ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති

අද(17)ට යෙදෙන දුරුතු පුන් පොහොය සහ ඉකුත් 14 වන දායින් ඇරඹි දින හතරේ නිවාඩුව මුල් කොට ශ්‍රී පාද පුද බිම ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි.

විශේෂයෙන් ශ්‍රී පාද පුද බිම වෙත මෑත භාගයේ වාර්තා වූ වැඩිම වන්දනා කරුවන් සංඛ්‍යාව මේ දින කිහිපයේ දක්නට ලැබෙන අතර වන්දනා කරුවන් සඳහා අවශ්‍ය ආහාර පාන ජලය වැසිකිලි ආදී මූලික අවශ්‍යතා ද ප්‍රමාණවත් නොවීමේ තත්වයක් පවතින බව ද වාර්තා වෙයි.

මේ අතර නල්ලතන්නි ශ්‍රී පාද මාර්ගයේ ඉහළ කොටසේ වෙළඳ සල් වල ආහාර මිල ද අතිශයින් ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් එක් කෙටි ආහාරයක අවම මිල රුපියල් සියය දක්වාත් ප්ලේන් ටී එකක මිල රුපියල් පනහ දක්වාත් උණු වතුර කෝප්පයක් රුපියල් විස්ස දක්වාත් මිල ඉහළ දමා ඇතැයි වන්දනා කරුවෝ කියති.

මීට අමතරව ජංහම දුරකතන චාජ් කිරීම්,ගමන් මලු බාර ගැනීම් වැනි සේවා ගාස්තු ද එකට එකක් ඉහළ නංවා ඇති බව ද දැන ගන්නට ඇත.

එමෙන්ම මෙම බොහෝ වන්දනා කරුවන් කෙරෙන් කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම බරපතල ලෙස මඟ හැරෙන බවත් ඒ අධික ජන පීඩනය මුල් කොට එම කටයුතු කළමණාකරණය කිරීමට කිසිවකු නොමැති බවත් පැහැදිලිවම පෙනෙන්නට ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී පාදස්ථානයට අමතරව අනුරාධපුරය,පොලෙන්නරුව,කැලණිය මහියංගනය ඇතුළු තවත් පුද බිම් ද මේ වන විට වන්දනා කරුවන් ගෙන් පිරී පවතී.

කාලීන පුවත්