවත රෝගියාගෙන් රුධිරය ලබා ගැනේ.
එසේ නැතිව උණ වැළඳීමට බලපාන හේතු සියල්ලම එකවර පරික්ෂා කිරීම පිණිස එක් වරක් රුධිරය ලබා ගන්නට බැරිකමක් නැත. නමුත් එවිට රෝගියාට බාහිර පරීක්ෂණාගාරවලින් ද කර ගැනීමට සිදුවන සියලු රුධිර පරීක්ෂණ සඳහා විශාල මුදල් කන්දරාවක් වැය කරන්නට සිදු විය හැකිය.
* අසවල් රසායනාගාරයෙන් පරීක්ෂණ සිදුකර ගෙන එන්නැයි සමහර වෛද්‍යවරුන් නියම කරන්නේ ඇයි?
වෛද්‍යවරුන් මෙලෙස පවසන අවස්ථා ඇත. එවිට රෝගීන් සිතන්නේ වෛද්‍යවරයාට එම රසායනාගාරයෙන් කොමිස් තිබෙන බවයි. නමුත් රසායනාගාරවලට පරීක්ෂණ මගින් අතිවිශාල ලාභ ලැබෙන්නේ නැත.
වෛද්‍යවරුන් මෙලෙස අසවල් රසායනාගාරයෙන් කර ගෙන එන්නැයි රෝගීන්ට පවසන්නේ එම රසායනාගාරවල වාර්තාවන් පිළිබඳව එම වෛද්‍යවරුනට විශ්වාසයක් තිබෙන නිසාය. නිවැරදි පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය වන්නේ වෛද්‍යවරයාට ය.
ඒ, රෝගියාගේ රෝගය නිවැරැදිව තීරණය කර අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන්නටය. වැරදි වාර්තාවක් ලැබුණොත් වෛද්‍යවරයාත්, රෝගියාත් දෙදෙනාම අමාරුවේ වැටෙයි. ඒ නිසා වෛද්‍යවරයා තමන්ට විශ්වාසයක් ඇති රසායනාගාරයකට රෝගියා යොමු කිරීම අසාධාරණ දෙයක් නොවේ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා