ඊයේ දින, එනම් 2023 ජූලි 01 වැනිදා පස්වරු 12.29 ට පමණ දකුණු ඉන්දීය මුහුදේ, ශ්‍රී ලංකාවේ හම්බන්තොට සිට කිලෝමීටර් 1000 ක් පමණ දුරින් රිච්ටර් පරිමාණක 5.8 ක පමණ අගයකින් වූ භූ චලනයක් සිදු වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා මාධ්‍ය හමුවේ පවත්වමින් පවසා සිටියේ ය. පොළොවේ සිට කිලෝමීටර 10කට ආසන්න ගැඹුරකින් මෙය සිදු වී ඇති බවත් ශ්‍රී ලංකාවේ සියලු භූ කම්පන මානවලත්, ඉන්දුනීසියාවේ භූ කම්පන මානවලත් මෙය සටහන් වී ඇති බව ඔහු සඳහන් කළේ ය. තවදුරටත් කරුණ දක්වමින්, මෙය ශ්‍රී ලංකාවේ කොළඹ, වැල්ලවත්ත, ගාල්ල, අකුරැස්ස, බත්තරමුල්ල, නෙළුව ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට සහ කොළඹ නගරයේ මහල් නිවාසවලටත් හොඳින් දැනී ඇති බවත් ඔහු පවසා සිටියේ ය. එයින් සුනාමිි තත්ත්වයක් ඇතිවීමේ ඉඩක් නොමැති බවත්, ගොඩනැගිලිවලට හානියක් සිදු වන්නට තරම් ප්‍රබල ලෙස අප රටට කම්පනය ළඟා වී නොමැති බවත් ඔහු විශේෂයෙන් පවසා සිටියේ ය.
මෑතක සිට ශ්‍රී ලංකාවට නිතර භූ චලන දැනෙන්නට පටන් ගෙන ඇති බව පසුගිය කාලයේ ප්රවෘත්ති වෙත අවධානය යොමු කළ හොත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය අප රට සම්බන්ධයෙන් ගතහොත් විශේෂිත මෙන්ම දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි. මේ සම්බන්ධව අපට භූ විද්‍යානුකූල ව සිදු කර ඇති විශ්ලේෂණ කිහිපයක් ඇසුරින් විමසා බැලිය හැකිය.
ලෝකය පිහිටා ඇත්තේ ප්‍රධාන භූ කාරක තැටි 7 ක් මතය. ඒවා නම් අප්‍රිකානු, ඇන්ටාක්ටිකානු, යුරේසියානු, ඉන්දු ඕස්ට්‍රේලියානු, උතුරු ඇමරිකානු, පැසිෆික් සහ දකුණු ඇමරිකානු යන ඒවාය. මේවායේ මායිම් එකිනෙක ගැටීමේ දී භූ චලන සිදු වේ. සාමාන්‍යයෙන් භූ චලන සිදුවන සරලතම ක්‍රියාව වන්නේ එයයි. ඊයේ දිනයේ වාර්තා වූ භූ චලනය සිදුව ඇත්තේ – ඕස්ට්‍රේලියානු තැටියේ ය. මේ තැටියේ උතුරු සීමාව ඉන්දියාවේ උතුරටම වන්නටත් දකුණින් ඕස්ට්‍රේලියාව ද පසු කරමින් ව්‍යාප්තව පවතී. අප කලින් සඳහන් කළ අන්දමට අතීතයේ සිටම භූ චලන සිදු වූයේ මේ තැටිවල මායිම්වලය. ඒ මායිම් පිහිටා ඇත්තේ අප රටේ සිට බොහෝ දුරිනි. අප රට පිහිටා ඇත්තේ ඉන්දු – ඕස්ට්‍රේලියානු තැටියේ මධ්‍යයේ වන බැවින් මේ මායිම් එකිනෙක ගැටීමේ දී සිදුවන කම්පන තරංග අපට දැනී නැත. නමුත් මෑත අතීතයේ සිට අපට මේවා දැනෙන්නට පටන් ගෙන තිබේ. එයට හේතුව කුමක්ද?
