ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාකච්ඡා කරන්නට වූයේ යුද්ධයේ අවසාන භාගයේ සිට ය. යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකා හමුදාවන් වෙත එල්ල කරමින් දෙමළ ඩයස් පෝරාව විසින් මෙම චෝදනා නගා තිබුණි. ඔවුන් කළ පැමිණිලි සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාකච්ඡා පැවැත්විණි.එහි දී දිගින් දිගටම එල්ල වූ චෝදනා රජය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ජී.එස්.පී ප්ලස් සහනය ඇතුළු හිමිකම් රැසක් ශ්‍රී ලංකා රජයෙන් ගිලිහි ගියේය. හමුදා නිලධාරින් කිහිප දෙනෙකුට ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවකට ඇතුළුවීම ද තහනම් වූවේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය.
අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් පරාජයට පත්වීමෙන් පසුව මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැවැති චෝදනා ගැන නව රජය විසින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළේය. ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්වී අලුත් යෝජනාවක් ද මානව හිමිකම් කවුන්සිලයට යොමු කරනු ලැබීය. අවසානයේ ශ්‍රී ලංකා රජය යටතේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩවීම් ගැන සොයා බැලීමට එකඟතාව පළ විණි.
ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටවූ අතර වගවීමේ යාන්ත්‍රණයක් ද පිහිටුවීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. මෙම සියලු කාරණාවන්ට ඉන්දියානු රජයේ ද සහාය හිමිවිය. ජී.එස්.පි ප්ලස් වැනි සහනයන් ද යළිත් ශ්‍රීලංකාවට හිමිවීමට ද පටන් ගත්තේය. කෙසේ නමුත් යහපාලන රජය අවසන්වී නැවත ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ඇමරිකාව සමඟ එක්ව ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව හකුලා ගත්තේය.
ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර ගැන ජාත්‍යන්තරයේ යළිත් අප්‍රසාදයක් ගොඩ නැගෙන්නට පටන් ගැනිණ. කොවිඩ් වැනි කාරණා හමුවේ මානව හිමිකම් පරීක්ෂණ යටපත් වූ අතර යළිත් මෙම වසර ආරම්භයේ සිට ලෝකයේම මානව හිමිකම් ගැන යළිත් සාකච්ඡා කරන්නට පටන් ගත්තේය. ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් කර තිබුණි.රටේ ඇතිවූ ජනතා නැගිටීම් හමුවේ පාලන තන්ත්රයේ වෙනස්කම් රැසක් ඇතිවූ පසුබිම තුළ මානව හිමිකම් කඩවීම් ගැන ද සාකච්ඡාවන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇදී එන්නට පටන් ගත්තේය. ඒ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් ජිනිවා මානව හිකිම් කවුන්සිලයට පැමිණිලි කිරීමත් සමඟ ය.නමුත් තවදුරටත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාකච්ඡා කෙරෙනුයේ යුද්ධයෙන් පසු වගවීමේ ක්‍රියාවලියක් සිදු නොවීම ගැන ය.
විදේශ යාන්ත්‍රණයක් මගින් එය කළ යුතු බවට මානව හිමිකම් කොමිසම මෙවර ප්‍රකාශ කළ අතර ඩයස් පෝරාව දිගින් දිගටම කළ ඉල්ලීම ද එය විය. එහෙත්, ශ්‍රී ලංකා රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවේ රට තුළ විධිමත් නීතිමය රාමුවක් පවතින බව දැනුම් දෙමිනි.පකිස්ථානය හා චීනය මෙම යෝජනාවේ දී ශ්‍රී ලංකාවට පක්ෂව මානව හිමිකම් කවුන්සිලය හමුවේ අදහස් දැක්වූ අතර ඉන්දියාව ඊට හාත්පසින්ම වෙනත් අදහසක් ඉදිරිපත් කරනු ලැබීය. ඔවුන් කියා සිටියේ උතුරේ ජනතාවගේ ප්රශ්නය තවමත් විසඳී නැති බව ය. එසේම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ස්ථාපිත කළ යුතු බව කියා සිටියේය. වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද පැවසුවේය.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා ඉන්දියාව අනුගමනය කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට පක්ෂපාතී වැඩපිළිවෙලකි. එහෙත්,මේ වෙනස ඉතාම ගැටළු සහගතය. ඉන්දියාව චීනය ගන්නා පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තක් ගැනීම සාමාන්‍ය කාරණයකි. මෙවර ද එය එසේම වී ඇත. චීන අපට පක්ෂ වීම නිසා ඉන්දියාව විරුද්ධ වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ.
භූ දේශපාලන කාරණා මත ශ්‍රී ලංකාව නිතර ඉන්දියාවේ බලපෑමට ලක්ව සිටියි. චීන නැව ද ඊට අදාළ කාරණයකි. ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කළේ චීන නැවට ඇතුළුවීම තහනම් කිරීමය. එහෙත් එසේ කිරීමට නීත්‍යානුකූල අවකාශයක් නොමැති බැවින් ශ්‍රී ලංකාව ඊට කැමැත්තක් දැක්වූවේ නැත. මේ කාරණය ද ඉන්දියාවේ වෙනස්වීමට හේතුවක් වී ඇති බව රාජ්‍ය තාන්ත්‍රික මතයකි.ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක් බව චීනය හා පකිස්ථානය කියද්දී ඉන්දියාව ඒ ගැන වචනයක් හෝ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කීවේ නැත. කෙසේ නමුත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ චෝදනා ශ්‍රීලංකා රජය ප්‍රතික්ෂේප කරන පසුබිමක් තුළ මෙම කාරණය තවදුරටත් ඇදී යනු ඇත. ඉන්දියාවේ හැසිරීම මෙහිදි තීරණාත්මක සාධකයක් ද වීම වැළැක්විය නොහැකිය.ඒ ඔහු ද දෙමළ ඩයස් පෝරාව විසින් එල්ල කරන මෙම චෝදනා හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැත්තේ වාඩිගෙන සිටීම නිසා ය.
ලසන්ත වීරකුලසූරිය