වෛද්‍ය වරයකුට රෝගියකු පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්

වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැකි බව ලංකා හොස්පිටල්ස් පෞද්ගලික රෝහල සඳහන් කරයි.ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ ඇමති වරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසර තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල නිවේදනයක් නිකුත් කරමිනි
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
” ශ්‍රී ලංකාවේ තෘතීය සත්කාරක රෝහලක් ලෙස ලංකා රෝහල රැකවරණය සහ උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත ඒ සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබයි. වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.අප රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පිළිබඳ වගකීම අප බාර ගන්නා බවට මහ ජනතාවට සහතික වන්නෙමු.

සෑම අවස්ථාවකම රෝගීන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු”(උපුටා ගැනීම අවසන්) ඉහත සඳහන් සිද්ධිය හා සම්බන්ධ සමාජ ජාල මඟින් පැතිර ගිය පුවතෙහි සඳහන් සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර ලබා නොදී “පලවා හැරි” බවට සඳහන් පුවත මුළුමනින්ම සාවද්‍ය වන අතර ඔහු සිදු කොට ඇත්තේ තමන්ට ඇමති වරයා පරීක්ෂා කිරීමට නොහැකි බව පවසමින් ඔහු ගෙවූ මුදල ආපසු ඔහුටම ලැබෙන්නට සැළස්වීම පමණි. ජීවිතාවදානමකට පත් රෝගියකු ඉන් මුදා ගැනීමේ දී ඒ රෝගියාගේ පෞද්ගලික වත ගොත තරාතිරම නොබලා ඒ රෝගියාට ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ආචාර ධර්මීය වගකීමක් වෛද්‍ය වරුන් සතුව තිබේ.එමෙන්ම රජයෙන් වැටුප් ලබන වෛද්‍ය වරයකුට තම රාජකාරී කාලය තුළ කිනම් හෝ හේතුවක් මත යම් කිසි රෝගියකු පරීක්ෂා කළ නොහැකි නම් ඒ සඳහා සුදුසු වෙනත් වෛද්‍ය වරයකු වෙත යොමු කිරීමේ රාජකාරීමය වගකීමක් තිබේ.

ඒ හැරුණු කොට පෞද්ගලික වෛද්‍ය සේවාවක දී රෝගියා සහ වෛද්‍ය වරයා අතර පවතිනුයේ සේවා දායක සහ සේවාලාභී සබැඳියාවක් බැවින් යම් වෛද්‍ය වරයාගේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා නොගැනීමේ හිමිකමක් රෝගියකුටත් කිසියම් රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීමේ හිමි කමක් වෛද්‍ය වරයකුටත් පවතින බව වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.එමෙන්ම කිසියම් වෛද්‍ය වරයකු එලෙස රෝගියකු පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හොත් එම රෝගියාගේ කැමැත්ත අනුව ඔහු ඒ සඳහා සුදුසු වෙනත් වෛද්‍ය වරයකු වෙත යොමු කිරීමේ ආයතනික වගකීමක් ඒ රෝහල සතු බව ද ඔව්හු පෙන්වා දෙති.එමෙන්ම වැඩිදුරටත් ඔවුන් කියා සිටිනුයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ගේ එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අතෘප්තියට පත් වන යමකු වේ නම් කළ හැක්කේ එම වෛද්‍ය වරයාගෙන් පෞද්ගලික ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පමණක් බවකි.

කාලීන පුවත්