2012 අප්‍රේල් 11 වැනිදා ඉන්දියානු සාගරයේ අති ප්‍රබල භූ චලන දෙකක් වාර්තා විය. මේවා රිච්ටර් පරිමාපක 8.6 ක් සහ 8.2 ක අගයකින් යුක්ත විය. මෙය විනාශකාරී මට්ටමකි. මේ භූ චලන දෙකෙන් පසුව ලෝකයේ භූ විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටියේ මෙතෙක් තනි තැටියක් ලෙස පැවති ඉන්දු- ඕස්ට්‍රේලියානු තැටිය දෙකඩ වෙමින් පවතින බව ය.
කෙසේ වෙතත් මේ තැටිය දෙකඩ වෙමින් පවතින බවට භූ විද්‍යාඥයන් සහ භූ චලන විශේෂඥයින් විසින් සඳහන් කළ පළමු අවස්ථාවෙ මෙය නොවේ. 1980 වසරේ සිටම ඔවුහු මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් සිටිති. 2004 වසරේ මේ තැටියේ නැගෙනහිර මායිමේ සිදු වූ රිච්ටර් පරිමාපක 9.1 ක ප්‍රබලත්වයෙන් යුක්ත භූ චලනයේ විනාශය බොහෝ දෙනෙකුට අමතක ව ගොස් නැතැයි සිතිය හැකිය. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් ගණනාවක් සුනාමි විනාශයට ලක් වූයේ මේ භූ චලනයේ බලපෑම නිසා ය. මේ චලනය ද ඉන්දු- ඕස්ට්‍රේලියානු තැටිය දෙකඩ වීමේ ආරම්භය සඳහා සෑහෙන දායකත්වයක් ලබා දුන්නේ ය. 2012 වසරේ චලනයෙන් එය තවත් තීව්ර විය.
මේ සිදුවීම්වලට අනුව ඉන්දියානු සාගරයේ නව භූ තැටියක් නිර්මාණය වෙමින් පවතින බව විද්‍යාඥයෝ අනුමාන කරති. ඉන්දු- ඕස්ට්‍රේලියානු තැටිය දෙකඩ වීම ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයෙනි. එම දෙකඩ වීමේ ස්ථානය සහ ඊයේ දිනයේ සිදු වූ භූ චලනය වාර්තා වූ දුර අතර ඇත්තේ සමානත්වයකි. එයින් පෙනෙන්නේ මේ දෙකඩ වීම තහවුරු වීමක් ද යන්න අපට පැවසිය නොහැකි ය. ඒ පිළිබඳ ව නිවැරදිව ම සඳහන් කළ හැක්කේ විශේෂඥ දැනුමක් සහිත භූ විද්‍යාඥයන්ට පමණි. නමුත් පසුගිය කාලයේ වාර්තා වූ සියලු තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී හැඟී යන්නේ එවැන්නක් සිදු වෙමින් පවතින බව ය.
අතීතයේ ආසන්න කාල අන්තරවලින් අපට නො දැනුණු භූ චලන මෑත කාලයේ සිට දැනෙන්නට පටන් ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්නයෙන් භූ තැටියක මායිමක් ඇතිවෙමින් පවතින නිසා ද යන සැකය පහළ වෙයි. කලින් සඳහන් කළා සේ අපට එය එක එල්ලේ පැවසිය නො හැකිය. නමුත් එවැන්නත් සිදු වෙමින් පවතී නම් ඒ පිළිබඳ දැනුවත් භාවයකින් සිටීම ඉතාමත් වැදගත් ය. අපට රට කිසිදු ආකාරයකින් භූ චලනවලට සූදානමින් සිටි රටක් නොවේ. භූ චලනයක් සිදු වන විට හැසිරිය යුත්තේ කුමනාකාරයෙන් දැයි අප දන්නේ නැත. මුහුද හත් ගව්වක් තියා අමුඩ නො ගැසිය යුතු බව සැබෑ මුත් මේවා පිළිබඳ දැනුම්වත් ව සිටීම ප්‍රයෝජනවත් ය. එබැවින් අප රටේ විද්වතුන් වරින් වර හෙළි කරන තොරතුරු නො සළකා හරින දේශපාලන යන්ත්‍රණයක් ඇති රටක් වශයෙන් අනාගත ව්‍යාසනකාරී තත්ත්වයකට පෙර අප කල් තබා සූදානම් වීම සියලු දෙනාගේ ම වගකීමක් හා යුතුකමක් වන්නේ ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක